Print this Article


අතීතය දෙස බලා ඉදිරියට යමු

අතීතය දෙස බලා ඉදිරියට යමු

මහින්දාගමනය යනු මෙරට ඉතිහාසයෙහි සුවිශේෂී සන්ධිස්ථානයකි. ලාංකික සමාජය තුළද ආගමික, සාමාජික,ආර්ථික සංස්කෘතික වශයෙන් සිදු වූ වෙනස අවිවාදාත්මක ය. මහින්දාගමනය ඉහත සඳහන් අංශවලට පමණක් නොව කලා ශිල්ප, චිත්‍ර මූර්ති හා කැටයම් ආදී සෑම අංශයක් කෙරෙහිම පුළුල් බලපෑමක් කර ඇත. ගසට පොත්තත්, පොත්තට ,ගසත් මෙන් සිංහල ජාතිය හා බුදුදහම එකට වෙළාගත් අයුරු ඉතිහාසය තුළින් දැකගන්නට පුළුවන.මේ ආකාරයෙන් ශ්‍රී ලාංකික ජනතාව තම අනන්‍යතාවය ලොවට පෙන්නුම් කළ අදීන ජාතියක් බවට පත්විය.

මිහිඳු හිමියෝ ශ්‍රී ලාංකික ජනතාවගේ ඇවැතුම් පැවැතුම් හා සිත් සතන් නිවැරැදිව හඳුනාගෙන ධර්මදේශනා කළ ශ්‍රේෂ්ඨ උත්තමයෙකි. උන්වහන්සේ දේශනා කළ ධර්මය අනුගමනය කිරීම ශ්‍රී ලාංකිකයින්ට දුෂ්කර කාර්යයක් නොවීය. ගැඹූරු දර්ශනයක් ඉදිරිපත් කිරීමට වඩා උන්වහන්සේගේ අවධානය යොමු වූයේ මිනිසාගේ දෛනික ජීවිතය හැඩ ගැස්වීමටය.අකුසල් පැත්ත ඉවත්කර කුසල් පැත්තට යොමුකරලීමත් ඒ තුළින් අන්‍යයන්ට හිරිහැරයක් ,කරදරයක් නොවන ආකාරයට තම ජීවිතය නිවැරැදි මගකට යොමුකර සැනසිලිදායක, සුවදායක ප්‍රජාවක් බිහිකර ලීමත් තමන් දේශිත ධර්මයෙහි අරමුණ විය.

රටක් නිවැරැදි මගට යොමුකරලීමට නම් ඒ රටේ පාලකයා ආදර්ශ සම්පන්න විය යුතුය. මිහිඳු හිමියන් මුලින්ම කළේ රටේ පාලකයා නිවැරැදි පුද්ගලයකු බවට පත්කරලීමට සඳහා පන්සිල් සුරකින පාලකයෙකු රට තුළ ඇතිකරලීමය.

යක්ෂ , නාග වශයෙන් මෙරට පැවැති ගෝත්‍ර භේද මිහිඳු හිමියන් ගේ ආගමනයත් සමඟ වෙනස්වී සමගි සම්පන්න සමාජයකට මග පෑදිණි. දානය, පි‍්‍රයවචනය ,අර්ථචර්යාව, සමානාත්මතාව වැනි වටිනා උතුම් ගුණ ධර්මයන් තුළින් සමාජය තුළ තිබිය යුතු සමානතාවය තව තවත් වර්ධනය වු අතර මෙත්තා, කරුණා, මුදිතා ,උපේක්ෂා ගුණයන් ක්‍රියාත්මක කිරීම තුළින් ගැටුම්වලින් තොරව අන්‍යෝන්‍ය පි‍්‍රයශීලි සබඳතාවය ගොඩනංවන සමාජයක් ඇති වූ බව පෙන්වා දෙන්නට පුළුවන. මිහිඳු හිමියන් වැඩම වීමෙන් සිදුවු උදාරම මෙහෙය නම් මිනිසාගේ පිබිදීමේ සිට රාත්‍රි නින්දට යන තෙක් මුළු දවසම බෞද්ධ දිනචරියාවකට අනුව සැකසෙමින් තමන් ගැන මෙන්ම අනුන් ගැනත් සිතන සහනශීලි දිනයක් ගත කිරීමට මගපාදා දීමයි.උපතේ සිට මරණය දක්වා වු සෑම කාර්යකදීම බුදුදහම පදනම් වූ සමාජයක අඩිතාලම වැටුණේ මහින්දාගමනයත් සමඟය. ගමත්, පන්සලත්, වැවත්, දාගැබත්, මෙරට ප්‍රෞඩත්වයේ සංකේතයන්ය. මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජුට දුන් උපදෙස් අතර “මහරජ, ඔබ මේ පොළොවේ අයිතිකරුවා නොව ආරක්ෂක යා ය. “යන්නයි. හැම පැතිකඩකින්ම රට ආරක්ෂා කිරීම මෙයින් අදහස් කරයි. මිනිසා හා සත්ත්වයා ආරක්ෂා කරන අප රටේ සම්පත් ද ආරක්ෂා කළ යුතු ය. මේ උතුම් පාඨය අපගේ සියලු ක්‍රියාකාරකම් හි දී සිහිතබා ගත යුත්තකි.

හිංසාවකින් තොරව ජීවත් විය යුතුය යන්න මහින්දාගමනයත් සමඟම අපට ලැබුණු මූලිකම පාඩම කි. මෙහිදී මිනිසා ඇතුළු සියලු සත්වයින්ටම හිංසාවක්, පීඩාවක් නොකළ යුතුය යන්න අදහස් කරයි. බොහෝදුරට අපේ අවශ්‍යතා ඉටුකරගැනීමෙහිලා හිංසාවට මූලිකත්වය දී කටයුතු කරන සමාජයක් අද දැකගන්නට පුළුවන.

තැතිගන්වන, භයගන්වන තර්ජනාත්මක වචන තුළින් පමණක් නොව අතපය,අවි ආයුධ පරිහරණය කිරීම තුළින්ද පාතාල කල්ලි යොදවා ගැනීමෙන්ද මිල මුදල්, යාන වාහන,දේපළ පුද්ගල පැහැර ගැනීම් වැනි දෑද සිදුවන අයුරු දැකගත හැකි ය.

උගතුන් බිහිකරන විශ්වවිද්‍යාලයක වාර්ෂිකව නවක සිසුන් වෙත එල්ලවන වධහිංසා දෙස බලන්න. මානසික පීඩාවට,අසහනයට, ආතතියට පත්ව අතරමං වන ජීවිත කොපමණ ද? මේ අතර සමහර සිසුහු විශ්වවිද්‍යාලය අධ්‍යාපන ය අතහැර යති. සමහර අය මුළු ජීවිතයම කල්පනා ලෝකවල නිමග්නව සිටිති. බුදුදහමෙන් පෙන්නුම් කරන අවිහිංසා ප්‍රතිපත්තිය පිළිබඳව ඔබ අප නැවත සැරයක් හැරී බැලිය යුතුව ඇත.

අවිහිංසා සිතිවිලි හා හැඟීම් කුඩා කල සිට අපේ ළමා ලෝකයට ප්‍රවිෂ්ට කිරීම ගැන වැඩිහිටි ඔබ හැම විශේෂයෙන් සැලකිලිමත්වීම යුග අවශ්‍යතාවයක් වනු ඇත. මේවායේ ඇති දුර්විපාකය, වේදනාත්මක ප්‍රතිඵලය ගැන සිතා මෙවැනි හිංසක ක්‍රියාකාරකම්වලින් ඉවත්වීමට සිතයිනම්, එය එක්තරා අතකින් පොසොන් පෝයදා මිහිඳු හිමියන් වෙත පුදකරන සුවිශේෂී ගෞරවයක් ලෙස අපි දකිමු.

අනුරාධපුරය ,මිහින්තලය ආදි පෞරාණික ස්ථාන නැරඹීමට යන සමහර අය විනෝද චාරිකාවක් ලෙස යොදාගෙන ඇති බව පෙනේ. මත්පැන් පානය කරමින් විවිධ සංගීත භාණ්ඩ වාදනය කරමින් කාමුක හැඟීම් අවුස්සන ගීත ගායනා කරමින් අශෝභන අසංවර ගමන් විලාසය සමඟින් මිහිඳු හිමියන් මහත් කැපවීමෙන් අප වෙත ලබා දුන් ඒ ශ්‍රේෂ්ඨ දායාදයට අවමානයක් කරනවානේදැයි සිතිය යුතු ය. මෙය මිහිඳු හිමියන්ට කරන අගෞරවයකි. බෞද්ධ හැඟීම් ඇතිකරන කවි ගීත ගායනා කිරීම වරදක් නොවේ. නමුත් ඒවා පවා ගායනා කළ යුත්තේ ද තැනට සුදුසු බුද්ධිය මෙහෙයවමිනි. මිහිඳු හිමියන් සිහිපත් කරන මෙබඳු දිනයක දී අප අතින් සිදුවන වැරැදි අවබෝධකරගෙන ඒවායින් දුරස්වීමට අධිෂ්ඨාන කරගත යුතුය. මිහිඳු හිමියන් ලබා දුන් පණිවුඩය අපේ ක්‍රියාකාරකම් තුළ නැත්නම් මිහිඳු හිමියන් ගුණ ගායනයෙන් ඇති ප්‍රතිඵලය කුමක්ද?

මිහිඳු හිමියන් ලක්බිමට වැඩම වීමෙන් පසුව අප රට තුළ සිදුවූ ගෘහ නිර්මාණ ශිල්පය හා කලා කෘති ගැනද අප කල්පනා කළ යුතු ය. ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම වීමේදී පැමිණි අටලොස් කුලයක ශිල්පීන් නිසා මෙරට කැටයම්, මූර්ති, චිත්‍ර, ගෘහනිර්මාණ, වාරිකර්මාන්ත ආදී විවිධ ක්ෂේත්‍රවල ශිල්පීය දැනුම වර්ධනය වු අයුරු දැක ගන්නට පුළුවන.හැඩි දැඩි කළු ගලෙන් කරුණාව, දයාව මූර්තිමත් කරන බුද්ධ ප්‍රතිමා මෙන්ම සියුම් කැටයමින් අලංකෘත බෞද්ධ දර්ශනය ප්‍රකට කරන සඳකඩපහන, කලා නිර්මාණවලද ඔපවත් වූ පොකුණු වැනි නිර්මාණද බිහිවිණි. මහා සමුද්‍ර වැනි විශාල වැව් ඇළ, දොළ , ගංගා මේ සියල්ල ශ්‍රී ලාංකිකයාගේ ශක්තිමත් දෑතින් නිර්මාණය වූ ඒවා ය.

දේවානම්පියතිස්ස රජු ඉදිකළ මහා විහාරයත්, ථූපාරාමයත් පසුව ඇතිවූ අභයගිරිය, ජේතවනාරාමය වැනි සිද්ධස්ථානයත් දුටුගැමුණුූ රජු ඉදිකළ ලෝවාමහාප්‍රාසාදය, රුවන්වැලිසෑය, මිරිසවැටියත් පැරැණි ශ්‍රී ලාංකිකයින්ගේ විශිෂ්ට නිර්මාණයන්ය. චිත්‍ර කලාව අතින් බැලුවත් සීගිරි සිතුවම් අපට මහත් ආඩම්බරයකි. බොහෝ රටවල තම රටේ ගොඩනැගිලි ඉදිකිරීමේදී ඒ රටේ අනන්‍යතාවය සුරකිමින් නිර්මාණ කටයුතු කරන බව දැකගත හැකිය. නමුත් අපේ රටේ ගෘහනිර්මාණ ශිල්පීන් කී දෙනෙක් ඒ පැරැණි අද්විතීය නිර්මාණවලින් ආදර්ශයක් ලබනවාද? එබඳු අය ඉතා අඩු මට්ටමක පවතී. ගෘහ නිර්මාණ කරණයේදී අපේ අනන්‍යතාවය ලොවට හෙළි කළ හැකිනම් මොනතරම් වැදගත් ද?

කෘෂිකර්මාන්තය දෙස බැලුවත් ඊට අදාළ වාරිකර්මාන්තය දෙස බැලුවත් දියුණු මට්ටමකට මේවා පත්ව ඇත්තේ මහින්දාගමනයෙන් පසුවය.

උට්ඨාන වීර්යයෙන් යුක්තව ඉර උදාවට පෙරම කුඹුරට බසින ගොවියෝ දිවා ආහාරය ගැනීමට වැව් කණ්ඩියට හෝ දියපාරක් ඇති තැනක රැස්වී ආහාර ගත් හ. ඒ වැවෙන්ම මුහුණ කට සෝදාගෙන ඒ වැව් ජලයම පානය කර ඇත. මේ ආකාරයට වැව් අමුණු ආශි‍්‍රතව කටයුතු කළ නිසාම රට ආහාරයෙන් ස්වයංපෝෂිත විය. මිනිසාගේ එදිනෙදා අවශ්‍යතා සම්පූර්ණ විය. එදා සිටියේ වැඩකරන ජනතාවකි. ඔවුහු දහඩිය වගුරුවමින් වැඩ කළහ.ගොවිතැන උතුම් වෘත්තියක් ලෙස සැලකූහ. අද සමහරු සිතන්නේ නිකම් සිටිමින් මුදල් උපයන මාර්ගයන්ය.

අද කුඹුරු පුරන් වී ඇත. අද කුඹුරට බැස මඩ ගා ගන්නට, දහඩිය හෙළා වැඩකරන්නට බොහෝදෙනා අකැමැතිය. මේවා කර වැඩක් නැතැයි කුමක් හෝ කියා මග හරිති. කම්මැලි අලස, වැඩ නොකරන ජනතාවක් බිහිවෙමින් පවතී. මහන්සි නොවී, නිකරුණේ කාලය ගතකරමින් මත්කුඩු, මත්ද්‍රව්‍ය අලෙවියෙන් හෝ වෙනත් වැරැදි වංචා සහගත ක්‍රමවලින් මුදල් ඉපයීම අද සමහර දෙනාගේ අරමුණ වී ඇත. මහින්දාගමනයත් සමඟ නිර්මාණශීලිව, වැඩකළ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත් ඒ අතීත මිනිසා දෙස නැවැත නැවැතත් හැරී බැලීමට අවස්ථාව උදාවී ඇත.

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ දඹදිවින් වැඩම කළ බෝධි වෘක්ෂය තුළින් මෙරටට මොනතරම් මෙහෙයක් සිදුවී ඇත්ද? බුදුදහම මෙරට පුරා පැතිරෙත්ම ඒ සෑම වැදගත් ස්ථානයකම බෝධීන් වහන්සේද රෝපණය කරණ ලදී.

වෘක්ෂ වන්දනාවට හුරු පුරුදු ශ්‍රී ලාංකිකයා ඉතා ඉක්මනින් බෝධිය වටා එක්රොක්වූහ. මහමෙව්නා උයන ආශි‍්‍රතව මහා විහාරය මුල් කරගෙන අදාළ ස්ථානවල චෛත්‍යයන් හා ගොඩනැගිලි සෑදීම තුළින් එදා පරිසරයටත්, මිනිසාටත් හානියක් නොවන අයුරින් අනුරාධපුර පුණ්‍ය භුමිය පරිහරණය කළ ආකාරය මෙහි දී අපට වැදගත්ය. පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය ගස්කොළන්, ආරාම, උයන්වතු සෑදීම, නිති පින් වැඩෙන කාර්යයන් ලෙස ධර්මයෙහි සඳහන්ය. පොසොන් පොහොය යනු ප්‍රෞඪ සාඩම්බර අතීතය අපට සිහිපත් කර දෙන පූජනීය දිනයකි.

අතීතය දෙස බලා අපි ඉදිරියට යමු. එසේ නොවුණහොත් ශ්‍රී ලාංකිකයා කනගාටුදායක, අභාග්‍ය සම්පන්න අඳුරු යුගයකට පා තබනු ඒකාන්තය.