Print this Article


නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය

නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය

මෙවර පොසොන් සමයේ ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් ප්‍රමුඛ අටමස්ථානය, මිහින්තලය හා තන්තිරිමලය වැනි සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට පියනඟන සැදැහැවතුන්ට නිර්මාණ රැසකින් සමන්විත, බුදු සිරිතේ අසිරිය මොනවට විදහාපාන පුණ්‍යභූමි තුනක් දිවා රාත්‍රී දෙකෙහි ම දැක බලා වැඳ පුදා ගැනීමට අවස්ථාව උදාකර දී ඇත.

එම පුණ්‍ය භූමි නම් අනුරාධපුර ශුද්ධ නුවර ඉදිකොට ඇති, බුදුසසුනෙහි සිව්වනක් පිරිස නිර්මාණය වූ අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය, අනුරාධපුර, තන්තිරිමලේ මාර්ගයේ නෙල්ලිකුලම පිහිටි, බුදුන්වහන්සේ පන්සියයක් මහරහතුන් සමඟ සදහම් චාරිකාවේ නිරත වන අයුරු මූර්තිමත් කර ඇති ‘නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය’ හා අනුරාධපුර, තන්තිරිමලේ මාර්ගයේ කොක්කිච්චිය පිහිටි සිරිසම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරය යි.

මේ උතුම් අවස්ථාව උදාකර දී ඇත්තේ අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ධර්මප්‍රභාධීරානන්දාභිධාන කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක, කම්මට්ඨාන විශාරද, ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමිපාණන් වහන්සේ ය.

බුදු සසුනෙහි සිව්වනක් පිරිස නිර්මාණය වූ අනුරාධපුර අසූමහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය සද්ධාරංසි නා හිමියන්ගේ ප්‍රථම ශාසනික මෙහෙවරද, සම්ප්‍රදායික බෞද්ධ නිර්මාණ කලාවෙන් ඔබ්බට ගිය නිර්මාණයක් ද විය. බුදුසසුනේ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා, බුදුසසුනේ පැවැත්මට පුරෝගාමී මෙහෙවරක් කළ භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා යන පිරිස්වල ප්‍රතිමා මෙහි නිර්මාණය කොට ඇත. එමෙන් ම විහාරය වටා අටවිසි මහා බෝධි වෘක්ෂයන්ද, රෝපණය කර තිබීම සද්ධාරංසි නා හිමියන්ගේ තවත් ශාසනික මෙහෙවරකි.

අනුරාධපුර, තන්තිරිමලේ මාර්ගයේ නෙල්ලිකුලම නමැති රමණීය ගම්පියසේ අක්කර 10 ක් පමණ වූ වනගත භූමි භාගයක නිර්මාණය කර ඇති ‘සිරිසම්බුද්ධ පංචසතික’ ශ්‍රාවක චාරිකාරාමය’ විශ්ව කර්ම නිර්මාණයකි. බුදුන් වහන්සේ පන්සියයක් මහරහතුන් සමඟ සදහම් චාරිකාවේ නිරතවන අයුරු මිනිස් ප්‍රමාණයෙන් මෙහි මූර්තිමත් කර ඇත. එමෙන්ම බුදුන් වහන්සේ සමනොල කන්දේ සිරිපා සටහන් තබා කඳු මුදුනේ සිට බැස එන අයුරුත්, මෙහි මූර්තිමත් කර තිබීම තවත් විශේෂත්වයකි. පුද බිම තුළම ලෙන් ඉදිකොට ඇති අතර, ඒවායේ විවිධ කතාවස්තු නිර්මාණය කොට තිබේ. මෙය සැබෑම අසිරියකි. අධිෂ්ඨානය මල්පල ගැන්වීමකි. සද්ධා රංසි නා හිමියන්ගේ සැදැහැති අපේක්ෂාවන් මුදුන්පත් වූ අවස්ථාවකි. මේ මහා පින්කෙත අස්වැද්දූ සද්ධාරංසි නායක හාමුදුරුවෝ ලෝකයට පසක් කළේ මහ කළුගල්වල මහා කරුණා ගුණය නිරූපණය කළ හෙළකලා පරපුරේ උරුමය අදටද අපසතුව පවතින බව ය. නගර ගම් දනව් සැරිසරා උත්තම ධර්ම ප්‍රචාරයෙහි යෙදුන සම්බුදුන් වහන්සේ නිරූපණය කිරීමට නම් මෙවැනි ස්වභාවික පාරිසරික වටපිටාවක් තෝරා ගැනීම බෞද්ධ ලෝකයට ආදර්ශයකි.

තුන්වැනි පුදබිම පිහිටා ඇත්තේ අනුරාධපුර – තන්තිරිමලේ මාර්ගයේ කොක්කිච්චිය වනගත භූමි භාගයක ය. ශාන්ත පරිසරයකින් යුත්, අක්කර දහයක් පමණ වූ සුන්දර වන ලැහැබක් මැද නිර්මාණය කොට ඇති කොක්කිච්චිය, “සිරිසම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරයද විශ්මකර්ම නිර්මාණයකි. බුදුසිරිතේ එන ප්‍රාතිහාර්යාත්මක අවස්ථා රැසක් තුරුහිස්පතින් රූරා හැලෙන ලියවැලින් සෝභිත මෙම වන ලැහැබ තුළ නිර්මාණය කොට ඇති අයුරු දක්නට ලැබේ. සතාසිව්පාවාට, ගහකොළවලට, පරිසරයට කිසිදු හානියක් නො වන අයුරින් මෙම පුද බිම නිර්මාණය කොට තිබීම තවත් විශේෂත්වයකි.

පන්සල, වෙහෙර, බුදුපිළිම ආදී ශාසනික නිර්මාණ මෙතෙක් බිහිවී ඇත්තේ පන්සල් බිමක ය. නො එසේනම් එළිපෙහෙලි කොට මනාව සැකසූ සුදුවැලි ඇතුළ භූමියක ය. එහෙත් මේ මහ කැලෑව මැද තැනින් තැන නිර්මාණය වූ පාරිසරික අසිරිය අතරින් පාන පෙළහර කුමක් ද? මේ වන ලැහැබ තුළ බුද්ධාලම්භන පී‍්‍රතිය වගාකරනු සඳහා නිර්මාණය කර ඇති බුදු පෙළහර විශ්මිත නිර්මාණයකි. මෙම පුණ්‍ය භූමිය තුළ දෙමහල් විහාර මන්දිරයක්ද, ඉදිකොට තිබේ. මෙහි දහසක් බුදුන් බුදු වූ වග මූර්තිමත් කිරීමේ කටයුතු ද දැන් වේගවත්ව සිදු වෙමින් පවතී. මේ සමගම සද්ධා රංසි නා හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන අනුරාධපුර රජරට ශීල භාවනා මධ්‍යස්ථානයද සෑම පුර පසළොස්වක පෝදාකම සැදැහැතුන් වෙනුවෙන් විවෘතව පවතී. අටසිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ට මෙහි පහසුකම් සපයා දානමානාදිය සැපයීමට සැහැදැවතුන් පෙළගැසී සිටිති. මෙවර පොසොන් පෝදා මෙහි භාවනා වැඩසටහන්, ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා ආදී වැඩසටහන් පැවැත්වීමට ද සද්ධාරංසි නා හිමියන් සියලු කටයුතු යොදා තිබේ.