Print this Article


මහින්දාගමනයෙන් හරවත් වූ අපේ ගැමිකම

 

මහින්දාගමනයෙන් හරවත් වූ අපේ ගැමිකම

" ඈත අතීතයේ පටන් අපේ ගැමි බෞද්ධයෝ පව පිළිකුල් කළෝ ය. එයට බිය වූහ. එයින් උපදනා මෙලොව පරලොව දුක්දොම්නස් අරබයා අව්‍යාජ අවධිකමකින් ක්‍රියා කළෝ ය. එසේම ඔවුහු පිනට ඇලුම් කළෝ ය. එයින් සතුටට පත් වූහ."

මිහිඳු මා හිමියන් විසින් මෙරටට ගෙන එන ලද බුදුදහම මෙරට ජන සමාජයත් රාජ්‍ය පාලනය, ආර්ථික, අධ්‍යාපනය, කලා ශිල්ප, සාහිත්‍යය හා භාෂාව මෙන්ම සිරිත් විරිත්, ඇදහිලි, පුද පූජා, විශ්වාස හා සාරධර්ම ද ගොඩ නඟමින් පෝෂණය හා සංවිධානය වූ බව ප්‍රකට කරුණකි. මහින්ද මාහිමියන්ගේ ලංකාගමනය දේශීය සංස්කෘතියේ ආරම්භය හැටියට සැලකිය හැකිය. උන්වහන්සේ අලුත් ආගමක් පමණක් නොව, ඒ වන විට භාරතයෙහි වර්ධනය වූ සභ්‍යත්වයක් ද ගෙනාවාහු ය.

කවර වකවානුවක වුවද සංස්කෘතිය, සභ්‍යත්වය වූ කලී පැහැදිලිව ම ප්‍රායෝගිකත්වයෙන් බැහැර වූවක් නොවේ. එය ප්‍රජාව අතර සක්‍රීය වූවකි. මහින්දාගමනය විසින් රෝපණය කොට එසේ සමාජගත කරන ලද්දේ බෞද්ධ ඉගැන්වීම් පදනම් කොටගත් සභ්‍යත්වයකි, සංස්කෘතියකි.

මිහිඳු මා හිමියන්ගේ මනා සැලැසුම්කරණය හා අත්‍යන්ත කැපවීමත්, දෙවනපෑතිස් මහරජතුමාගේ නොමද අනුග්‍රහයත් එහිලා නිසැකව ම උපස්ථම්භක වූයේ ය. රාජකීය උද්‍යානය වූ මහමෙවුනාව සඟසතු කොට පුදා පොහොය සීමා පිහිටුවා මහා විහාරය ස්ථාපනය කිරීම මෙහිලා මහෝපකාරී විය. එසේ ම අනුක්‍රමයෙන් භික්ෂු භික්ෂුණී සංස්ථා පිහිටුවීම, ථූපාරාමය, ශ්‍රී මහා බෝධිස්ථානය, ආදී සිද්ධස්ථාන ආරම්භ කිරීම ඇතුළු විශිෂ්ට පියවර, එසේ බුදුසමය ධර්ම මාර්ගයක් හා ජන සංස්කෘතියක් ද වශයෙන් ලක් වැසියන්ගේ ප්‍රායෝගික ජීවිතයට එක් කිරීමෙහි සමාරම්භක පියවර වූයේ ය.

සසර දුකින් අත මිදීම පිණිස වන අනුපූර්ව ශික්ෂණය, අනුපූර්ව ක්‍රියා පිළිවෙත බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ සූත්‍රවල අනේක පරියායෙන් දේශනා කර තිබේ. ඒ අනුව එකී නිවන් මගෙහි එළඹුම වන්නේ ශ්‍රද්ධාවෙනි. එනම් බුද්ධාදී රත්නත්‍රය පිළිබඳ ප්‍රබුද්ධ ප්‍රසාදයෙනි. ධර්ම ශ්‍රවණයෙන් ධර්මාවබෝධය පිණිස යොමුවන්නේ ශ්‍රද්ධාව ඇති කල්හි ය. ගෘහස්ථ ශ්‍රාවකයෙකු එම ජීවිතය හැරපියා පැවිදිව ශීලය පෙරටු කොටගත් දුක්ඛ නිස්සරණ මාර්ගයෙහි ගමන් කිරීම අරඹන්නේ පළමුව ශ්‍රද්ධාව උපදවාගෙන ය. ශ්‍රද්ධාව බෞද්ධ ප්‍රතිපදාවේ බීජය වන්නේ ය. මිහිඳු හිමියන් මෙහි වැඩමවීමෙන් පසු සමාරම්භයෙහි ම කරන ලද දේශනාවන් ද බුදුරදුන් වදාළ රත්නත්‍රය පිළිබඳ ප්‍රබුද්ධ ප්‍රසාද සංඛ්‍යාත ශ්‍රද්ධාව ලක්දිව ජනයා තුළ ගොඩනැගීමේ අරමුණ පෙරදැරි කරගත් බව ද පෙනේ. මෙරට බෞද්ධයෝ එදා පටන් ම සැදැහැවතුන් වූහ. ගිහි ජනයා තුළ ද, පැවිදි වූවන් තුළ ද, රජුන් හා වෙනත් ජන ප්‍රධානීන් තුළ ද පැවැති අපරිමිත ශ්‍රද්ධාව අපේ වංශකතාවල ද අට්ඨකතාදියෙහි ද හමුවන තොරතුරුවලින් පැහැදිලි වෙයි. පස්වන සියවස පමණ සම්පාදිත යැයි සැලකෙන පාලි අට්ඨ කතාවෝ වන්දනාමාන පුද පුජා හා ත්‍රිවිධ චෛත්‍යය ගැන ද සඳහන් කරති. මහින්දාගමනයත් සමඟ මෙරට බොදුනුවන් අතර එකී ත්‍රිවිධ චෛත්‍යය පිළිබඳ සංකල්පය ප්‍රචලිත වූයේ ය.

මහින්දාගමනයෙන් නොබෝ කලකින් සිදු වූ ධාතූන් වහන්සේලා වැඩම වීම, ථූපාරාම දාගැබ් පිහිටු වීම හා ශාරීරික චෛත්‍ය වන්දනාවට ද ජය ශ්‍රී මහා බෝධි ශාඛා රෝපණය පාරිභෝගික චෛත්‍ය වන්දනාවට ද යොමු වීමක් වූයේ ය. බුද්ධ ප්‍රතිමාව උද්දේසික චෛත්‍යය යි. දෙවනපෑතිස් රජු දවස ම ප්‍රතිමා කරවීම ද ප්‍රතිමා වන්දනාව ද ඇරඹුණු බවට වංශකතා සාක්ෂි දරයි. මෙකී ත්‍රිවිධ චෛත්‍ය මුල්කොට ගත් වන්දනාව හා පුද සිරිත් පැරැණි ලක් වැසියන් තුළ ශ්‍රද්ධාව වඩවාලීමට ඉවහල් වූයේ ය. රත්නත්‍රය විෂයෙහි ඔවුන් තුළ පැවැති ශ්‍රද්ධාව පිළිබිඹු කරන කතා පුවත් රැසක් පාලි අඨඨකතාවල ඇතුළත් වෙයි. බොහෝ රජදරුවෝ ද සැදැහැවත්හු වූහ. දුට්ඨගාමිණී, සද්ධාතිස්ස, භාතිය හා සංඝබෝධි වැනි රජවරුන් මීට නිදසුන් වශයෙන් දැක්වීමට පුළුවන.

මෙරට පොදු ජනයාගේ බෞද්ධාගමික චින්තනයත් එය පාදක කොටගෙන ව්‍යාප්තව පවත්නා වත්පිළිවෙත් ආදියත් සිංහල බුදුසමය, ජනපි‍්‍රය බුදුසමය, ගැමි බුද්ධාගම, පාරිහාරික බුදුසමය යනාදී ව්‍යවහාරයන්ගෙන් හැඳින්වීම මෑතකාලීන සමාජ හා මානව විද්‍යාඥයන් අතර නිබඳවම දක්නට ලැබෙයි. වෙසෙසින්ම ගැමි බෞද්ධ ප්‍රජාව අනාදිමත් කාලයක පටන් මහත් අභිරුචියකින් පවත්වාගෙන එනු ලබන සිරිත් විරිත්, ඇදහිලි, විශ්වාස, පුදසිරිත් උත්සවාදිය ඇසුරින් හඳුනාගත හැකි, මෙකී පොදුජන බුදුදහම ඔවුන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, රසිකත්වය ආදි අධ්‍යාත්මික ලක්ෂණ මෙන්ම විවිධ බාහිර ක්‍රියාකාරකම් ද පිළිබිඹු කරන්නේ ය. වඩාත් මධ්‍යස්ත වූ, දේශීයත්වය හා ගැමිකම විසින් හැඩගස්වන ලද විවෘත මනසක් ඇති, අන්තගාමී විචාර විවේචන තර්ක විතර්කාදියෙන් රළු බවට නොපත් සමාජ ගවේෂකයෙකුට මෙකී පොදුජන බුදුසමය නොවේ නම්, අපේ ගැමි බුද්ධාගම දැන දැක එයින් සෞන්දර්යාත්මක වූ අපූරු වින්දනයක් ද සමග සුවිශේෂ සමාජ අවබෝධයක් ද ඇති කර ගත හැකි ය.

ඈත අතීතයේ පටන් අපේ ගැමි බෞද්ධයෝ පව පිළිකුල් කළෝ ය. එයට බිය වූහ. එයින් උපදනා මෙලොව පරලොව දුක්දොම්නස් අරබයා අව්‍යාජ අවධිකමකින් ක්‍රියා කළෝ ය. එසේම ඔවුහු පිනට ඇලුම් කළෝ ය. එයින් සතුටට පත් වූහ. ඒ හේතුවෙන් දෙලොවම සුවසොම්නස් උපදනා බව ඇදහූහ. මින් අදහස් කරනුයේ පව් පින් නොපිළිගත් විෂම සිතුම් පැතුම් ඇති බෞද්ධයන් අප සමාජයේ නොවූ බව හෝ නැති බව නොවේ. බුදුදහමෙහි එන ජීවිතය හා ලෝකය පිළිබඳ ඉතා ගැඹුරු වූ හැදෑරීම් පසෙකලා බොදුනුවන් වඩාත් ප්‍රාථමික තත්ත්වයකට වැටී ඇති බව ද නොවේ. ඔවුන් ප්‍රායෝගිකව ජීවිතය තේරුම් ගත් බව ය. කර්මඵල පිළිබඳ විශ්වාසයකින් ක්‍රියා කළ බව ය.” පුරිස්තෙම ඉදින් පවක් කළේ නමුදු (මුළාවෙකින් හෝ පමාවෙකින් හෝ දුදන ඇසුරකින් හෝ තුන් දොරින් යම් පවක් කළද) ඒ පව නැවත නැවත නොකළ යුතු ය. (පව්කම්හි ලාමක බවද, කටුක දුක් විපාක ද සිහිනුවණින් සලකා) එහි කැමැති නොවිය යුතු ය. පව් රැස් කිරීම දුකට හේතුවෙයි. (මෙලොව පරලොව පිරිහීම ද දුක ද උපදවයි.) පුරිස්තෙම ඉදින් පිනක් කළේ නම් (දාන, ශීල, භාවනාදී කළ යුතු යහපත් දෙයක් කළේ නම්) එය නැවත නැවතත් කළ යුතු ය. එහිමැ කැමැති විය යුතු ය. පින් කිරීම සැප උපදවන්නේ ය.” බුදුරදුන් විසින් නොයෙක් තැන වදාළ මේ දහම ස්වකීය කුල දේවතා වූ භික්ෂූන් වෙතින් උගත් බොදුනුවෝ පව පිළිකුල් කළෝ ය. පිනට ඇලුම් කළෝ ය. දෙව් සැපත ය, මිනිස් සැපත ය, යැයි කියන ලද සම්පත්තීන් පිණිස පින් කළ යුතු ය. නිවන් සැප පිණිස අකුසල් මුල් උදුරා කුසල් සිත් වැඩිය යුතු යැයි ඔවුහු දැන සිටියෝ ය. දෙව් සැපත ද මිනිස් සැපත ද ලෞකික ය. නිවන් සැපත ලෝකෝත්තර ය. ස්වර්ග මාර්ගය දෙව් මිනිස් සැප උදා කරන මග යි. භික්ෂූන් වහන්සේලා විසින් එකී මාර්ගය ගිහියන්ට කියා දිය යුතු යැයි බුද්ධානුශාසනයෙහි දැක්වෙයි.

ජනතාව පවින් වළක්වා පිනෙහි යහපතෙහි පිහිටුවීමට අනාදිමත් කාලයෙක පටන් දේශීය භික්ෂූහු ක්‍රියා කළහ. බුද්ධකාලීන ශ්‍රාවක භික්ෂූන් විසින් ද ආගම දහමට නැඹුරු වූ ගිහියන්ට ජීවිතකාලය පුරාම ස්වර්ග මාර්ගය මැ ඉගැන්වූ බව පෙළ දහමින් පෙනේ. මෙසේ ලක්දිව ගිහියෝ දුරාතීතයේ සිට ම ගිහි සාමීචිපටිපදා සංඛ්‍යාත පුණ්‍ය ප්‍රතිපදාවෙහි මැ පිටිහියෝ ය. ඔවුහු පිනෙන් සතුටු වූහ. පින් කරන්නා දෙලොවම සතුටු වන බව ඔවුන්ට උගන්වා තිබිණ. ඔවුනට සසර දුකත් දුකින් මිදීමත් අවධාරණය නොකිරිනි. එබැවින් ම ඒ අහිංසක අව්‍යාජ ගැමියන් විසින් ආගමානුකූල වූ ද, ශිෂ්ට සම්මත වූ ද, දෙලොවම යහපත උදා කරන්නා වූ ද පින, පින්කම දැහැමි රසාස්වාද මාධ්‍යයක් ද කර ගන්නා ලදී. විද්වතුන් විසින් ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘති ඔස්සේ ද, කලා ශිල්පීන් විසින් චිත්‍ර මූර්ති කැටයම් ආදිය ඔස්සේ ද විටෙක දේශීය ගායකයන් හා වාදකයන් විසින් බෞද්ධ පසුබිමක් සහිත වූ ගායන වාදනාදිය ඔස්සේ ද, මේ හැමටම වඩා ධර්ම දේශක භික්ෂූන් විසින් බුදුබණ ඔස්සේ ද පින්කම ගැමියනට උගන්වන ලදී. ඔවුහු විසිතුරු පින්කම් කළහ. පව්කම් නොකිරීම හා පින්කම් කිරීම සමඟ නොබැඳුණු ගද්‍ය සාහිත්‍ය කලාවක්, පද්‍ය සාහිත්‍ය කලාවක්, චිත්‍ර මූර්ති කැටයම් කලාවක්, ගායන වාදන කලාවක් එදා ගැමි බොදුණුවන් විසින් සංස්කෘතිය තුළට වැද්ද නොගන්නා ලද්දේ ය.