Print this Article


අටුවා රසකතා- 05: සැට වර්ෂයක් උඩ නො බැලූ භික්ෂුවක්

සැට වර්ෂයක් උඩ නො බැලූ භික්ෂුවක්

බුද්ධඝෝෂ හිමියන් මෙම කතාව උදාහරණ ලෙස යොදා ගන්නේ සතර සංවර සීලයෙහි විස්තර වන ඉන්ද්‍රිය සංවර සීලයට උදාහරණ වශයෙනි. යම් පුද්ගලයෙක් රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදිය හේතුවෙන් උපදිනා කෙලෙස් කෙරෙන් සිත නො රකින්නේ නම්, ඒ අසංවරිත පුද්ගලයා මං පහරන සොරුන්ට විවෘත කරන ලද දොර ඇති ගමක් මෙනි යනුවෙන් විස්තර කරයි.

මනා ලෙස සෙවිලිකළ ගෙයක් වැස්සෙන් නො තෙමෙන්නාක් මෙන් , මනා ලෙස වැඩූ සිත ද රාගය නමැති වැස්සෙන් නො තෙමෙන බව තවදුරටත් අවධාරණය කරයි.

කරඬුලෙනවාසී චිත්තගුත්ත මහතෙරුන් වහන්සේ කරඬු ලෙන විහාරයෙහි විපස්සි ආදී සත්බුදුවරයන් වහන්සේලාගේ ගෘහාභිනිෂ්ක්‍රමණය පිළිබඳ විසිතුරු ලෙස සිතුවම් ඇඳ තිබුණේ ය. එක් දවසක් භික්ෂූන් වහන්සේලා සමූහයක් විහාර බලමින් විහාර චාරිකාවෙහි යෙදෙන්නේ කරඬුලෙන් විහාරයට ද පැමිණ එහි ඇඳ තිබූ ඒ විසිතුරු සිතුවම් බලා ආපසු යන ගමනෙහි චිත්තගුත්ත මහතෙරුන් වහන්සේ හමු වී “ස්වාමීනි, විහාරයෙහි වූ සිතුවම් ඉතා සිත්කලුය” යනුවෙන් පැවසූහ. එවිට තෙරුන් වහන්සේ “ඇවැත්නි මා මේ විහාරයට පැමිණ සැටවසක් පමණ වේ. එහෙත් මෙතෙක් මම මෙහි සිතුවම් ඇති බවක් නො දැන සිටියෙමි. එහෙත් අද ඇස් ඇත්තවුන් නිසා මෙහි සිතුවම් ඇති බව දැන ගත්තෙමියි” පැවසූහ. ඊට හේතුව චිත්තගුත්ත තෙරුන් වහන්සේගේ ඇස් අන්ධ බව නොව උන්වහන්සේ කිසි විටෙකත් ඇස් දල්වා උඩ නො බලන බවයි. එම ලෙන් විහාරයෙහි ඉදිරිපිට මහ නාගසක් විය. එහි මල් පිපී ඇති බව තෙරුන් වහන්සේ දැන ගන්නේ මල්, රේණු බිම වැටි තිබෙණු දැකීමෙනි. උන්වහන්සේ කිසි දිනක නා ගස උඩ බලා නැත.

දිනක් රජතුමා කරඬුලෙනවාසී චිත්තගුත්ත මහතෙරුන් වහන්සේ ගේ ගුණ සම්පත්තිය අසා පැහැදී උන්වහන්සේ දැක වැඳගනු රිසියෙන් තෙවරක් පණිවුඩ යවන ලදී.එහෙත් තෙරුන් වහන්සේ නො වැඩි සේක. එයින් කිපුණු රජු තෙරුන් වහන්සේ රජ මාළිගයට වඩිනාතෙක් ළදරුවන්ට කිරි බොන්නට නො දෙමියි එම ප්‍රදේශයේ කිරිදෙන දරුවන් ඇති මව්වරුන්ගේ පියයුරු බැඳ මුද්‍රා තබන ලදී.මේ දැනගත් තෙරුන් වහන්සේ දරුවන් කෙරෙහි කරුණාවෙන් රාජ මාළිගයට වැඩිසේක. සතුටට පත් රජතුමා තෙරුන් වහන්සේ අන්තඞපුරයට පමුණුවා දන් වළඳවා බණ අසා, අද සිල් ගැනීමට අවකාශ නැත.හෙට සිල් ගනිමියි තෙරුන් වහන්සේගේ පාත්‍රය ගෙන මද තැන් ගොස් දේවිය සමඟ වැඳ නැවතුණාහ.

තෙරුන් වහන්සේ රජතුමා වඳිනා කල්හි ද ‘සුඛී හෝතු මහාරජා’ යනුවෙන් පවසති. සතියක් ම මෙලෙසින් ගත විය.තෙරුන් වහන්සේ රජතුමා වඳිනා කල්හි ද, දේවිය වඳිනා කල්හි ද, එසේ පවසති. මේ දුටු සෙසු භික්ෂූන් වහන්සේලා ස්වාමීනි, කුමක් හෙයින්, රජතුමා වඳිනා කල්හි ද, දේවිය වඳිනා කල්හි ද, ‘සුඛී හෝතු මහාරජා’ යනුවෙන් පවසත්දැයි විමසූහ. එවිට තෙරුන් වහන්සේ පවසනුයේ ‘ඇවැත්නී, මම මහ රජු වඳින බවක් හෝ දේවිය වඳින බවක් හෝ නියම නො කරමැයි” පිළිතුරු දුන්හ.

තෙරුන් වහන්සේගේ ප්‍රතිපත්තීන්ට රාජ මාළිගය කරදර බව දැනගත් රජතුමා ආපසු උන්වහන්සේ කරඬුලෙනටම වැඩම කරවු සේක. උන්වහන්සේ එදින රාත්‍රියෙහි ම භාවනා කිරීම පිණිස සක්මන් මළුවට පිළිපන්හ. නා, වෘක්ෂාධිගෘහිත දේවතාවා විසින් දඬුවැට පහන් අල්ලා සිටින ලදී. උන්වහන්සේ කමටහනෙහි යෙදී භාවනා කරන්නට විය. මධ්‍යම රාත්‍රිය ඉක්මවීමත් සමඟම උන්වහන්සේ මුළු වන පෙතම නින්නාද කරමින් සව්කෙලෙසුන් නසා උතුම් රහත් භාවයට පැමිණියහ.

වන වඳුරන් හා මුවන් පොඩි දරුවන් සේ තැතිගන්නා වූ වනයෙහි නිර්වාණගාමී වූ භික්ෂු නෙත් සසල නො කර ගනිමින් බිම හෙළු ඇසින් විය දඬු පමණ දුරබලමින් වදුරු ගතියෙන් යුත් මනසට වසඟ නොවී වාසය කරත්.

භාවිතය

ඉන්ද්‍රිය සංවරයෙහි යුත් පුද්ගලයා කුමන බාධා ආව ද එය නො සලකා තමාගේ අරමුණ කෙරෙහි ගමන් කළ යුතු ය. එවිට සියලු බාධාවන් ඉවත යනු ඇත. ඔහුට ඔහුගේ යහපත් අරමුණ කරා ඉන්පසු පහසුවෙන් ම ළඟා විය හැක. අපගේ ඉඳුරන් සංවර නම්, එය දොරවල් වසන ලද ආරක්ෂිත නගරයක් බඳු ය. එයට කෙලෙස් නමැති සතුරන්ට කිසිසේත් ඇතුල් විය නො හැක. මෙහි දී අපගේ ඉඳුරන් නගරයක දොරවල් ලෙස ගත හැකි ය.අරමුණු සතුරන් ලෙස ගත හැකි ය. ඉඳුරන් නමැති දොරවල් ශක්තිමත්ව වසා ඇති නම්, කෙලෙස් නමැති සතුරන්ට එහි ඇතුල්වීමට නො හැකිව දුර්වල වනු ඇත. මනාකොට සෙවිලි කළ ගෙය වැස්සෙන් නො තෙමෙන්නාක් මෙන් යනු එයට තවත් උදාහරණයකි. ඒ අනුව අප ආරක්ෂිත නගරයක් මෙන් , මනාකොට සෙවිලි කළ ගෙයක් මෙන් අපගේ පසිඳුරන් සංවර කර ගන්නේ නම්, අප හැම අතින් ම ආරක්ෂා සහිත වෙයි. කෙලෙස් වලින් මිදීම සඳහා වන එකම මග ද එයම වෙයි.