Print this Article


පැහැරගත නොහැකිබෞද්ධ අධ්‍යාත්මය

පැහැරගත නොහැකි බෞද්ධ අධ්‍යාත්මය

ලංකා ඉතිහාසයෙහි අනුරාධපුර යුගයේ සිදු වූ සුවිශේෂීම සිදුවීම ලෙස දේවානම්පියතිස්ස රජතුමා රාජ්‍යත්වයට පත් වූ සමයේ අශෝක අධිරාජයාගේ පුත්‍ර වූ මහා මහින්ද මහරහතන් වහන්සේගේ ආගමනය සඳහන් කළ හැකි ය. තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ ආලෝකය උන්වහන්සේ ජීවමාන සමයෙහි ලක්දිව වැසියාට ලැබී තිබුණු බව තථාගතයන් වහන්සේගේ ත්‍රිවිධ ලංකා ගමනය පිළිබඳව ඓතිහාසික බෞද්ධ ඉතිහාසය සාක්ෂි දරයි. එහෙත්, උන්වහන්සේගෙන් ධර්මය ඇසූ යක්ෂ, නාග ආදී ගෝත්‍රික සමාජ නියෝජනය කළ හෙළදිව වැසියන් ධර්මය අවබෝධ කරගත් බව දේවත්වයෙහි ලා සැලකෙන සුමන සමන් වැනි දෙවිවරුන් මාර්ගඵල ලාභීන් වූ බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වෙතත් එකදු හෙළයෙක් හෝ ගෞතම බුදු සසුනෙහි පැවිදි උපසම්පදාව ලැබූ බවක් සඳහන් වන්නේ නැත.

තුන්වන ධර්ම සංගායානාවේ ප්‍රතිඵලයක් ලෙස රටවල් නමයකට තථාගත ධර්මයේ පණිවුඩය රැගෙන දූතයින් වහන්සේලා වැඩම කරනු ලැබූ අතර ලංකාද්වීපයට පොසොන් පොහොය උදා වී තිබූ දිනයෙක මිහිඳු මහරහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර, භණ්ඩුක උපාසක යන පිරිස සමග මෙහි වැඩමවීම අප ඉතිහාසයෙහි බුදු සසුන ස්ථාපිත කිරීම සම්බන්ධව වැදගත්ම සංසිද්ධිය ලෙස සඳහන් කළ හැකි ය.

මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම අතිශයින්ම වැදගත් වන්නේ හෙළයින්ගේ අධ්‍යාත්මය සහමුලින්ම වෙනස් මාවතකට යොමු කරවන ඥාන දර්ශනයක් ඔවුන් වෙත ස්ථාවරව ලැබීම හේතුවෙනි. වංශ කතාවලට අනුව මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලක්දිව සම්බුද්ධ ශාසනය පිහිටන්නේ කෙසේදැයි දේවානම්පියතිස්ස රජතුමා විමසන අතර මහරහතන් වහන්සේගේ පැහැදිලි කිරීම වූයේ මෙරට මව්පිය දෙදෙනෙකුගේ දරුවෙකු සසුන්ගත වී උපසම්පදාව ලැබීමෙන් අනතුරුව එය සිදුවන බව ය. මේ අනුව මෙරට ශාසනයේ ස්ථාවර වීම උන්වහන්සේලාගේ ආගමනයෙන් සිදුවන්නේ නැති බව මිහිඳු මහරහතන් වහන්සේ විසින් පෙන්වා දී ඇති අතර මේ පොළොවේ උපන් දරුවෙකුගේ මහණ උපසම්පදාවෙන් බුදු සසුන ලක්දිව ස්ථාවර වන බව අවධාරණය කිරීම සිදුවී ඇත. ශාසනයෙහි සංඝ යන සමූහයාට කොටස් හතරක් අන්තර්ගත වේ. එනම් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිස යි. මහින්දාගමනයෙන් ඉක්බිතිව ලක්දිව තුළ මේ සිව්පිරිස වර්ධනය විය. රාජ්‍යයේ නායකයා වූ දේවානම්පියතිස්ස රජතුමා තිසරණය සමාදන් වීමත් සමග අමාත්‍යවරු පැවිදි භූමියට එකතු වීමත් සමඟ මෙම නව දැක්ම වෙත, දහම වෙත ලක්දිව සිව්කොණ විසූ ජනතාවගේ ආකර්ශනය වේගවත් විය. ඒ අනුව සමස්ත ජනතාව බුදුදහම තම අධ්‍යාත්මය බවට පත්කර ගත්හ. තම ආර්ථිකය ලෙස බෞද්ධයෝ ගොවිතැන බහුල වශයෙන්ද, වෙළෙඳාම සැලකිය යුතු ප්‍රමාණයකින් ද අතීතයේ සිට තෝරාගෙන තිබූ අතර බුදුදහමේ ආගමනය නිසාවෙන් ඔවුන්ගේ ආර්ථික ජීවිතය සම්මා ආජීව නම් වූ උතුම් ප්‍රතිපදාව මත සැකසෙන්නට විය. ඒ අනුව ඔවුහු ගොවිතැන සිදු කළ ද පර පණ නසන්නේ නැතිව අන්සන්තකය පැහැර ගන්නේ නැතිව, එය සිදු කරන්නට උත්සුක වූහ. හොර කිරුම් මිණුම් ආදී දෑ සිදු නො කළහ. දැහැමිව වෙළෙඳාමෙහි නිරත වෙමින් මිහිඳු මහරහතුන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කරගත් ලක්දිව වැසියෝ නිවන් මඟ වැඩීම අරමුණු කර ගනිමින් ඉතා අවිහිංසක ජීවන ප්‍රතිපදාවකට නැඹුරු වූහ. එය කෙ තරම් දුරට වී ද යත් සේන ගුත්තික නම් වෙළෙඳුන් දෙදෙනෙකුට ලංකා රාජ්‍ය අත්පත් කර ගැනීමට පවා හැකියාව ලැබුණේ ලක්දිව රාජ්‍ය පාලකයා සහ රට වැසියෝ ඉතා අවිහිංසක ජීවත ගත කරන පිරිසක් වූ බැවිනි.

මිහිඳු මා හිමියන් ඇති කළ බෞද්ධ අධ්‍යාත්මය තුළ ප්‍රධාන කරුණු දෙකක් ස්ථාවර විය. එනම්, භික්ෂූත්වය සහ මාතෘත්වය ආරක්ෂා කර ගැනීමත්, රටේ ආරක්ෂාව යන ආකල්පය ජනතාව තුළ ස්ථාවරවීමත් ය . මිහිඳු මා හිමියන් ඇතිකළ ශාසනය රටට, සමාජයට, විපතක් පැමිණෙන විට ඉදිරිපත්වන සුවිශේෂීම බලවේගය බවට පත්විය. ගමක් ගමක් පාසා ඉදි වූ පන්සල වටා ලක්දිව වැසියා එක් රොක් වූහ. ඔවුන්ගේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය වූයේ පන්සල යි. කෑම බීම ගැනීම, ඇඳුම් පැළඳුම් සකසා ගැනීම, ගේ දොර පරිහරණය ආදී සියලු කටයුතුවල දී ලෞකික ජීවිතය වඩාත් අර්ථවත් සහ නිවැරැදි වීමට අවශ්‍ය කරන දැනුම හා ආකල්ප සිත් දියුණු කළ බෞද්ධ භික්ෂුව වෙතින් පිරිනමනු ලැබීය. එනිසාවෙන් ම රාජ්‍යයේ නායත්වයට වඩා වැඩි ඇහුම්කන් දීමක් බෞද්ධ භික්ෂුවගේ දේශනාවට ලක්දිව වැසියා සිදුකරනු ලැබූහ.

මහින්දාගමනයෙන් පසුව පහළවන පාලකයන් ද මෙම නායකත්වය පිළිගන්නා තත්ත්වයට පත් වූ අතර, දේවානම්පියතිස්ස මහ රජු ජීවත්ව සිටිය දී මුළු රාජ්‍යය ම ශාසනයට පූජා කර තිබීම තවත් ප්‍රබල හේතුවක් විය.

තථාගත ධර්මයේ මාතෘත්වයේ උදාරබව නිරතුරුව අවධාරණය වී ඇත. මිහිඳු මහරහතන් වහන්සේ සිදුකළ සද්ධර්ම දේශනා ඔස්සේ ලක්දිව වැසියා ද තථාගත ධර්මයේ දේශිත උදාර මාතෘත්වය සහ ඒ මාතෘත්වයට ලැබිය යුතු ගෞරවය අවබෝධ කර ගත්හ. එබැවින් මව වඩා ආදර්ශ සම්පන්න මානව සම්පත ලෙස බෞද්ධ සමාජය පිළිගනු ලැබීය. මව බෞද්ධ දහමට අනුව දරුවන් බිහි කරමින්, දරුවන්ගේ අධ්‍යාත්මය පෝෂණය කරනු ලැබීය. රට සහ ජනතාව අනාරක්ෂිත වන ඕනෑම මොහොතක පෙරට එන දරුවන් නිර්මාණය කරනු ලැබුවේ මව විසිනි. බුදුදහමෙන් ශික්ෂණය වූ මව රට සහ සමාජය රැක ගැනීමට පෙරට ඒම පරාර්ථයෙහි හැසිරීමක් ලෙස දරුවන්ට ඒත්තු ගැන්වූහ. මහින්දාගමනයෙන් සිදු වූ අධ්‍යාත්මික පරිවර්තනයෙහි සහ එහි වූ උදාරතම මාතාව විහාර මහා දේවිය යි. ඇය වර්තමානය දක්වාම දරුවන් තනන මවුවරුන්ගේ අධ්‍යාත්මික අභිමානය යි. අත හැරීම, විඳ දරා ගැනීම, පරිත්‍යාගශීලී වීම යන උදාර මව්ගුණ ලක්දිව කාන්තාවන්ගේ ජීවිතය තුළ දියුණු වූයේ යශෝධරාව, මන්ත්‍රී දේවිය වැනි බෞද්ධ කාන්තාවන්ගේ චරිත පිළිබඳව නිරතුරුව ලක්දිව බෞද්ධ පිරිස වෙත තොරතුරු සන්නිවේදනය වූ බැවිනි.

මහින්දාගමනයෙන් ස්ථාවර වූ මව පිළිබඳව හැඟුම් සමුදායත්, භික්ෂුව පිළිබඳ හැඟුම් සමුදායත් බෞද්ධ රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කළ ප්‍රධාන අංග ලෙස සැලකිය හැකි අතර, වර්තමානය දක්වාම එය සුවිශේෂී තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. පසුකාලීනව ලක්දිව ආක්‍රමණය කළ චේල, චෝල, පාණ්ඩ්‍ය ආදී ආක්‍රමණිකයින් ද පෘතුගී‍්‍රසි, ලන්දේසි, ඉංගී‍්‍රසි වැනි ආක්‍රමණිකයින්ද බෞද්ධ රාජ්‍යයේ න්‍යෂ්ටිය ලෙස කාන්තාවත් භික්ෂුවත් හඳුනාගත් අතර ඔවුහු කාන්තාවන්ගේ අධ්‍යාත්මයට එරෙහිවත්, භික්ෂුවගේ පෞරුෂයට එරෙහිවත් සිදු කළ හැකි සියලුම විනාශයන් අතීතයේ සිදු කළ අතර වර්තමානය දක්වා ද එම ඉලක්ක සපුරා ගැනීම සඳහා උපායන් යොදනු දැකගත හැකිය. අම්මා විනාශ වීම සහ භික්ෂුව විනාශ වීම මුළු ලංකාවම අනාරක්ෂිත වීම බව මහින්දාගමනයෙන් පසුව ලංකා සමාජයට අවබෝධ වුණු ප්‍රධාන ආකල්පය විය. එනිසාවෙන් බෞද්ධයාගේ අධ්‍යාත්මයෙහි අම්මාටත් හාමුදුරුවන්ටත් සුවිශේෂී තැනක් උරුම විය.

මෙලෙස මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම ලක්දිව බෞද්ධ සමාජය තුළ ගොඩනැඟුණු බෞද්ධ අධ්‍යාත්මය විවිධ ආක්‍රමණික තත්ත්වයන් නිසාත්, නූතන වෙළෙඳ පොළ ක්‍රමයේ බලපෑම නිසාත් අභියෝග රැසකට ලක්වී ඇත. උතුම් මිහිඳු මහරහතුන් වහන්සේ හඳුන්වා දුන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. එම ධර්මය අන්තගාමී වූවක් නොවේ. එකී ධර්මය මධ්‍යස්ථව ජීවතය දෙස, ලෝකය දෙස බලන්නට අප නැඹුරු කරවන්නකි.

එකී ධර්මය විසින් පැවැත්ම සඳහා කායිකව, වාචසිකව, මානසිකව අප කැපවිය යුතු බව අවධාරණය කර ඇත. එහෙත් එකී කැපවීම, උත්සාහය සහ වීර්යය ධර්මානුකූල පදනමක් මත පිහිටා පවත්වා ගත යුතු ය. කිසිසේත්ම අගතිගාමී වී ලෝකාස්වාදය අත්විඳීම, බුදු දහම අනුමත කරන්නේ නැත. එහෙත් අවබෝධයෙන් ආස්වාදය ඇත්විඳීම ඒ ඔස්සේම එකී ආස්වාදය ලබාදෙන අරමුණෙහි යථාර්ථය සිහි නුවණින් දකිමින් ආදිනවය වටහා ගැනීම මෙන්ම හානිකර දේ අත්හැර දමමින් නිශ්සරණය කරා ගමන් කිරීම සඳහා වග වීම අප සිදු කළ යුතු ය. එවිට මිහිඳු මහරහතන් වහන්සේ වැඩමවීමෙන් අපතුළ ගොඩනැඟුණු එකී බෞද්ධ අධ්‍යාත්මය සොර සතුරන්ට ගත නොහැකිවනු ඇත. සතර අගතියෙන් අගතිගාමී වී කෙලෙස් කහටින් සිත මුසපත් කර ගතහොත් ඒ උදාර අධ්‍යාත්මය පරිහානියට යනු ඇත. බෞද්ධයාගේ අධ්‍යාත්මය විනාශ වීම හෝ ආරක්ෂා වීම සිදුවන්නේ බෞද්ධයා සිතන පතන විදිය අනුව සහ කරන කියන දේ අනුවය. එබැවින් අප නිතර සද්ධර්මය ශ්‍රවණය කරමින් බහුශ්‍රැත බව වැඩිදියුණු කරගත යුතු ය. ඇසූ අධර්මය සිහි නුවණින් ප්‍රගුණ කරමින් කුසලය ඉපිදවිය යුතු ය. එවිට සම්පූර්ණ සිතෙහි දමනය තමාවෙත තතුකරගත හැකි නුවණ අප තුළ උපදිනු ඇත. ඒ උතුම් නුවණ දියුණු වීම ම බෞද්ධ ආධ්‍යාත්මයේ ස්ථාවර බවයි. එය ඇති කර ගනු පිණිස මේ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ මිහිඳු හිමියන් උදෙසා සිදු කරන ඉහළම වන්දනාව ලෙස වටහා ගනිමු.