Print this Article


පන්නිල ශ්‍රී ආනන්ද නා හිමියන්ගෙන් සුවිසල් මෙහෙවරක්

 

පන්නිල ශ්‍රී ආනන්ද නා හිමියන්ගෙන් සුවිසල් මෙහෙවරක්

ශාරීරික, පාරිභෝගික හා උද්දේසික වශයෙන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා වැඳුම් පිදුම් කිරීමට බෞද්ධයා නිරන්තරයෙන් හුරුපුරුදු වී සිටිති. එමගින් අප්‍රමාණ පින්දහම් සපුරා ගනිමින් මහත් සැනසිල්ලක් උදාකර ගැනීමටද සමත්වෙති.

වෙසෙසින්ම ජීවිතයට දුක්, බිය, රෝග පැමිණිවිට මට සම්බුදුපිහිට හැර අන් පිහිටක් නැතැයි කල්පනා කරමින් සම්බුද්ධ වන්දනාවට තවතවත් පෙළඹේ. ගතට සිතට එමගින් මහත් අස්වැසිල්ලක් හිමිවීම ඊට හේතුවයි. කායික මානසික රෝග පීඩාදිය පැමිණිවිට හදවතට දැනෙනුයේ තනිකමකි. පාළුවකි. රෝග පීඩාදියට පත් වූ විට කයට විවිධ වෛද්‍ය ප්‍රතිකාරද ලැබිය යුතුය. මනසද සුවපත් කරමින් සෙතක් ශාන්තියක් අත්පත් කර දීමට සම්බුද්ධ වන්දනාව හේතුවේ.

ඔත්පළව ප්‍රතිකාර ලබන අවස්ථාවක රෝහලකදී පවා සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ දකින විට එමගින් සිත පහන් වෙයි. සිතට මහ අස්වැසිල්ලක් හිමිවෙයි. දකින බලන සිත් පහන් කරවන සම්බුදු මැදුරක් ඉකුත් දා (24) මහනුවර මහ රෝහලේ දී විවෘත කිරීමට නියමිතව තිබිණි.

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක අත්තනගල්ල අරහන්ත රාජමහා විහාරාධිපති, ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරයේ සහ තායිවානයේ ථෙරවාද බෞද්ධ විහාරයේ අධිපති මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් මහනුවර මහ රෝහලේ එසේ සම්බුදු මැදුර ඉදි කෙරිණි.

එම රෝහලේ භික්ෂු වාට්ටුවද ප්‍රතිසංස්කරණය කරවූ පන්නිල ආනන්ද නාහිමියෝ එම උදාර පුණ්‍ය කර්මය සඳහා රුපියල් ලක්ෂ අසූවක පමණ මුදලක් වැය කර ඇත.

පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් රෝහල් සංවර්ධන ක්‍රියාවලියෙහි බොහෝ කලක සිට නිරතව වැඩ සිටින අතර එමගින් සුවිසල් මෙහෙවරක් සිදු කිරීම පැසසිය යුතුව ඇත.

රටේ ජීවනාලිය අද හැදෙන වැඩෙන දරු පරපුරය. ඔවුන් රටේ අනාගතය මෙහෙයවන්නෝ වෙති. එබැවින් ඔවුන් ගුණනුවණින් පිරි පරපුරක් කිරීම වත්මන්හි වෙසෙන අපගේ උදාර වගකීම වේ. එම උදාර අරමුණ ද පෙරදැරිකරගනිමින් සරසවි හා පාසල් අධ්‍යාපනය ලබන සිසු දරුවන් 1260 දෙනෙකුට මාසිකව මූල්‍යමය ශිෂ්‍යාධාර පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ විසින් පිරිනමනු ලැබේ. පටුවාද භේදාදියෙන් තොරව පාසල් දරුවන්ගේ යහපත වෙනුවෙන් මෙතෙක් සිදු කර ඇත්තේ ඓතිහාසික යුග මෙහෙවරකි.

පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ජාතික, ආගමික, සාමාජික හා අධ්‍යාපනික වශයෙන් සිදුකර ඇති සුවිසල් මෙහෙවරෙන් අධ්‍යාපනය වෙනුවෙන් පමණක් මෙතෙක් සිදු කර ඇති සේවය වෙනත් කවරෙකු හෝ තනිවම සිදුකර ඇත්දැයි සිතීමට පවා අපහසු කරුණකි.

අත්තනගල්ල රාජමහා විහාරස්ථ තෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ල රුපියල් තුන්කෝටි අසූලක්ෂයක වියදමින්ද, විහාරස්ථ තෙමහල් ශිෂ්‍ය නේවාසිකාගාර දෙකක් රුපියල් දෙකෝටි හැට ලක්ෂයක සහ රුපියල් කෝටි තුනක වියදමෙන්ද, යටියන ජයවර්ධනාරාම දහම් පාසල් ගොඩනැගිල්ල රුපියල් හතළිස් පන් ලක්ෂයක වියදමෙන්ද, වල්පොල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල රුපියල් එක්කෝටි හැටහය ලක්ෂයක වියදමෙන්ද, ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂයක වියදමෙන්ද, මහනුවර නියංගොඩ ධර්මාලෝක පිරිවෙනේ දෙමහල් ගොඩනැගිල්ල රුපියල් දෙකෝටි දහඅට ලක්ෂයක වියදමෙන් ද, කඹුරාගල්ල පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැග්ල රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක වියදමෙන්ද, මහියංගනය දඹාන ආදිවාසි ගම්මානයේ පාසල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ හතළිස් දෙකක වියදමෙන්ද, කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දෙමහල් පාසල් ගොඩනැගිල්ල රුපියල් එක්කෝටි විසි හය ලක්ෂයක වියදමෙන්ද, වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ තෙමහල් විද්‍යාගාර පාසල් ගොඩනැගිල්ල රුපියල් දෙකෝටි විසි ලක්ෂයක වියදමෙන් ද, තිහාරිය අල් අස්හර් මුස්ලිම් මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක වියදමෙන්ද, අලවල මහා විද්‍යාලයේ තෙමල් පාසල් ගොඩනැගිල්ල රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක වියදමෙන් ද, නිට්ටඹුව සංඝබෝධි මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක වියදමෙන් ද, නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂයක වියදමෙන්ද, කන්දේගම මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ විසි දෙකක වියදමෙන්ද, එල්ලක්කල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂයක වියදමෙන්ද, මීරිගම ගණේගොඩ රාජසිංහ මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ දහ අටක වියදමෙන්, ගොරකදෙණිය මහා විද්‍යාලයේ දෙමහල් පාසල් ගොඩනැගිල්ල ලක්ෂ විසි අටක වියදමෙන් ද, වේයන්ගොඩ ජනාධිපති මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල රුපියල් එක්කෝටි අනූලක්ෂයක වියදමෙන් ද මෙම මස 26 වනදා සිසු අයිතියට පත් කරන ලද වේයන්ගොඩ විද්‍යාලෝක විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂයක වියදමෙන් ද ඉදිකරවා ඇත. මේ අතර නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලයේ සහ රදාවඩුන්න පාසලේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලත්, එල්ලක්කල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලත්, මීරිගම ගණේගොඩ රාජසිංහ මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ලත්, ගොරකදෙණිය මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ලත් මේ වසරේ සිසු අයිතියට පත් කිරීමට මේ වන විටත් සියලු කටයුතු යොදා ඇත.

පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කිසිදු අපේක්ෂාවකින් තොරව මෙලෙස මෙහෙවර ඉටු කරනුයේ රටේ අනාගත යහපත උදෙසාමය.

කෙනෙකුට ඉටු කිරීමට නොව සිතීමට පවා අපහසු උදාර මෙහෙවර රැසක් සිදුකර ඇති පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සැබැවින්ම සමාජයට මහත් ආදර්ශයකි. අපේ කාලයේ සසුනඹරේ පහළ වී ඇති දිදුලන තාරකාවක් වන් පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ මෙහෙවර ශාසනවංශ කතාවෙහි පමණක් නොව ශ්‍රී ලාංකේය ඉතිහාසයෙහි ද නව පිටුවක සනිටුහන් වන චරිතාදර්ශයකි.