Print this Article


මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ

 

මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු සියයක් යනවිට, දෙවන ධර්ම සංගායනාවට නැවත පරිසරය සකස් වුණා. එයට හේතු වුණේ වජ්ජි පුත්ත භික්ෂූන් වහන්සේ , බුදුරජාණන් වහන්සේ අකැප බව පෙන්වූ විනය කොටස්, දස අකැප වස්තූන් තමන්ට අවශ්‍යය ලෙස වෙනස් කරන්න සැරසුණා. මේ වෙලාවේ සබ්බකාමී යස නමැති මහ රහතන් වහන්සේ මැදිහත් වුණා. එදා සිටියේ කාලාශෝක නැමැති රජකෙනෙක්. මේ රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන දෙවන වතාවටත් සංගායනාවක් පැවැත්වූවා.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු සියයකට පසුව, මහ රහතන් වහන්සේ හත්සියයක් සම්බන්ධ වෙනවා. මාස අටක් තිස්සේ නැවතත් ධර්ම සංගායනාවක් පවත්වනවා. එහිදීත් රහතන් වහන්සේලා මෙන්න ධර්මය, මෙන්න විනය , මෙන්න බුද්ධ ශාසනය යනුවෙන් ධර්ම කොටස් පෙර පරිදිම සංගායනා කර, පිරිසුදු ධර්ම විනය දෙකම අනාගත පරපුර වෙනුවෙන් ස්ථාපිත කරනවා. දෙවන ධර්ම සංගායනාව අවසානයේ මහ රහතන් වහන්සේ පිරිසක් බලනවා, අනාගතයේ බුද්ධ ශාසනයේ ධර්ම විනය කෙතරම් කාලයක් ආරක්ෂා වී පවතිනවාද? මේ ශාසනයට අනතුරක් උපද්‍රවයක් ඇති වෙනාවා ද? එහි දී උන්වහන්සේ දකිනවා, තව නොබෝ කාලයක් යන විට අනාගතයේ දඹදිව අන්‍ය තීර්ථකයන් බලවත් වෙනවා. ඒ අය මහ රහතන් වහන්සේලාට, භික්ෂූන් වහන්සේලාට වෙහෙර විහාරවලට අනතුරු විපත් උපද්‍රව සිදු කරනවා. ශාසනය විනාශ වෙලා යනවා. මේ ශාසනය බේරාගන්න තරම් දක්ෂ ව්‍යක්ත භික්ෂූන් වහන්සේ නමක් එකල සොයා ගන්න නැහැ. මේ මොහොතේ ඍද්ධි බල සම්පන්න මහ රහතන් වහන්සේ දිවැසින් බැලුවා, මේ මනුෂ්‍ය ලෝකයේ පින් ඇති , අනාගතයේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න පුළුවන් මහා පින් ඇති උත්තමයෙක් ඉන්නවා ද? මනු ලොව නැහැ. ඒ මොහොතේ බැලුවා දෙව්ලොවවත් ඉන්නවා ද? චාතුර්මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතී, පරනිම්මිත වසවර්තී දිව්‍ය ලෝකයෙන් දිව්‍ය ලෝකයට විමසා බැලුවා, මේ සිටින දිව්‍ය පිරිස අතර පින් ඇති අය ඉන්නවා. හැබැයි, බුද්ධ ශාසනය බේරාගන්නා තරම් මහා බලසම්පන්න, පුණ්‍ය ශක්තියක් ඇති උත්තමයෙක් තාම නැහැ. දිව්‍ය ලෝකයෙත් නැහැ. මනුලොවත් නැහැ.

ඒ වෙලාවේ ඍද්ධි බල සම්පන්න මහ රහතන් වහන්සේ බැලුවා, මේ වෙනුවෙන් මහා පින් ඇති බලසම්පන්න උත්තමයෙක් බඹලොවවත් ඉඳී ද? ශාසනය රැකගන්නා පින්වන්තයෙක්. ඒ මොහොතේ බ්‍රහ්ම දේවතාවෙක් දැක්කා. මහා පින් ඇති බොහොම දක්ෂ උත්තමයෙක් සමාපත්ති සුවයෙන් බඹලොව පහළ වෙලා ඉන්නවා.

තිස්ස නමැති බ්‍රහ්ම දේවතාවෙක්. එදා මහ රහතන් වහන්සේ ඍද්ධියෙන් බඹලොවට වැඩම කර, මේ බ්‍රහ්ම දේවතාවගෙන් ඉල්ලීමක් කළා. මනුලොව බුද්ධ ශාසනය පිරිහෙන ලකුණු තියෙනවා. ඒ නිසා ඔබ මනු ලොවට වඩින්න. ශාසනය බේරා ගන්න. එසේ කියද්දී බ්‍රහ්ම දේවතාවා කියනවා. ‘ මම කාම ලෝක දිහා හැරිලවත් බලන්න කැමැති නැහැ, කියලා. පින්වතුනි, බ්‍රහ්ම ලෝකය කාමයන් ඉක්මවා ගිහින් පංච කාමයන්ගෙන් මිදුණු තැනක්. සමාධිය වඩලා, සමාපත්ති සුවයන් වඩලා තමයි බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම දේවතාවෝ උපත ලබන්නේ. පංචකාමයන්ගේ ආදීනව සිහි කරලා තමයි බ්‍රහ්ම තලයේ උපත ලබන්නේ. ඒ නිසා මේ බ්‍රහ්ම දේවතාවා කියනවා, මා කාම ලෝක දිහා හැරිලවත් බලන්න කැමැති නැහැ.

මේ ඍද්ධි බල සම්පන්න මහ රහතන් වහන්සේලා දෙවන වතාවටත් කරුණු කියද්දී, දෙවන වතාවෙත් ප්‍රතික්ෂේප කරනවා. තුන්වන වතාවේ ශාසනිකව කරුණු පෙන්වා දී, ඔබ මේ කැප කිරීම කළේ නැත්නම් අනාගතයේ බුද්ධ ශාසනය අතුරුදන් වෙනවා. ඒ නිසා අනාගත බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් ඔබටයි ඒ දේ කරන්න පුළුවන්. ඔබ බ්‍රහ්ම ලෝකයෙන් මනුලොවට එන්න කියනවා. මනු ලොව හිත පිහිටුවාගෙන, ශාසනය බේරා ගන්න, බ්‍රහ්ම තලයෙන් පහළට බසින්න කියනවා. ඒ වෙලාවේ කැමැති වුණා. අන්න ඒ බ්‍රහ්ම දේවතාවා හැටියට තිස්ස නම් වූ බ්‍රහ්ම දේවතාවා තමයි මහ රහතන් වහන්සේලාගේ ආරාධනාවෙන් මනුලොවට ආවේ. ඒ තමයි මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේ.

එලෙස වැඩම කළ මොග්ගලී පුත්ත මහ රහතන් වහන්සේ තුන්වන ධර්ම සංගායනාවට මුල් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු දෙසිය තිස් ගණනකට පසුව, තුන්වන ධර්ම සංගායනාව පැවැත්වෙන්නේ.

ඉතිරි කොටස පොසොන් අව අටවක ජූලි 06 පත්‍රයේ පළවේ.