Print this Article


සීහළවත්ථු කතා : අල්පේච්ඡ බව

 

සීහළවත්ථු කතා :

අල්පේච්ඡ බව

ඈත අතීතයේදී හෙළදිවයිනේ සෝනකගිරිය නම් ගමෙහි මහානාග සහ චූලනාග නමින් සොහොයුරෝ දෙදෙනක් ජීවත් වූහ. ඔවුහු බුදු සසුන කෙරෙහි පැහැදී මව්පියන්ගෙන් අවසර ගෙන පැවිදි වූහ.

ඉන් පසු ඒ ගමෙන් නික්ම ගොස් වනගතව ජීවත් විය. උන්වහන්සේලා අවුරුදු සයක් ගතවන තුරු දෙමවුපියන් නො දැක්කාහ. අරහත්වය සාක්ෂාත් කළ පසු දෙටු තෙරුන් වහන්සේ බාල තෙරුන් වහන්සේ අමතා “අපි මවුපියන් බැහැ දැකීමට යමු” යි කීහ.

යහපතැයි කියා එම වචන පිළිගෙන දෙදෙනා වහන්සේ එක්ව සිය ගමේ පන්සලට පැමිණ “අසවල් ගෙදර විසූ අඹු සැමියන් දෙදෙනා සුවසේ වසත් දැයි” භික්ෂුන් වහන්සේලාගෙන් විචාළීය. “එසේය” යැයි කී විට “ඔවුහු අප්‍රමාදීව කුසල් කෙරෙත්දැයි” වැඩි දුරටත් විචාළා හ.

එසේය ස්වාමිනි, ඔවුහු එක් නිත්‍ය බතක් දෙති. මෑණියන් දිනපතා ආසන ශාලාව අමදියි. පැන් ගෙනැවිත් තබයි. අසුන් පණවයි” කීය.

එවිට බාල ස්වාමින් වහන්සේ “ස්වාමිනි මවුපියන් ගැන තොරතුරු දැනගත්තා නොවැ. දැන් අප හැරී යමු” කීය. එවිට වැඩිමහලු ස්වාමින් වහන්සේ,

”ආයුෂ්මතුනි, අපවන් ශ්‍රමණයන් වහන්සේලා සිටීද්දී ඔවුන්ට පින් කර ගැනීමට අවස්ථාවක් දිය යුතු වෙයි. වන්දනා කිරීමෙන්, උපස්ථාන කිරීමෙන්, ඇඳිලි බැඳීමෙන් ඔවුහු මහත් පිනක් රැස් කර ගනිති. එබැවින් පිණ්ඩපාතයේ හැසිරෙමින් ගොස් ඔවුන් දකිමු” කීය.

ඒ කතාව පිළිගෙන සොහොයුරු දෙදෙනා වහන්සේ පිඬු සඳහා යන ගමන් තමන් ගේ මවුපියන්ගේ ගේ දොරට ආහ. තෙරුන් දුටු සැණෙකින් මෑණියන්ගේ සිතේ පුත්‍ර සෙනෙහේ උපන්නාහ. ඕ ලොකු තෙරුන්වහන්සේ වෙත ගොස්

”ස්වාමිනි ඔබ මහානාග ද?” විචාළීය.

”පිටුපසින් සිටින තෙරුන්ගෙන් විමසන්න” යැයි කීහ.

”ස්වාමිනි ඔබ වහන්සේ චූලනාග ද?” විමසීය.

”මෑණියනි, ඉදිරියෙන් සිටිය තෙරුන් කීවේ නැද්දැයි” විමසීය.

මෙසේ දෙදෙනාම තම මෑණියන්ට තමන්ගේ නම් නො කියා පිඬු පිණිස හැසිරෙමින් අන් ගමකට ගොස්

”දැන් අප විසින් මවුපියන් දෙදෙනා දක්කා නොව. එනිසා අප දැන් නික්ම යමු” කතිකා කොට ඒ ගමෙන් වැඩියහ.

උපාසිකාව ඒ වැඩියේ තම පුත්‍රයන් බව හඳුනාගෙන ඔවුන් සොයාගෙන නිවසින් නික්ම තමා වසන ගමේ විහාරස්ථානයට ගොස් භික්ෂුන් වහන්සේගෙන් “ස්වාමින් වහන්ස, අර දෙනම මාගේ පුත්‍රයෝ බව කීවේදැයි” දැයි විචාළහ.

”ඔබගේ පුත්‍රයන් බවක් නම් කීවේ නැත. නමුත් මෙහි පැමිණ ඔබගේ තොරතුරු අපෙන් අසා දැනගත්තා” යයි ඒ භික්ෂූන් වහන්සේ කීහ.

උපාසිකාව ඒ ඒ තැන සොයමින් ගොස් ගම් දෙක අතරේ යන එන්නන්ගෙන් විමසමින් ඒ ගමට ගියා ය. තෙරුන් වහන්සේ දෙනම එදා ඒ ගමෙහි පිඬු පිණිස වැඩියහ. උපාසිකාව තෙරුන් වහන්සේ දැක “ස්වාමිනි මගේ නිවසට වඩිනු මැනවයි” ඉල්ලා සිටියහ . එවිට බාල ස්වාමින් වහන්සේ “ස්වාමිනි, අපි මෑණියන්ගේ ඉල්ලීම ඉටු කරමු” යැයි කීවද වැඩිමහලු තෙරුන් එහි යා නො හැකි බව කියා සිටියහ. උපාසිකාව වැඩිමහලු ස්වාමින් වහන්සේගේ පාමුල වැටී ඉන්පසු බාල ස්වාමින් වහන්සේගේ ද පා මුල වැටී දෙදෙනා වහන්සේ මැද පෙරළෙමින් විලාප කියා හඬන්නට වූ නිසා උන්වහන්සේලා ඇයගේ නිවසට වැඩි සේක.

ඉන්පසු ඒ ස්වාමින් වහන්සේ දෙනම මෑණියන්ගේ ගමේම කුටියක් තනාගෙන පිරිනිවෙන කාලය දක්වා එහිම විසූ සේක. මවගේ ගෙය විනාශ වූ විට කැලෙයන් ලී ගෙනවුන් උන්වහන්සේලා ගෙය සාදා දුන්හ . ධර්මයෙන් ඔවුන්ට අවවාද අනුශාසනා කළහ . දුකේ දී පිහිට විය.

එසේ රහතන් වහන්සේලා තම මෑණියන්ට හෝ තමන් වහන්සේලා හඳුන්වා නො දුන්නේ අල්පේච්ඡ ජීවිතයක් ගත කරන නිසා බව වැඩිදුරටත් සීහළවත්ථුවෙහි සඳහන් වෙයි.