Print this Article


ගී බණ පද-10: මහින්දාගමනයයි ලාංකේය අභිමානයයි

ගී බණ පද-10:

මහින්දාගමනයයි ලාංකේය අභිමානයයි

අනුරාධපුරේ අනුරාව නැඟූ
මහ මිහිඳු කුලේ ඉපදී
බුදු දහම දෙසා
බව කඳුල නිවා
මහ මිහිඳු බලේ පාමු

අනුරාධපුරේ අනුරාව නැඟූ
දුටුගැමුණු කුලේ ඉපදී
රටදැය ද නඟා බුදු සසුන වඩා
දුටුගැමුණු බලේ පාමු

අනුරාධපුරේ අනුරාව නැඟූ
මහසෙන්ගෙ කුලේ ඉපදී
වැව් අමුණු තනා යස ඉසුරු වඩා
මහසෙන්ගෙ බලේ පාමු

පදරචනය- රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය- වික්ටර් රත්නායක
ගායනය- නිරංජලා සරෝජනී

රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ විසින් රචිත ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් සංගීතවත් කළ, නිරංජලා සරෝජනී මහත්මිය විසින් ගායනා කරන ලද ‘අනුරාධපුරේ අනුරාව නැඟූ’ ගීතය සිංහල බෞද්ධ අභිමානය, සිංහල බෞද්ධ අනන්‍යතාවය, සිංහල බෞද්ධ අභීත අතීත පුරා වෘත්තිය ප්‍රකාශ වන අභිමානවත් ගීතයක් ලෙස හඳුනාගත හැකිය. අතීත රාජධානි පිළිබඳ තොරතුරු සහ රාජාවලියෙහි සඳහන් ඇතැම් රජවරුන්ගේ අභීත කාර්යභාරය හේතු කොට සිංහල බෞද්ධ සංස්කෘතියෙහි අභිමානය රැඳී පවතී. ඒ අභිමානවත් වූ අතීත කාර්යභාරය කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකි ය.

විදේශීය ආක්‍රමණිකයන්ගෙන් ශ්‍රී ලංකාද්වීපය ආරක්ෂා කර ගැනීම සඳහා රජවරුන් විසින් කරන ලද සටන් සහ එයින් අත් වූ ජයග්‍රහණ හා එම සටනේ දී ජීවිත පූජා කළ අවස්ථා එක් පැතිකඩකි. කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂණය වන රටක් ලෙස ශ්‍රී ලංකාව සරුසාර කිරීමේ තිර අදිටනින් සිංහල රජවරුන් සිදුකළ කාර්යභාරය තවත් කර්තව්‍යයකි.

අභිමානාත්මකව අතීතය සැමරීම සිංහල අභිමානයයි. මේ අංශ දෙක අපගේ සිංහල අභිමානය ලෙස ප්‍රකාශ කළ හැකි ය.

අනුරාධපුරය ප්‍රධාන රාජධානියක් ලෙස බොහෝ කලක් පැවති නිසාම අනුරාධපුර රාජධානියෙහි පවතින නටබුන් ප්‍රමාණය ද වැඩිය.

බුද්ධාගම නඟා සිටුවීමට, වඩාත් වර්ධනය කිරීමට සහ සිංහල සංස්කෘතික ලක්ෂණ වඩා වර්ධනය කිරීමට රජවරුන් සිදුකළ මහා මෙහෙවර, ජාතික අභිමානය ලෙස ද, ජාතික වාත්සල්‍ය ලෙස ද, ජාතික අනුරාගය ලෙස ද, කතා කළ යුතු ය.

සෞන්දර්යාත්මක චින්තනයෙන් එම කාරණාවන් කිහිපයම ගීතය පුරාම අන්තර්ගත වී තිබේ. මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කිරීමත් සමඟ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ වූ ශ්‍රී සද්ධර්මය ද දායාද විය.

මිහිඳු අභිමානය, හෙවත් මිහිඳු බලය, මිහිඳු සංස්කෘතිය, මිහිඳු සිංහලකම ඇතිවීමට එය හේතු විය. බුදුරජාණන් වහන්සේ ඉන්දියාවෙහි දේශනා කළා වූ ශ්‍රී සද්ධර්මය මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාද්වීපයට රැගෙන ඒමත් සමඟ ධර්මය තුළින් ගොඩනැඟුණු ශිෂ්ටාචාරය ස්ථාපිත වීමෙන් ශ්‍රී ලංකාව තුළ මිහිඳු බලයක් නිර්මාණය විය. එය මිහිඳු ශිෂ්ටාචාරයක් වූවාක් මෙන්ම මිහිඳු සංස්කෘතියක් ද වූ බව ප්‍රකාශ වේ. සංසාරගත ප්‍රාරප්‍රාප්තිය, නිෂ්ටාව, නිවන යන බුද්ධ දේශනා ශ්‍රී ලාංකේය ජනතාවට දායාද වූයේ ඒ මිහිඳු බලයත් සමඟය.

රට ජාතිය නඟා සිටුවා බුදු සසුන වර්ධනය කරන ලද්දේ සිංහල රජවරුන් විසින් ය. එම රාජ්‍ය නාමාවලියෙහි ප්‍රමුඛස්ථානය දුටුගැමුණු රජුට හිමි වේ. ‘දුටුගැමුණු බලය පාමු’ යනුවෙන් ගීතය තුළ සඳහන් වන්නේ ද එම අදහසම ය. එම මතය අනුව ක්‍රියාකාරී වූ සියලුම රජවරුන් රටදැය නඟාසිටුවීමට, බුදුදහම වඩා වර්ධනය කිරීමට, බෞද්ධ පුරා වස්තු ඉදිකිරීමට, බෞද්ධ සංස්කෘතියක් මේ පොළොවෙහි ස්ථාපිත කිරීමට කටයුතු කළ ආකාරයක් වේ.

අනුරාධපුර ශිෂ්ටාචාරයේ සඳහන් මහසෙන් රජු මහා පරාක්‍රම රජු ඇතුළු රාජ නාමාවලිය මිහිඳු ශිෂ්ටාචාරයෙන් ඇරඹි ආර්ථික මෙහෙවර හා සංස්කෘතිය ගොඩනැගීමේ මෙහෙවරෙහි සිංහල අභිමානය එම ගීතය පුරාම දිස් වේ. එය රටේත්, ජාතියේත්, ආගමේත් අභිමානයම වේ.