Print this Article


ආසිවිසෝපම සූත්‍රය

ආසිවිසෝපම සූත්‍රය

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිනා දවසක භික්ෂූන් වහන්සේ අමතමින් කළ දේශනාවක් වන්නේ ආසිවිසෝපම සූත්‍ර දේශනාව යි. දරුණු ඝෝර විෂ ඇති සර්පයෝ සතරදෙනෙක් සිහිපත් කරමින් කළ දේශනාවක්. එය හොඳට කියවා බලා තේරුම් ගෙන අවසානයේ සිත භාවනාවට යොමු කරන හැටි ඉගෙන ගත යුතු යි.

මේ සූත්‍ර දේශනාවෙන් බුදුන් වහන්සේ උපමාවක් ගෙන හැර දක්වමින්, ඒ උපමාවට ධර්මය සංසන්ඳනය කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා, මහණෙනි, යම්කිසි පුරුෂයෙක් ජීවත් වනු කැමැතිව , මරණයට අකැමැතිව, සැපයට කැමැතිව දුක පිළිකුල් කරමින් වාසය කරනවා. දුකට කැමැති නැහැ. සැපයට කැමැතියි. මැරෙන්න කැමැති නැහැ. මේ තැනැත්තා ළඟ බොහොම විෂ ඇති, දෂ්ට කළොත් මරණයට පත්වන්න තරම් විෂ ඇති සර්පයෝ සතර දෙනෙක් ඉන්නවා. මේ සතර දෙනා කාලෙන් කාලයට නැඟිටිනවා. කාලෙන් කාලෙට නෑවිය යුතු යි. කාලෙන් කාලෙට අනුභව කළ යුතු යි. කාලෙන් කාලෙට සුදුසු ව කටයුතු කළ යුතු යි. ඒ සර්පයෝ සතර දෙනාගේ ලක්ෂණයි. ඉන් එක් අයෙක් හෝ කිපුණොත්, ඔබට මරණය හෝ මරණ මාත්‍රයක් හෝ දුකක් හෝ ලැබෙන්නේ ය. ඒ නිසා කුමක් හෝ කළ යුතු බව පැවසුවා. ඊටපසුව මේ තැනැත්තා මරණයට බියෙන් ඝෝර විෂ ඇති සතුන් සතර දෙනාට බියෙන් දුවන්න පටන් ගත්තා. ඒ සර්පයෙක් දෂ්ට කළොත් මරණය හෝ මරණයට සමාන දුකක් වෙනවා. එයට බියෙන් මේ තැනැත්තා දුවනවා. පිටුපසින් සර්පයෝ සතර දෙනා පන්නාගෙන එනවා. ඒ යනකොට තව වධකයෝ පස් දෙනෙක් ද මොහුගේ ජීවිතය තොර කිරීමේ අදහසින් ලුහු බඳිනවා. දැන් සර්පයෝ සතර දෙනයි, ඊළඟට වධකයෝ පස් දෙනයි. මෙසේ තවත් දුර යද්දී තවත් වධකයෙක් කඩුවක් අමෝරාගෙන මොහු පසුපසින් ලුහු බඳිනවා. මෙහෙම යද්දී ඝෝර විෂ ඇති සර්පයෝ සතර දෙනාත් , වධකයෝ පස් දෙනාත් , කඩුවක් අතට ගත් වධකයාත් මේ හය දෙනාම මේ පුරුෂයාගේ පසුපසින් ලුහු බඳිනවා. මේ තැනැත්තාද පසු පස නොබලා දිගින් දිගටම දිව යනවා.

යද්දී දැක ගන්නට ලැබුණේ, ගෙවල් පහක් තියෙනවා, නමුත් කවුරුත් නැති හුදෙකලා ගම්මානයක්. මෙහිදී වාසය වැඩකට නැති බව තේරුම් ගත් මොහුට ගම් පහරන සොරු කණ්ඩායමක් මුණ ගැසුණා. මේ හොරු කණ්ඩායම මේ තැනැත්තා ඝාතනය කරන්නට පුළුවන්. තමන්ට යමක් කළ හැකිනම්,කරන්නැ’යි කිව්වා. මේ තැනැත්තා නැවත බිය වී දුවගෙන ගියා. ඊට පිටුපසින් ඝෝර විෂ ඇති සර්පයෝ සතරදෙන යි. වධකයෝ පස් දෙනයි , කඩුවක් අමෝරාගත් වධකයෙක් මෙන්ම ගව ඝාතක සොරු හය දෙනයි. මේ අය දැන් පසු පස ලුහු බඳිනවා. ඒ තැනැත්තා පසු පස නොබලාම දුවනවා. එහි දී ගංගාවක් හමුවුණා. දැන් මොහු දැව දඬු ටිකක් එකතු කරලා වැල් ටිකක් කඩාගෙන පාරුවක් සාදාගෙන, දෙකකුල්, දෑත් පාදක කරගෙන ජලයෙන් එතෙර වෙලා කුඩා දිවයිනකට ගොඩ වුණා. එතැන නිදහස් වුවත්, පැමිණෙන කණ්ඩායම විශාල වෙතැයි සිතා මේ තැනැත්තා තවත් ටිකක් දුවන්න පටන් ගත්තා. ඒ යනවිටත් ගංගාවක් හමු වුණා. එහිදීත් පෙර සේ ම එතෙර වුණා. එහිදීත් නිදහසේ සිටිය දී පැමිණෙන කණ්ඩායම විශාල බව වැටහුණා. ඒ නිසා තවත් ටිකක් දුර ගියා. එහිදී තවත් ගංගාවක් හමුවුණා. එයත් තරණය කර තවත් භූමියකට ගියා. දැන් භූමි තුනයි. තවත් එහාට ගිහින් පහුකර තවත් භූමියකට පැමිණියා, එතැනත් හොඳටම හොඳ යි. දැන් එතනින් එහා යන්නට අවශ්‍ය නැහැ. බියක් , තැති ගැනීමක් නැහැ. මේ කණ්ඩායමට එතරම් දුර එන්නත් බැහැ.

මේ කාරණය බුදුන් වහන්සේ උපමාවෙන් පැහැදිලි කළා. ඝෝර විෂ ඇති සර්පයෝ සතර දෙනා වන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතුවයි. මේ සතර දෙනා කිපුණොත් මරණය වෙනවා. නැත්නම් මරණය හා සමාන දුකක් වෙනවා. පඨවි ධාතුව වැඩි වුණොත්, ඇඟ ගල් වෙනවා. ආපෝ ධාතුව වැඩි වුණොත්, ඇගේ ඕජස්, සැරව, ලේ ගලනවා. තේජෝ ධාතුව වැඩි වුණොත්, හත් දවසේ උණ, තුන් දවසේ උණ ආදිය තද බල උණ රෝග ඇති වෙනවා. වායෝ ධාතුව වැඩිවුණොත් ඇඟ ඉදිමෙනවා. මේ ධාතු සතර කිපුණහම මරණය වැනි දෙයක් හෝ ඊට සමාන දෙයක් සිද්ධ වෙනවා. එසේනම්, මේ ධාතු සතර සම මට්ටමේ තබා ගත යුතු යි.

වධකයෝ පස් දෙනා වන්නේ ශරීරය යි. රූප උපාදානස්ඛන්ධය, වේදනා උපාදානස්ඛන්ධය, සංඥා උපාදානස්ඛන්ධය, සංඛාර උපාදානස්ඛන්ධය, විඤ්ඤාණ උපාධානස්ඛන්ධය යි. කඩුවක් අමෝරාගත් වධකයා වන්නේ තණ්හාව යි. එය දරුණු වැඩියි. කඩුවකුත් අතේ තිබෙනවා. දැවැන්ත වධකයෙක් . ඒ නිසා මැරීමේ අදහසින්ම යි එන්නේ. හිස් ගමක් හමු වුණා. එයට කියන්නේ අධ්‍යාත්මික ආයතන යි. සෝතායතන, ඝානායතන, ජිව්හායතන, කායායතන, මනායතන යි. ගම් පහරන සොර කණ්ඩායමේ හය දෙනා වන්නේ රූපායතන, ශබ්ධායතන, ගන්ධායතනය, රසායතනය, පොට්ඨබ්බායතනය, ධම්මායතනය යි. මේවා පසුකරද්දී විශාල ගගක් හමු වුණා. ඒකෙන් එතෙර වුණා. කාම ඕඝයෙන් (පංච කාම වස්තූන් පිළිබඳ තිබෙන ආශාව) එතෙර වුණා. ක්ෂේම භූමියකට ආවා. එතැනත් ගගක් හමු වුණා. එතෙනින් එතෙර වුණා. භව ඕඝයෙන් (භවයට තිබෙන ආශාව) එතෙර වුණා. දිට්ඨි ඕඝය(මිසදිටුකම) ඊළඟ ගග යි. අවිජ්ජා ඕඝය(මෝඩකම) තවත් ගංගාවක්. මේ ඕඝ සතරෙන් එතෙර වෙලා ක්ෂේම භූමියකට පැමිණියා. ඒ අමාමහා නිර්වාණ සුවය යි. පැමිණි මඟ මැදුම් පිළිවෙත යි. සම්මා දිට්ඨි , සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේවා ගගෙන් එතෙර වන පාරුවට උපමා කළා. අත්පා වලට උපමා කළේ උත්සාහය යි. එනම්, සම්මා වායාමය යි. උත්සාහය වීර්යයට උපමා කළා. සියලුම ගංගාවන්ගෙන් එතෙර වෙලා, ක්ෂේම භූමියකට පත් වුණා. ඒ උත්තමයා බ්‍රාහ්මණ නම් වෙයි. බ්‍රාහ්මණ යනු රහතන් වහන්සේ යි. පෘතග්ජන කෙනෙක් දුවගෙන පැමිණියේ. සියලුම දේ අවබෝධ කරගෙන, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත් වුණා. එනම්, තමන්ගේ ජීවිතය සංසාර දුකෙන් ම එතෙර කරගත් ජීවිතයක්.

මේ පාඩමට අනුකූලව සිත යොමුකළොත්, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන් සතරෙන් ලෝකය සකස් වී තිබෙනවා. නිර්වාණය හැර මේ ශරීරය, ගස් ගල්, පර්වත, ඉර, හඳ, තාරකා සියල්ල පඨවි ධාතුවට අයත් වෙයි. ජලය ආදී වැගිරෙන දේ ආපෝ ධාතුව යි. උණුසුම සීතල තේජෝ ධාතුව යි. සුළඟ වායෝ ධාතුව යි. මේ සතරෙන් ලෝකය පවතිනවා. ශරීරයේ පඨවි ධාතුව කොටස් විස්සක් තිබෙනවා. කේසා ධාතුවේ පටන් මත්ථලුංග දක්වා. ආපෝ ධාතුවේ කොටස් දොළහක් තිබෙනවා. පිත, සෙම , සැරව ආදිය. තේජෝ ධාතු කොටස් සතරක් තිබෙනවා. වායෝ ධාතු කොටස් හය යි.

එකතු කළ විට හතළිස් දෙකයි. ඒ වා දියුණු කරලා සතර ධාතූන්ගේ අනිත්‍යතාව මෙනෙහි කරන්න. පඨවි ධාතුව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. ආපෝ ධාතුව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. තේජෝ ධාතුව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. වායෝ ධාතුව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. මේ ශරීරය එනම්, පංච උපාදානස්ඛන්ධය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. රූප උපාදානස්ඛන්ධය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. වේදනා උපාදානස්ඛන්ධය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්මයි. සංඥා උපාදානස්ඛන්ධය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. සංඛාර උපාදානස්ඛන්ධය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. විඤ්ඤාණ උපාදානස්ඛන්ධය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. මෙසේ පංචස්ඛන්ධය මේ ශරීරය අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි.

මහා වධකයා තණ්හාව යි. තණ්හාව එකසිය අට වැදෑරුම් වෙයි. එකසිය අට වැදෑරුම් වූ තෘෂ්ණාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. ඊළඟ උපමාව කවුරුත් නැති හුදෙකලා ගම්මානය උපමා කළේ චක්ඛායතනයට යි. එසේනම්, චක්කායතනය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. සෝතායතනය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, ඝානායතනය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්මයි. ජිව්හායතනය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. කායායතනය අනිත්‍යය යි, දුක්ඛ යි,අනාත්ම යි. මනායතනය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්මයි.

මං පහරන සොරු කණ්ඩායම වන රූපායතනය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්මයි. ශබ්ධායතනය අනිත්‍යය යි, දුක්ඛ යි,අනාත්ම යි. ගන්ධායතනය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. රසායතනය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. පොට්ඨබ්භ ආයතනය අනිත්‍යය යි. දුක්ඛ යි, අනාත්මයි. ඝානායතනය අනිත්‍යය යි. දුක්ඛ යි, අනාත්ම යි. යනුවෙන් මෙනෙහි කරන්න.

දරුණුම අවස්ථා සතර ඕඝ සතරයි. කාම ඕඝය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. භව ඕගය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. දිට්ඨි ඕඝය අනිත්‍යය යි. දුක්ඛයි අනාත්ම යි. අවිජ්ජා ඕඝය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. කාම ඕඝ නම් වූ තෘෂ්ණාව, භාව ඕඝ නම් වූ මිසදිටුකම, දිට්ඨි ඕඝය නම් වූ මිසදිටුකම, අවිජ්ජා ඕඝය නුවණ මදි කම. ආර්ය සත්‍ය අවබෝධ නොවීම යි. ඒ එකක් පාසාම කාම ඕඝයත් අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. යනුවෙන් සතරම මෙනෙහි කරන්න. ඊළඟට යා යුතු මඟ , සම්මා දිට්ඨිය ආර්ය මාර්ගය, හොඳට වටහාගෙන ස්ව උත්සාහය, නුවණ පාදක කරගෙන මේ ගමන , ඉදිරියට ගියහම ක්ෂේම භූමියක් හමු වෙනවා. එනම් අර්හත් ඵල අවස්ථාව යි. අමා මහා නිර්වාණ සුවය යි.