Print this Article


මිහිඳු මාහිමියන් දායාද කර දුන් අවිහිංසාව

 

මිහිඳු මාහිමියන් දායාද කර දුන් අවිහිංසාව

මිහිඳු මහරහතන් වහන්සේ එදා අපේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සියවස් තුනකට පසු එනම් බු.ව.236 පොසොන්පුර පසළොස්වක පොහෝ දිනක ලංකාවට වැඩම කරන්නේ එවකට ලංකාවේ රජකම් කළ දේවානම්පියතිස්ස රජතුමාගේ අදෘෂ්ඨ මිත්‍රයෙකු වූ දඹදිව ධර්මාශෝක මහරජතුමාගේ ධර්මවිජය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙසට යි. කාලිංග යුද්ධයේ දී තම අණින් ජීවිතක්ෂයට පත් වූ ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත පිළිබඳ මහත් පසුතැවිල්ලට පත්ව සිටි රජතුමාගේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ උපශාන්ත දර්ශනයෙන් බුදුදහම පිළිබඳ පහන් සිත් ඇති වීමත් සමඟ සිතට මහත් අස්වැසිල්ලක් දැනුණා.

මේ අවස්ථාවේ දී බුදුදහම ගැන ඇති කරගත් පැහැදීම කෙතරම් දැඩි බවට පත් වී ද කිවහොත් රජතුමා බුදුදහමේ උගන්වන අවිහිංසක පිළිවෙතට යොමු වුණා. දිග්විජය ප්‍රතිපත්තිය අත්හැර දමා ධර්ම විජය ප්‍රතිපත්තියට යොමු වුණා. එදා රජතුමා පසක් කරගත් මේ අවිහිංසාව පදනම් වූ උත්තම දර්ශනය තම කලණමිතුරු එවකට සිරිලක රජකම් කළ දේවානම්පියතිස්ස මහරජාණන්ට අනර්ඝ ත්‍යාගයක් ලෙස එවන්නේ තම පුත්කුමරු එනම් උතුම් පැවිදි බිමට පත් මිහිඳු මහරහතන් වහන්සේ මගිනු යි.

මිහිඳු මහරහතන් වහන්සේ තමන්වහන්සේ පියමහ රජතුමාගේ මෙහෙයවීමෙන් ධර්මදූත කණ්ඩායමක් ද සමඟ මේ සිරිලකට වැඩමවන අවස්ථාව වන විට මෙරට විවිධ ආගමික මතවාද විශ්වාස කළ පිරිසක් විසු බව අපි පැහැදිලිව දන්නා කරුණක්. යහපත, අයහපත පිළිබඳ පැහැදිලි දැක්මක් එදා පැවති කිසිම දහමකින් ජනතාවට කියා දී තිබුණේ නැහැ. එදා සිටි ජනතාව ජීවිතයේ විවිධ තැතිගැනීම්, බියවීම්, අසරණවීම් වැනි අවස්ථාවල දී අන්ධ භක්තියෙන් එදා පැවති ආගමික මතවාද අදහමින් යාග හෝම බලි බිිලි පූජා පවත්වමින් ඔවුන් ඒ ඒ වෙලාවට අවශ්‍ය කරන තාවකාලික අස්වැසිල්ලක් පමණක් ලබා ගත්තා. එහි භයානකකම නම් ඒ තාවකාලික අස්වැසිල්ලත් සමඟ ම ඇති වන සදාකාලික පසුතැවිල්ල යි. ඒ කිසිම දහමකින් දුකින් පෙළෙන සත්වයාට එයින් මිදීමට පිළිසරණක් හෝ මගක් කියා දුන්නේ නැහැ. ඒ තත්ත්වයෙන් මුදවා මේ නවතම දහම අනුව ජීවිත ගොඩ නගා ගැනීමට නම් ලක්වැසි ජනතාවට ධාර්මිත ජීවන ප්‍රතිපදාව කුමක්දැ යි පෙන්වා දීමට උන්වහන්සේ උනන්දු වූ බව පෙනෙනවා. එසේ නම් එය එදා අවශ්‍ය කර තිබුණු සුචරිතවත් දැහැමි සමාජයක් ලංකාව තුළ නිර්මාණය කිරීම උන්වහන්සේගේ අරමුණ වුණා. තවත් සතෙකුට, ප්‍රාණියෙකුට හිංසාවක් කර ලබන සතුට ප්‍රීතිය මෙලොවට පරලොවට අවැඩ ගෙන දෙන ක්‍රියාවක් බැවින් ඊට හුරුව සිටි ලක්වැසි ජනතාව එයින් මුදා ගැනීමට මේ නවතම දහම හේතු වුණා.

දෙරටේ ම රජවරුන්ට අවිහිංසාවේ ආශ්වාදය දැනෙන ආකාරයට යි ඔවුන් බුදුදහම වැළඳ ගන්නේ. ධර්මාශෝක රජතුමා කාලිංග යුද්ධයෙන් සිදු වූ මිනිස් ජීවිත විනාශය පිළිබඳ තැවුලෙන් සිටින විට රජතුමාගේ මහත් අස්වැසිල්ලට හේතු වූයේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ උපශාන්ත දර්ශනය යි. දේවානම් පියතිස්ස රජතුමා මුව දඩයමෙහි ගිය අවස්ථාවේ ඒ හිංසක විනෝද ක්‍රීඩාවෙන් අතමිදී ශාන්ත සුවයක ආශ්වාදය ලබන්නේත් , එදා පටන් රට ධාර්මිකත්වයට යොමු වන්නේත් මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූත මෙහෙවරෙහි යෙදුණු ඒ උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ උපශාන්ත දර්ශනයෙනු යි. එපමණක් නොව මිහිඳු මාහිමියන් විසින් මාතෘකා කොටගත් සූත්‍ර දේශනා කීපයක් ද මෙම අවිහිංසාවේ ආශීර්වාදය ඉස්මතු කොට දැක්වීමක් වුණා. මේ කාරණයේ දී අවිහිංසාව කියා කියන්නේ සත්වහිංසාව පමණක් ම නොවෙයි. අපේ ජීවන පැවැත්මේ දී කිසියම් ක්‍රියාවකින් තවත් අයෙකුට හිංසනයන් වෙනවා නම් ඒ හැම ක්‍රියාවක් ම හිංසක ක්‍රියාවක් වෙනවා. එහෙම නම් පන්සිල් පදවලින් කියැවෙන, දුසිරිත්වලින් තොර ජිවිතයක් ගත කිරීම ම අවිහිංසක පැවැත්මක් බවට පත් වෙනවා. ජීවත් වන මිනිසා නිසා තවත් අයෙකුට යම් හිංසාවක් වෙනවා නම්, එය සාපරාධී ක්‍රියාවක් බවට පත් වෙනවා වගේ ම ඔවුන් දුක සේ රැස්කරගන්නා දේපළවලට යම් අගතියක්, පැහැර ගැනීමක්, විනාශයක් වෙනවා නම් එය ද බරපතල හිංසනයක් බවට පත් වෙනවා. මේ තත්ත්වය වෙනස් කරලීමට යි මිහිඳු මාහිමියන් දැහැමි පන්සිල් සුරකින සමාජයක් නිර්මාණය කිරීමට තම දේශනා යොදා ගත්තේ.

අද අපේ බෞද්ධ සමාජයේ තහවුරුව පවතින මළගිය දෙමාපිය, ඥාතිමිත්‍රාදීන්ට පින් පැමිණ වීමේ චාරිත්‍රය තහවුරු වීමට බලපෑවේ උන්වහන්සේ දේශනා කළ “පේතවත්ථු දේශනාවේ” දැක්වෙන “තිරෝකුඩ්ඪ” සූත්‍ර දේශනාව යි. මේ සූත්‍රයෙන් කියැවෙන කථාව ඉතා වැදගත් වෙනවා. බිම්බිසාර මහරජතුමා හා ඒ මහරජතුමාගේ ඤාතිපිරිසක් ඵුස්ස’ නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එකට එක්ව ජීවත් වී විවිධ පින්කම් කරන විට එදා බුදුරජාණන් වහන්සේට වස් කාලයක නො කඩවා දානය පිළියෙළ කරමින් කටයුතු කළා. එදා ඒ දන්වැට භාරව ජනප්‍රධානියෙකු ලෙස මෙදා බිමබිසාර රජතුමා ක්‍රියා කළා. මේ අතර තමන්ගේ ම ඥාති පිරිසක් මේ දන්වැට ගසා කමින් එම පින්කම් කටයුතුවලට බාධා පැමිණෙව්වා. ඒ අවස්ථාවේ දී මේ කියන ජනප්‍රධානියා ඇතුළු සුචරිතවත් පිරිස එදා විවිධ පින්කම් කර ජීවත්ව එයින් අතමිදී පසුව කල්ප දෙයානුවක් සුගති භූමිවල හා දිව්‍ය ලෝකවල ඉපිද සැප වින්ඳා. මේ අතර දන්වැට ගසා කමින් පින්කම්වලට බාධාකළ හිංසා සහගත ක්‍රියාවල යෙදුණු ඤාතිපිරිස ඒ කල්ප 92 හි ම ප්‍රේත ලෝකයන්හි ඉපිද අනන්ත අප්‍රමාණ දුන් වින්ඳා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දවස මේ ජනප්‍රධානියා බිම්බිසාර රජ බවට පත් වුණා. රජතුමා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහ සඟරුවනට ඉතා ඉහළ මට්ටමේ මනා සංවිධානයක් කර මහාදානයක් පිරිනැමූ දවසක රාත්‍රීයේ නින්දට ගිය පසු රජතුමා මහා භයානක සිහිනයක් දැන මහත් භීතියට පත් වුණා. රජතුමා පසුදින පාන්දර ම දෙව්රමට ගොස් බුදුරජාණන් වහන්සේට මේ සිහිනයේ තොරතුරු ප්‍රකාශ කළා. එදා අසදෘශ මහා දානයක් දුන් මේ බිම්බිසාර රජතුමා එදින තමන්ගේ සසර ඥාතීන්ට පින් පෙත් අනුමෝදන් නොකළ නිසා මේ ආකරයෙන් ඒ ඤාති ප්‍රේතයන් දුක්විඳීමින් සිටින ආකාරයත් ඔවුන් එම දුක්සහිත ජිවිතවලින් අතමුදා ගැනීමට රජතුමාගෙන් පින් බලාපොරොත්තු වී සිහිනයෙන් ඔවුන් දුටු බවත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මෙයින් කම්පාවට පත් රජතුමා පසුදිනම නැවතත් එවැනිම මහා දානයක් පිළියෙළ කර බුදුරජාණන් වහන්සේ ඇතුළු මහසඟනට ආරාධනා කර පිළිගැන්නුවා. එදින මළගිය ඥාතීන්ට පින් දුන්නා. එයින් ම සතුටට පත් ඥාති ප්‍රේතයන් ඒ දුක් සහිත ප්‍රේතාත්මභාවයෙන් නිදහස් වුණා. එසේ නම් මේ සිදුවීමෙන් අප ජීවත්වන මේ සමාජයට දෙන පණිවුඩය කුමක්දැයි අප විමසා බැලිය යුතු වෙනවා. ඒ ඤාතීප්‍රේතයන් ඒ පින් අනුමොදන් වී සැපවත් වනවා වගේම දැහැමි සමාජයට අවශ්‍ය කරන. මිනිස් හදවත්වල කරුණාව ජනිත කරවීම, කළගුණ සැලකීම වැනි ගුණධර්ම ප්‍රගුණ කරවීම, දුකට පත්වන අයට පිහිට වීමෙන් ඒ අය මුදවා ගැනීම වැනි සමාජ සාරධර්ම රාශියක් ද සමාජයට හුරු කිරීමට හේතු වෙනවා. මෙහිදී හැදෙන වැඩෙන බාල පරපුර මෙහිදී තේරුම් ගන්න ඉතා වැදගත් කරුණක් වන්නේ ළමා අවදියේ සිටම සුචරිතවත් දැහැමි මග කුමක් ද යන්න අවබෝධ කර ගැනිමට පෙළඹීම යි. හිංසාව හැම විටම තමන්ටත් අනුන්ටත් වධ දෙන කරුණක් වෙනවා. මේ පේතවත්ථු බුද්ධ දේශනාවේ හා අට්ඨකථාවේ එන විස්තරයට අනුව කෙනෙක් මිය ගිය පසු ප්‍රේතාත්ම භාවයක් ලබන්නට හේතුන් වන්නේ මෙලොවට පරලොවට දුක පිණිස හේතු වන අකුසල කර්ම කිරිම යි. මේ අකුසල කර්ම ලෙස එම විස්තරයන්ට අනුව, සඟසතු දේ අයථා පරිහරණය, සත්ත්ව හිංසාව, බොරුව, ලෝභය, ඊර්ෂ්‍යාව හා වෛරය,වැරැදි කාම සේවනය බව විද්වතුන් විසින් කරන ලද පර්යේෂණ තුළින් පෙනෙනවා. එතකොට අපට පේනවා සමාජය පස්පවින් වළකාලීමේ වැදගත්කම මෙයින් අර්ථවත් වන බව. දැහැමි සමාජයක් ශක්තිමත් කිරීමට විශේෂයෙන් බාල පරපුර යහමඟට යොමු කරවීමේ අවශ්‍යතාව අද වෙන කවරදාටත් වඩා ඉස්මතු ව තිබෙනවා.

සුරාව, සූදුව අල්ලස, සමාජ දූෂණ ක්‍රියා, මේ හැම දෙයක්ම අද අප සමාජයේ විශේෂයෙන් ළමා පරපුර ගිලගනිමින් තිබෙනවා. ඉතින් මිහිඳු මාහිමියන් වහන්සේ එදා උගන්වා වදළ මෙවැනි සූත්‍ර දේශනා පරපණ නැසීම හෙවත් සත්ත්ව හිංසනය, අන්සතු දේ පැහැර ගැනීම, වැරැදි කාම සේවනය, බොරුව වංචාව, සුරාව මතට ලොල්වීම යන මේ පංචදුශ්චරිතයන් වල යෙදීමෙන් තමන් සමහරවිට තාවකාලික ආශ්වාදයක් ලැබුවත් සසර අනන්ත අප්‍රමාණ කාලයක් දුක් විදීමින් ජිවත් වීමට හේතු උදා කර ගන්නවා යන්න මේ සූත්‍රදේශනාවෙන් උන්වහන්සේ දෙන පණිඩුඩය බවට පත් වෙනවා.