Print this Article


පැරැණි බණකතා 01: බෝසත් මුව රජුගේ අවවාදය

බෝසත් මුව රජුගේ අවවාදය

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්ම දත්ත නම් රජකෙනෙක් රජ්‍ය කරන සමයේ බෝසතාණන් වහන්සේ මුව පැටියෙක් ව උපත ලැබී ය.

ඒ මුව පැටියාගේ සිරුර රන්වන් පාට ය. ඇස් දෙක ඉදුනිල් මැණික් කැට දෙකක් මෙන් දීප්තිමත් ය. මෝදු වන අං දෙක රිදී පැහැති ය. මුහුණ රතුපාට නූල් පන්දුවක පැහැති ය. අත් පාවල කෙළවර ලාකඩ දියර ගෑවාක් මෙනි. ශරීරය අශ්ව පැටියකුගේ ශරීරය තරම් වේ.

කාලයාගේ ඇවෑමෙන් මේ මුවා මුවන් පන්සියයක කණ්ඩායමේ නායකයා විය. ඊට ආසන්නව ශාඛමෘග නමින් තවත් මුව රජෙකු මුවන් පන්සීයයකට නායකයා ලෙස වාසය කළේ ය. මේ මුව රජුගේද, ශරීරය රන්වන් පැහැති ය.

බ්‍රහ්මදත්ත රජු සිරිතක් ලෙස මුවන් දඩයමෙහි නිරත වන්නාහ. ඔහු මාංශ රහිතව ආහාර අනුභව නො කළේය. එනිසා රජු සියලු ජනපදවාසීන් රැස්කරවා ඔවුන් සමඟ දිනපතා මුව දඩයමේ නිරත විය. මෙසේ දිනපතා මුව දඩයමේ යාම නිසා ගම්වැසියන්ගේ වැඩ කටයුතු අඩාල විය. එනිසා ම ඔවුන් කැළයේ සිටින මුවන් සියල්ල ම අල්වාගෙනවිත් රජුගේ උද්‍යානයේ සුදුසු තැනක තැබීමට කතිකා කොට ගෙන නොයෙක් අවි ආයුධ ගෙන කැලයට ගොස් බෝසත් මුව රජු සහ නිග්‍රෝධ මුව රජු වාසය කරන ප්‍රදේශය වට කොට මුවන් ගෙනවුත් රජුගේ උයනෙහි සිරකොට රජතුමා වෙත ගොස්

‘ස්වාමීනි දිනපතා මුව දඩයමේ යාමෙන් අපගේ කර්මාන්ත අඩාල වෙති. එනිසා වනයේ සිටින මුවන් අල්වාගෙන අවුත් ඔබ වහන්සේගේ උද්‍යානයේ සිරකොට තබා ඇත. මෙතැන් පටන් ඔවුන්ගේ මස් අනුභව කරනු මැනවැයි” කී ය.

එතැන් පටන් රජු මුවන් වෙත ගොස් එකකු මරාගෙන එන්නේ ය. එනිසා මරණ බියෙන් මුවන් නොයෙක් ලෙඩ රෝගවලට ගොදුරු වූහ. මෙය දුටු අප බෝසත් මුවා ශාඛ නම් මුවරජු කැඳවා

“මිත්‍රය අපගේ මුවන් මරණ බයෙන් නොයෙක් ලෙඩ රෝගවලට ගොදුරුව සිටියි. එනිසා මින්පසු ඊයෙන් විද මැරීම නො කොට වාරය පැමිණි පසු දංගෙඩිය වෙත යැවීමට කටයුතු කරමු. වරක් මගේ මුවෙකුද, අනෙක්වර ඔබේ මුවකෙªද වාරය අනුව දංගෙඩිය වෙත යා යුතුය. එවිට හිංසාවෙන් තොරව ඔවුන් මරණයට පත්වේවි”

සියලු මුවන් ඒ යෝජනාවට එකඟ විය. ඒ යෝජනාව ඇසූ රජු මුව රජුන් දෙදෙනාට අභයදානය දුන්නේය. තමාගේ වාරය ආ විට මුවා දංගෙඩිය වෙත යයි. එක් දිනක් ශාඛ මුවරජුගේ පිරිසෙහි මුව දෙනකට වාරය පැමිණි කල ඇය රජු වෙත ගොස්

“ස්වාමීනි, මම ගැබ්ගෙන සිටිමි. එහෙයින් දරුවෙකු වැදූ පසු අප දෙදෙනාම දෙ වාරයකට යන්නෙමු. එනිසා මේ වාරයේ වෙන කෙනෙකු යවනු මැන”

මුව රජු "නුඹගේ වාරයේ දී වෙන අයෙකු යවනු නො හැකිය. නුඹම යනු”යි කීහ. මේ බව දැනගත් බෝසත් මුවා “තොප නො යනු, මම යන්නෙමි.” කියා දංගෙඩිය වෙත ගොස් ගෙල තබාගෙන සිටියේ ය. ඒ බව දැනගත් වධකයා රජුට එය දැන්වී ය.රජු පැමිණ “කුමක් නිසා ඔබ දංගෙඩියට බෙල්ල තැබුවේ ද ැයි? “ ඇසී ය.

“රජතුමනි, ගැබ්ගත් මුව දෙනකගේ වාරය ඉක්මවාලීම සඳහා මම ඉදිරිපත් වූයෙමි. ඇයගේ වාරය මම ගත්තෙමි.”

“මුව රජුනි, ඔබගේ ඉවසීම, කරුණාව, සහ අනුකම්පාව මිනිසුන් අතර ද මෙම නො දැක්කෙමි. ඔබ කෙරෙහි මාගේ පැහැදීම අප්‍රමාණ ය. මම ඔබටත්, ඒ මුව දෙනටත් අභය දානය දෙන්නෙමි.”

“රජතුමනි, අප දෙදෙනාට අභය දානය ලැබුණත් අනෙක් මුවන්ට කුමක් සිදු වන්නේ ද?

“සෙසු මුවන්ටත් අභයදානය දෙමි”

“රජතුමනි උයනේ වසන මුවන්ට අභය දානය දුන් පසු වනයේ වසන මුවන්ට කුමක් වේ ද?

“ඔවුන්ටද අභය දානය දෙමි”

“මහරජතුමනි, මුවන්ට පමණක් අභය දානය දුන්පසු අනෙක් සිවුපා සතුන්ට කුමක් වේ ද?

“ඔවුන්ටද අභය දානය දෙමි”

“රජතුමනි, සිව්පා සතුන්ට අභය දානය දුන් කල්හී ජලයේ වෙසෙන මත්ස්‍යයන්ට කුමක් වේද? “ඔවුන්ටද අභය දානය දෙමි”

ඉන්පසු බෝසත් මුව රජතුමා බ්‍රහ්මදත්ත රජු පන්සිල්හි පිහිටුවා මහරජතුමනි, දස කුසල ධර්මයෙහි හැසිරෙන්න. මව්පියන් කෙරෙහිද, දූ දරුවන් කෙරෙහිද, මහණ බමුණන් කෙරෙහිද, සියලු ජනපදවාසීන් කෙරෙහි ද , ධර්මයෙන් කටයුතු කරන්න. මැදුම් පිළිවෙතෙහි හැසිරෙන යම් කෙනෙක් වේ ද, ඔහු මරණින් මතු දෙව් මිනිස් සැප ලැබෙන්නේ’යැයි කියා පිරිසත් සමඟ කැලයට පිටත් වූ බව යටගිය දවස බණ කතා ග්‍රන්ථයේ සඳහන්ව ඇත.