Print this Article


මහින්දාගමනය නිමිත්තෙන් විශේෂ පනිවුඩ

මහින්දාගමනය නිමිත්තෙන් විශේෂ පනිවුඩ

අවිද්‍යාවෙන් මුලා වී පැවැති දිවයින ධර්මාලෝකයෙන් ඒකාලෝක විය

සම්බුදුවරයෙක් ලොව පහළවන්නේ කලාතුරකිනි. එය දුර්ලභ අවස්ථාවක් ලෙස ධර්මයේ සඳහන් වන්නේ ඒ නිසා ය. උන්වහන්සේගේ ධර්මය ඇසීමට, දැරීමට මෙන්ම ප්‍රගුණ කිරීමට ලැබීම ද අතිශය දුර්ලභ කාරණයකි. එම දුර්ලභ අවස්ථාවන් ලබා තිබෙන ලංකාවාසීන් වන අපට මෙය තවත් වැදගත් වන්නේ දඹදිව අශෝක අධිරාජයාගේ සුජාත පුත්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නිර්වාණගාමී නිර්මල බුදුදහම ලක්දිවට දායාද කර වසර 2326 ක් සපිරීම නිසයි.

බුදුදහමේ ආභාසය ලබා නිර්මාණය වූ නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති ශිෂ්ඨසම්පන්න අදීන ජාතියක් වශයෙන් සිංහල ජාතියේ අනන්‍යතාව ලොව පුරා පැතිරවීමට මුල්වූයේ ඓතිහාසික මහින්දාගමනයයි. එයට සමගාමීව සිංහල භාෂාව, සාහිත්‍ය කලාව වැනි සංස්කෘතිකාංගයන් පෝෂණය වූයේ ද මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසයි.

සුවිශාල සමාජ පරිවර්තනයක්, අධ්‍යාත්මික විප්ලවයක්, චිත්තප්‍රබෝධයක් ලක්වැසියන් අතර ඇතිවීම නිසා ජනතාව සාමකාමී, සරල දිවිපෙවෙතකට හුරුපුරුදු වී ද්වේෂය, වෛරය, ක්‍රෝධය වැනි දුර්ගුණයන් වෙනුවට මෛත්‍රීය, කරුණාව, ඉවසීම, අවිහිංසාව වැනි ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ගුණාංගවලින් පිරිපුන් ජාතියක් බවට සිංහල ජාතිය පත්විය. විහාරස්ථාන සිංහල සංස්කෘතියේ කේන්ද්‍රස්ථාන බවට පත්වීම නිසා අවිද්‍යාවෙන් මුලාවී පැවැති දිවයින ධර්මාලෝකයෙන් ඒකාලෝක විය.

ධර්මයෙන් විනයෙන් ශික්ෂිත මහා සංඝරත්නය නිර්මල දහම නිවැරැදි අයුරින් සන්නිවේදනය කිරීම නිසාත්, ධර්මයේ ඇති සාන්දෘෂ්ටික, අකාලික හා ඕපනයිකාදී ගුණයන් නිසාත් සම්බුදු දහම රාජ්‍ය දහම බවට පත් කිරීමට උන්වහන්සේලාට හැකි විය.

ප්‍රඥාලෝකයෙන් ජීවිත ඒකාලෝක වන්නා සේ මිහින්තලා පුදබිම මෙන්ම ලක්දිව වෙහෙර විහාරස්ථාන විදුලියෙන් ආලෝකමත් කොට මහින්දාගමනය සිහිපත් කිරීමෙන් “දීපදො හොති චක්ඛුදො” යන බුදු වදනට අනුව ආලෝකය සැපයීම නුවණැස ලැබීමට හේතුවන්නකි. එබැවින් උතුම් බුදුදහම අපට හඳුන්වා දුන් මේ වැදගත් පොසොන් පොහෝ දින සිදුකරන සියලු කටයුතු සාර්ථක වීමට ශ්‍රී දංෂ්ට්‍රා ධාතුන් වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන අතර, සද්ධර්මයේ චිරස්ථිතිය සඳහා දාන, ශීල, භාවනා දී ආමිස ප්‍රතිපත්ති පූජාවන් හි පිහිටා කටයුතු කිරීමට ගිහිපැවිදි සැමදෙනාම අධිෂ්ඨාන කරගන්නා ලෙස ශාසනාලයෙන් සිහිපත් කරමු.


බුදුදහම ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ සේක

ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගේ දහම් දැනුම උද්දීපනය කිරීම සඳහා සෑම පොහෝ දිනයක් පාසාම නිකුත් කරන්නා වූ බුදුසරණ බෞද්ධ පුවත්පත බුදුදහම ප්‍රචලිත කිරීමට මෙතෙක් කර ඇති සේවය පැසසිය යුතු ය. ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ පොසොන් පොහෝ දින නිමිත්තෙන් නිකුත් කරන්නා වූ මෙම පුවත්පත සඳහා සුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම ඉමහත් සතුටට හේතුවකි.

ලොව පහළ වූ උත්තරීතම ශාස්තෘන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයාගේ යහපත පිණිස පන්සාළිස් වසක් දේශනා කළ ධර්මය ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ පොසොන් පුන් පොහෝ දිනකය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ඓතිහාසික අසිරිමත් ලංකාගමනය සිදුවූයේ බුද්ධ වර්ෂ 2325 ට පෙර පොසොන් පුන් පොහෝ දිනකය. උන්වහන්සේ ඓතිහාසික මිස්සක පබ්බතයේ සිට එදවස ශ්‍රී ලංකාද්වීපය පාලනය කළ දේවානම්පියතිස්ස රාජෝත්තමයාණන් ආමන්ත්‍රණය කොට බුදු දහම ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ සේක. එදා මෙදා තුර අප ලෝකයේ ප්‍රමුඛතම බෞද්ධ රාජ්‍යයක් බවට පත් වී ඇත.

මේ නිසාම ලේක්හවුස් ආයතනය මඟින් මිහින්තලා පුදබිමෙහි ඒ අසිරිමත් දිනය සැමරීමට සිදුකරන්නා වූ ආලෝක පූජාවත්, සෙසු දීප ව්‍යාප්ත වැඩසටහන් බෞද්ධ පුනරුදය උද්දීපන කිරීමට හේතුවනවාට සැකයක් නැත. සකළ ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් අනාගත සුබ සිද්ධිය සැළසේවා! යි ආශිංසනය කරම්හ.


මෙරට ජනතාවත් ආගමත් නංවාලූ පොසොන් පොහොය

මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීමෙන් සිදු වූයේ බුදුදහම මෙරට චිරස්ථායි වීම පමණක් ය යන්න වැඩි දෙනාගේ පිළිගැනීමයි. එහෙත් ඊට වඩා අතිවිශිෂ්ට සේවාවක්ද මිහිඳු මහ රහතන් වහන්සේගෙන් සිදුවූ බව අවිවාදයෙන් අප විසින් පිළිගත යුතුව ඇත. දේවානම්පියතිස්ස රජතුමන් ප්‍රමුඛ 40,000 පමණ පිරිස මිස්සක පව්වේදී බෞද්ධයන් බවට පත් කරනු ලැබූ මිහිඳු මහ රහතන්වහන්සේ රටේ ජනතාවට ධර්මය දේශනා කිරීමෙන්ම නැත්නම් රට වැසි පිරිස බෞද්ධ බවට පත් කිරීමෙන්ම තම ධර්මදූත සේවාව සාර්ථක නොවන බව මාස තුන හතරකින්ම තේරුම් ගත්තේය. එයට නිසි පිළියමක් යෙදීම පිණිස මිහිඳු මා හිමියන් ගත් පියවර සිතාගත නොහැකි තරමේ බුද්ධිමත් ක්‍රියාවකි. උන්වහන්සේ ලංකාවට වැඩම කරවන විට මෙරට පාරම්පරික යක්ෂ ගෝත්‍රික පිරිස රටේ වියළි කලාපය පුරා පැතිර සිටියහ. “සිරසවස්තු” පුර, ලංකාපුර නමින් රාජ්‍ය පරිපාලන කටයුතු කෙරෙන ප්‍රධාන නගර දෙකක්ද විය.මේ අතර රටේ මුහුදු බඩ ප්‍රදේශ පුරා නාගදීපයේ සිට දෙවුන්දර දක්වා ව්‍යාප්තව සිටියෝ, නාග ගෝත්‍රිකයෝය. කැලණිය, නාගදීපය, දෙවුන්දර වශයෙන් ඔවුන්ගේ ද ප්‍රධාන නගර තුනක් පැවතුණි. රට මැද කඳුකරය පුරා දෙවියන් අදහන දේව ගෝත්‍රිකයෝ විසූහ. සබරගමුව මධ්‍යම පළාත පුරා ඔවුහු පැතිර සිටියහ. සුමණ දේව එහි රාජයාය.

සිංහභාහු පුත්‍ර විජය කුමරා සත්සියයක් පමණ පිරිසත් සමඟ ලංකාවට පැමිණ යක්ෂ ගෝත්‍රික රාජ කුමරියක වු කුවේණි කුමරිය මෙහෙසිය බවට පත්කරගෙන ලංකා රාජ්‍ය අල්ලා ගත්තේ ය.

මේ අතර උතුරු දඹදිව නේපාල දේශයෙන් පැමිණි භද්දකච්චානා ශාක්‍ය කුමරිය මෙරට රජ පෙළපතට එක්වීම නිසා ශාක්‍ය වංශිකයෝ මෙහි පිමිණිහ. පිළිවෙලින් මෙරටට පැමිණ ඌරුවේල, රාමගෝණ, දීඝායු, අනුරාධ විජිත රෝහණ ආදින් මෙරට පදිංචිව සිටියහ.

මොවුන් එකමුතු කිරීම සඳහා මිහිඳු මාහිමියෝ දේවානම්පියතිස්ස රජු සමඟ සාකච්ඡා කොට මේ සියල්ලන්ටම භික්ෂු භාවයත්, භික්ෂුණී භාවයත් ලබා දුන්හ. එයින් සිදුවූයේ වර්ග භේදයකින් තොරව ගෝත්‍ර භේදයින් තොරව ඉහත සඳහන් පිරිස් පරම්පරා හත අටක් යන විට සිංහල නාමයෙන්ම එකමුතු වීමයි. එනිසා අදත් ලක්දිව ගෝත්‍ර භේදය නැතිවී ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ නිසා කලක් ගත වූ විට රට එකම බෞද්ධ රාජ්‍යයක් බවට පත්විය. එසේ නොවුණිනම් මේ රට අද අති භයානක තත්ත්වයට පත්වනු නිසැක ය. අපේ ඓතිහාසික තොරතුරු ගැන සුපරික්ෂාකාරීව බලන විට මිහිඳු මාහිමියන්, දේශය බෞද්ධ රටක් කළා පමණක් නොව , ගෝත්‍ර භේදයෙන් තොර, කිරීටය දැරූ සිංහල නාමයෙන්ම රට දිගට යන අයුරු සාමකාමි දේශයක් බවට පත්කළහ.

මේ නිසා පොසොන් පුර පසළොස්වක් පොහෝ දිනය බෞද්ධ රටක් වූවා සේම, ගෝත්‍ර භේදයෙන් තොර එකම රටක් බවට පත්වීමට අදාළ බුද්ධිමත් ක්‍රියාමාර්ගයක් දියත් කිරීම මිහිඳු මහ රහතන් වහන්සේගෙන්, පොසොන් දිනය නිසාම සිදු වූවක් බව සැලකිය යුතුව තිබේ.


බුදුදහමේ ආලෝකයෙන් ප්‍රභාවිත ශ්‍රේෂ්ඨ සංස්කෘතියක්

මිහිඳු මාහිමියන් මෙරටට සැපත්වීම නිසා අති විශිෂ්ට සංස්කෘතියකින් හෙබි ජාතියක් බවට සිංහල ජාතිය පත් වූ බව අවිවාදයෙන් පිළිගත් සත්‍යයකි. පළමුවෙන්ම රජතුමා තෙරුවන් සරණ යෑම අනුව යමින් සියලු වැසියෝද තෙරුවන් සරණගත වූහ. තම යාවජීව ප්‍රතිපදාව ලෙස පඤ්ච ශීල ප්‍රතිපදාව පිළිගෙන දිවි හිමියෙන් එය සුරැකීමට පෙළඹුණාහ. ස්වාර්ථයට වඩා පරාර්ථයට මුල් තැන දී බෝධිසත්වවරුන් සේ කටයුතු කළහ. මේ නිසා ශ්‍රී ලාංකිකයාගේ අධ්‍යාත්මික සංස්කෘතිය හා බාහිර සංස්කෘතිය ද බුදුදහමේ ආලෝකයෙන් ප්‍රභාවිත ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් විය. අප ජාතියට උතුම් ජීවන දර්ශනයක් ලබා දුන් බුදුදහම දිවි දෙවෙනි කොට ආරක්ෂා කිරීම පෝෂණය කිරීම තම පරම යුතුකමක් ලෙස සළකා පෙර රජවරුන් හා වැසියෝ ද කටයුතු කළහ. මේ නිසා සියවස් විස්සකට අධික කාලයක් මිහිඳු මාහිමි අපට දායාද කළ බුදුදහම සුරැකිණි. එය ඉදිරියට ද ආරක්ෂා කිරීම අපේද යුතුකම බව සියල්ලෝම සිතත්වා!

මිහින්තලා ආලෝක පූජාව සමඟ කථික, රචනා, චිත්‍ර, තරග පවත්වා මහින්දාගමනයෙන් අප ලද දායාද පිළිබඳව බාල පරපුර දැනුවත් කිරීමට ලේක්හවුස්’ ආයතනය කටයුතු කිරීම අගය කළ යුතු සත් ක්‍රියාවකි. මිහිඳු මාහිමියන් වෙත කෙරෙන උපහාරයකි. අපේ බෞද්ධ පුවත් පත වූ ‘බුදුසරණ’ සතර පෝය වෙනුවෙන් අඛණ්ඩව එළි දැක්වීම පිළිබඳව ද ‘ලේක්හවුස්’ ආයතනයට ද අපගේ ආශිර්වාදය හිමි වේ.


දහම් දිවයිනකට මූලාරම්භය දුන් ඓතිහාසික පින්බිමක උරුමය රැකගනිමු

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සහ පොසොන් පොහොය සිහියට නැගෙන විට නිරන්තරයෙන් සිහිපත් වන ඓතිහාසික පුණ්‍ය භූමිය මිහින්තලාවයි. සම්බුද්ධ පාදස්පර්ශයෙන් අති පාරිශුද්ධත්වයට පත් මිහින්තලා පුදබිම අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන දහස් ගණන් මහ රහතන් වහන්සේලා වැඩ සිටි පින්බිමකි.

දේවානම්පියතිස්ස මහරජතුමාගේ පටන් ඒ ඒ යුගයන්හිදී රාජරාජ මහාමාත්‍යාදීන් ඓතිහාසික මිහින්තලා පුදබිමෙහි කරවන ලද වෙහෙර විහාර, ස්තූප, ගල්ලෙන් ,දානශාලා ,පොකුණු රෝහල් ආදී පුරාවිද්‍යාත්මක ස්මාරක වස්තුන්ගෙන් සමන්විත මිහින්තලා පුරාවෘතය සිහිපත් කරන කවර අයෙකුට වුවද ඇතිවනුයේ මහා සැනසිල්ලකි. එමෙන්ම මහත් ගෞරවයකි.

පංචශීල ප්‍රතිපදාව , පැවිද්ද, උපසම්පදාව, වස්විසීම ආදිය ආරම්භ වූයේද මෙම ඓතිහාසික මිහින්තලාව කේන්ද්‍රකර ගනිමිනි. එබඳු ප්‍රෞඪ ඉතිහාසයකින් යුත් මිහින්තලාවට අනෙකුත් කාලවලට වඩා ලක්ෂ සංඛ්‍යාත වන්දනා කරුවන් නිරන්තරයෙන් පැමිණෙන සමය පොසොන් සමය වේ. රටේ සෑම පළාතකින් ම එසේ පොසොන් සමයේ මිහින්තලාව වන්දනාවට පැමිණීමම අපගේ සංස්කෘතියේ විශේෂ අංගයක් වී ඇති බව පෙනේ. ඒ අගනා සංස්කෘතිකාංගය පරපුරෙන් පරපුරට පවත්වා ගෙන ඒමද විශේෂත්වයකි.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙම වසරේ පවත්වනුයේ 56 වන වරටය. ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් හා විවිධ ආයතනයන්හි සැදැහැති දායකත්වයෙන් මෙම ජුනි 26, 27,28 දිනයන්හිදි එම ආලෝක පූජා මහෝත්සවය පවත්වනු ලැබේ. මිහින්තලා පුදබිමෙහි පෞරාණිකත්වය ආරක්ෂා කරමින් විහාරස්ථානයේ සංවර්ධනයට සහාය අනුග්‍රහය දැක්වු සහ දැනටත් එසේ සිදුකරන සියලු රාජ්‍ය නායකයන් ඒ ඒ රජයන් වෙතද කාරුණිකව පින්දෙමි.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩමවා වදාළ ඓතිහාසික මිහින්තලා පුදබිමෙහි සංවර්ධනයට දායකවීම සසර පෙර පින්මහිමයේ ප්‍රතිඵලයක් ලෙස කල්පනා කළ යුතුව ඇත.

මිහින්තලා මහ සෑ රදුන් ප්‍රධාන සියලු විහාරාංගයන්හි තීන්ත ආලේප කිරීම මෙවරත් ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා ගුවන්හමුදා නිලධාරින්ගේ ශ්‍රමදායකත්වයෙන් සිදු කෙරිණි. රටටත්, ජනතාවටත් සෙත්පතා පවත්වන සති පිරිත් දේශනාවද ලේක්හවුස් ආයතනය අනුග්‍රහයෙන් පැවැත්විණි.

මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති ධර්මශාලා මන්දිරයේ ඉදිකිරීම්ද රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන අතර එය අනාගතයේ මිහින්තලා පුදබිම වන්දනා කිරීමට පැමිණෙන සැදැහැවතුන් ටද මහත් සෙවණක් වනු ඇත.

මිහින්තලා පුදබිමට පැමිණෙන වන්දනා කරුවන් හැකිතාක් සුදුවතින් සැරසී පැමිණෙන ලෙස කාරුණික ඉල්ලීමක් කරන අතර එසේ පැමිණ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ සියැසින් දැක බලා වැඳ පුදා ගැනීම මිහිඳු මහ රහතන් වහන්සේ වෙත දක්වන ඉතා උසස් පූජෝපහාරයක් බවද සඳහන් කරමි.

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ සංකල්පයකට අනුව එතුමන්ගේ පුත් රංජිත් විජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් එදා ආරම්භ කළ ලේක්හවුස් ආලෝක පුජාව මගින් ප්‍රදේශයේ ආගමික, සාමාජික අධ්‍යාපනික වශයෙන් විවිධ සේවාවන් සිදුකිරීමද අගය කළ යුතුය.

මෙවර සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ ජනක එදිරිසිංහ මහතා ඇතුළු පවුලේ ඤාතීන් විසින් දැවයෙන් තනවා පූජාකරන ලද අනුබුදු මිහිඳු මා හිමි ප්‍රතිමා වහන්සේ කොළඹ සිට පෙරහරෙන් පූජෝපහාර මධ්‍යයෙහි වැඩමවා ගෙන ඒමද පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරමි.

ලංකා විදුලිබල මණ්ඩලය ,ජලසම්පාදන මණ්ඩලය, අනුරාධපුර දිසා ලේකම්තුමා, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්තුමා, ත්‍රිවිධ හමුදාව , ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව , පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, මිහින්තලේ ප්‍රාදේශීය සභාව, ඇතුළු මෙම කටයුතු සාර්ථක කර ගැනීමට නන් අයුරෙන් සහාය දක්වන රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා විවිධ ස්වේච්ඡා සංවිධානද කෘතවේදීව සිහිපත් කරමි. මෙවර විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දක්වන සිරස මාධ්‍ය ආයතනයද කෘතවේදීව සිහිපත් කරමි.


අපට සිහිපත් කරන්නේ ශ්‍රේෂ්ඨවූ ජාතියක පුණ්‍යවන්ත පිවිසුමයි

මානව ශිෂ්ටාචාරයේ බොහෝ හැරවුම් ලක්ෂ අවිබලයෙන් සනිටුහන් කර ඇති පසුබිමක කරුණාව හා මෛත්‍රිය පදනම් කරගනිමින් ගොඩනැගුණු සභ්‍යත්වයක යශෝරාවය නගමින් උදාවන පොසොන් පුන් පොහොය අපට සිහිපත් කරන්නේ ශ්‍රේෂ්ඨ වු ජාතියක පුණ්‍යවන්ත පිවිසුමයි.

බුද්ධ වර්ෂ 236 වැන්නේ අද වන් පුන් පොහෝ දිනක දී මිහිඳු මහරහතන් වහන්සේ සිරිලකට වැඩමවීම හේතුවෙන් අප ලැබුයේ නව දහමක උරුමය පමණක්ම නොවේ. ඒ උතුම් සංසිද්ධිය පදනම් කරගනිමින් බෞද්ධ සංස්කෘතියෙන් සදාචාරාත්මක චර්යා ධර්මයන්ගෙන් සුපෝෂණය ලද ජාතියක් ඒ හරහා නිර්මාණය විය. ඒ තුළ අධ්‍යාපනය, සාහිත්‍ය, ගෘහනිර්මාණ ශිල්පය, කෘෂිකර්මය පමණක් නොව සාරවත් සහ පිරිපුන් ජීවන සම්ප්‍රදායක් ද අපට උරුමය විය.

මනුෂ්‍ය වර්ගයාට පමණක් නොව , සතා සීපාවාටද ගහකොළ ඇළ, දොළ, ගංගා ඇතුළු සමස්ත පරිසරයට රැකවරණය ලබාදෙන සහජීවන ප්‍රතිපදාවක පිහිටවමින් මුළුමහත් විශ්වය හා බැඳුණු ජීවන සම්ප්‍රදායක් වෙත අප යොමුකරන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් අපට හඳුන්වා දුන් බුදුදහමේ ආලෝකයෙනි. පසුකලෙක ජාතියක් ලෙස අප මුහුණ දී ඇති දැවැන්ත අභියෝග හමුවේ වුව පසුනොබා නැගී සිටීමට බලවත්ම ශක්තියක් උත්පාදනය කර ඇත්තේ ද එදා ජන ආත්මය තුළ නිධන්ගත වු බෞද්ධ විඥානයෙහි පිහිටෙනි.

ඒ අනුව අද වැනි උතුම් පොසොන් පොහෝ දිනයක, වන පියසක අඹ තුරක් සෙවණෙහි උතුම් බුදු බණ අසන ලද ජාතියක් ලෙස අප විසින් අධිෂ්ඨාන කරගත යුත්තේ සිතින්, කයින් හා වදනින් සංවරව මානව ප්‍රජාව ප්‍රමුඛ කරගත් සමස්ත පරිසරයටම යහපතක් උදාකරලීම උදෙසා කැපවීමටය.

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!


සැබෑ හරය අත්දකින්නට සැලැස්වීම අප සතු වගකීමකි

බුදුදහම පෙරදිග බිහි වූ විශිෂ්ඨතම අධ්‍යාත්මික දර්ශනයකි. මෛත්‍රිය, මුදිතාව, කරුණාව, උපේක්ෂාව පදනම වූ නිදහස් නිවහල් චින්තනයට අනුබල දෙන්නාවූ බුද දහම සාමය, සංහිඳියාවට ,අධ්‍යාත්මික නිවීමට මඟක් කොට ගනිමින් සමස්ත ලොව වෙත එහි සැබෑ හරය අත්දකින්නට සැලැස්වීම අප සතු වගකීමකි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිස විසින් බුදුදහම වැඩමවීමත් සමඟ, අප රටේ පාලන තන්ත්‍රය, සාහිත්‍ය, කලා ශිල්ප, කෘෂිකර්මාන්තය , වාරි කර්මාන්තය ආදි ක්ෂේත්‍රවල මෙන්ම සමස්ත සමාජය තුළ පැහැදිලි නවෝදයක් ඇති විය. බුදුදහමේ හර පද්ධතිය නූතන දියුණු සමාජය තුළ වුවද අධ්‍යාත්මිකව පොහොසත්, යහපත් මිනිසුන් ගොඩනගන්නට, සමාජය වඩා සාධාරණ සහ යහපත් තැනක් බවට පත්කරන්නට ලබා දෙන්නේ නොමඳ ආලෝකයකි.

අප ඒ ධර්මාලෝකය,ධර්මාවබෝධය ලබන්නේ නම් වෛරය, ක්‍රෝධය, අසමඟිය පවතින්නට ඉඩක් නැත. මේ සඳහා හේතුපාදක වන විවිධ සමාජ හා ආර්ථික සාධකයන් ඇතිබවද සත්‍යයකි. එහෙත් සැබෑ ලෙසම බුදුන් වදාළ ධර්මය අනුගමනය කරන්නේ නම් එම බාධක බිඳැ දමමින් තිරසරව සාමය හා සංහිඳියාව අප රට තුළ ගොඩනැගීමට හැකිවනු ඇත.

ඒ සඳහා කැපවීමෙන් කටයුතු කිරීම අප සැමගේ වගකීමකි. ධර්මාවබෝධයෙන් සැම සිත් ප්‍රඥාසම්පන්න වන බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.