Print this Article


අනුබුදු මිහිඳු මා හිමි දැවමය ප්‍රතිමා වහන්සේ මිහින්තලා පුදබිමට

 

අනුබුදු මිහිඳු මා හිමි දැවමය ප්‍රතිමා වහන්සේ මිහින්තලා පුදබිමට

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පිළිරුවක් මිහින්තලා පූජා භූමියේ තැන්පත් කිරීමට යෝජනා වූ අතර, ඒ පිළිරුව නිමා කිරීමට භාග්‍යවන්තයා වූයේ මෙහි කතානායකයා ය.

මොරටුවේ පදිංචි ඔහු නමින් සනත් සුදර්ශන ප්‍රනාන්දු ය. තවමත් භද්‍ර යෞවනයේ පසුවන විසි අට වියැති තරුණයෙකි. ඔහුගේ සසරේ පුරුද්ද අපූර්ව වූවකි. නැමීමට අපහසු මහා ලී කඳන් ඔහු බොහෝ සුන්දර කරයි. එනිසාම මහා ලී කොටන් ඔහු අතින් මනස්කාන්ත පිළිරූ බවට පත්වේ.

මිහිඳු මහ රහතන් වහන්සේගේ පිළිරුවක් නිර්මාණය කරන්න කියලා මට භාර දුන්නේ ජනක එදිරිසිංහ මහතා ඇතුළු ශවින්ද, සවින්ද, යසස් යන මහත්වරු විසින්. ඒ මීට මාස දෙක තුනකට කලින්. මම ඒ සඳහා පේ වුණා. අප මුලින් ම මාතලේ ගිහින් රුක් අත්තන කොටන් කිහිපයක් ගැන විමසා බැලුවා. ඉන් පසුව හොඳ රුක් අත්තන කොටයක් ගෙනවිත් පිළිම වහන්සේ නෙළීම ආරම්භ කළත් අප නො සිතූª අයුරෙන් ඒ කොටය පිපිරුවා. ඉන් පස්සේ අප ඇත්දෙමට ලීයෙන් පිළිරුව නිර්මාණය කරන්න සිතුවා. කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයෙන් අපට ඒ සඳහා හොඳ කොටයක් ලැබුණා. ඒ වනකොට පිළිම වහන්සේ නෙළන්න අපට මාසයක වගේ කෙටි කාලයක් පමණයි ඉතිරිව තිබුණේ.

ඉන් පස්සේ මම මිහිඳු මහ රහතන් වහන්සේගේ දේහ ලක්ෂණ තිබෙන පොතපත කියෙව්වා. කුමාර ලක්ෂණ කෙසේද කියා හොඳින් සොයා බලා ඒ අනුව තමයි පිළිම වහන්සේ නෙළීම ආරම්භ කළේ. ඒ සඳහා මට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහතෙක් උපකාර කළා. අපේ නිවසේ වෙනම ස්ථානයක් මම මේ සඳහා වෙන්කර ගත්තා. ඒ මාස තුන අප නිර්මාංශ වුණා. ඒ වෙනුවෙන් කැප වුණා දිවා රෑ පිරිත් විකාශනය කරමින් බුදුගුණ, දම් ගුණ, සඟ ගුණ සිහි කරමින් මහත් වූ ශ්‍රද්ධාවෙන් යුක්තවයි මේ කටයුත්ත සිදු කළේ.

මම මේ පිළිම වහන්සේ නෙළීමට පෙර පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ සුගන්ධි කුටියේ සුඳු හඳුන් ලීයෙන් කළ කැටයම් සියල්ලම කළා. ඊට අමතරව කඩුවෙල සහ මාලබේ අසපුවලත් මම කැටයම් කළා. මගේ සිතේ සිනිටුහන් වූ තවත් නිර්මාණයක් වන්නේ රෝහණ සංඝ සභාවේ මහානායක ගොම්බද්දල නන්දාරාම මහානායක ස්වාමින් වහන්සේ අපවත් වීමෙන් පසු අඩි 6 1/2 පමණ උසට කළ උන්වහන්සේ ගේ අනුරුව යි.

පිළිම වහන්සේ නෙළා අවසන් වූ පසුව එය උස අඩි 9 ක් වුණා. වර්ගඵලය අඟල් 32 ක් වුණා. තනි කොටයෙන් උපයෝගි කර ගෙනයි ඒ පිළිමය නෙළුවේ. එහි නිමාවට පත් කිරීමේ දී ස්වභාවික පී යූ කියන පේන්ට් එක අප යොදා ගත්තා. මේ පිළිම වහන්සේ නෙළීමේ දී මට බොහෝ දෙනා උපකාර කළා. පළමුව මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන්ට මගේ විශේෂ ස්තුතිය පුද කිරීමට කැමැතියි. ඒ වගේම මට නිරන්තරයෙන් අනුශාසනා කළ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක ඉදිබැද්දර ශ්‍රී සුධර්මරත්නාරාමයේ විහාරාධිපති ගම්පොල සුගුණධජ නා හිමියන් , අත්තිඩියේ සුගුණසිරි හිමියන්, අපරැල්ලේ සෝරත හිමියන්ටද සෙත් පැතීමට කැමැතියි. ඒ වගේම සහන් පියල් , කුසල්, දිල්නුවන්, මහේන්ද්‍ර, ජනක, සජිත, ලක්මාල් , මහේෂ්, චරිත්, සුජිත්, ඉරංග, සුසන්ත, බර්ටි, ශානක වගේම මගේ මව්පියන් ඇතුළු තවත් බොහෝ දෙනෙක් මට සහාය වුණා. ඒ වගේම මිහින්තලේ පන්සලේ තෙන්නකෝන් මහතාට ද මගේ ස්තුතිය පුද කරන්න කැමැතියි.