Print this Article


මිහිඳු මාහිමියන්ගෙන් උදාවූ ලක්දිව වසන්තය

මිහිඳු මාහිමියන්ගෙන් උදාවූ ලක්දිව වසන්තය

ලොවුතුරා අමාමෑණී සම්බදු පියාණන් වහන්සේ විසින් සව් සතට සෙත් පතා වදාළ දහම පොසොන් සඳ උදාවූ අදවන් දිනක සිරිලක් දෙරණට රැගෙන ආවේ උතුම් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. සයුරින් වටවුණු ගිරි හෙල් කඳු මුදුන් වලින් පමණක් සිත්කළු වූ බිමක මිනිසුන්ට දහමින් ඔපවත් වූ සොඳුරු බිමක නිර්මාණය කරන ලද්දේ ද, දහම් නො දහම් නොදැන හුදු කෙළි දෙළෙන් කල් ගෙවූ රජුන් දහමින් නහවා ලක් බිමට දහම් වැසි වස්සවන ලද්දේ ද උන්වහන්සේ විසින්ම ය.

කුරිරු මනසින් ලොව දෙස නොබලා, මෙත් සිතින් ඔවුනොවුන් දෙස බලා දරු මුනුපුරන් සමගින් සැනසුම් සුසුමින් නිබඳ කල් යැවීමේ අනුහස් පහදා දෙන ලද්දේත් එනිසාම ලද අස්වැසිල්ලෙන් ඔකඳ වූ හදවත් ඇති ජනී ජනයාගේ බුද්ධියට ජීවිත ගැඹුරක අරුත පහදා දෙන ලද්දේත් එකී මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. හදවතේ පහස ලද බුද්ධියත්, බුද්ධියේ පහස ලද හදවතත් එකට යා කළ අපූරු අරුත්බර ජීවිත දර්ශනයක් හඳුන්වා දුන් බුදුදහම කෙරෙහි මෙරට ජනයාගේ හදවත්වල ඉමහත් දයාවක්, භක්තියක් හා ආදරයක් උපදවන ලද්දේ ද ඒ උතුම් මිහිඳු මහරහතන් වහන්සේ විසිනි.

ලොවුතුරා සසුනෙහි උතුම් බුදු සව්වෙකු බවට පත් වී කෙලෙස් මළ සිඳ දමා රහත් බවට පත් මිහිඳු මහ රහතන් වහන්සේ සුළු ඇත් පා පියවරක් උපමා කොට ගත් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ගෙනහැර දක්වමින් දෑස් විවර කොට දැකිය යුතු වූ විශ්ව නියාමය කෙරෙහි ලක් දනන් සිත් පුබුදු කළහ. වල් වැදුණු බිම්, මල් ඵල සපිරි තුරු ලියෙන් සරු කළහ. කුරිරු බවෙහි තුඩින් මරණයේ අඳෝනාව වැළඳගත් සියක් දහසක් සිවුපාවුන්ට ආදරයේ මිහිර විඳීමින් සැරි සැරීමට ඉඩ හසර සැලසූහ. දැහැමි දිවිපෙවෙතෙන් උපන් අබිමනින් තැනූ පස් පිඬු සුණු කොට අඹරා සෑදූ ගඩොලින් අහස් කුස සිඹින මහ සෑ රදුන් ඉදිකොට ඒ දෙස බලා සිල් නමැති අත්තිවාරමෙහි සිට, අරි අටඟි මඟ, සිවුසස් දහම් හා නිවන පිළිබඳ දහම් මග මෙනෙහි කළයුතු අයුරු කියා පෑහ. විජය රජුට ද පෙර සම්බුදු පා පහසින් පිවිතුරු වූ ධරණීතලය සිල් සුවඳීන්ම සුවඳවත් කරණු සඳහා වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ සංස්කෘතිය නමින් වහරනු ලබන බොදු සැකසියාව තථාගත දහමින්ම ඔපවත් කරගත යුතු අයුරු අපට මැනවින් කියා දුන්හ. මව් කුසක කලලයක් ලෙස පිළිසිඳ ගත් මොහොතේ පටන් සැපයිය යුතු ගැබ් පෙරහරේ සිට ලොවෙන් සමුගන්නා මොහොත දක්වා අරුත්බර දිවි පෙවෙතක් ගත කරන ආකාරය කියාදෙනු ලැබූයේ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. බුද්ධදාස, බුද්ධදේව, ධම්මපාල, ධම්මදේව, සංඝබෝධි, සංඝතිස්ස ආදී වශයෙන් බුදුන් දහම් සඟුන් මෙනෙහි වන පරිදිත් දාඨොපතිස්ස, අග්ගබෝධි, ධාතුසේන ආදී වශයෙන් දළදාව, බෝ රදුන් හා ධාතූන් වහන්සේලා ආදී පූජනීය වස්තූන් මෙනෙහි වන පරිදිත් තම දරු මුනුබුරන්ට තම් තබන ලද්දේ ද මිහිඳු මහරහතන් වහන්සේ කියා දුන් දහම් මඟ නිසාවෙනි. දැයක මිනිසුන් වශයෙන් විපතක දී එකතු වෙමු, සැපතකදී සතුටු වෙමු, දුකක් දොම්නසක් වුව ලෝ දහමක් නම් ඉවසමු, අනුනට යහපත උදෙසා වැව් අමුණු මං මාවත් අම්බලම් දන්හල් පැන්හල් ඉදි කරමු, කරන කියන දෙයක දී පරලොවක් අපායක් ගැන සිතා වරදක් නම් ඉන් මිදෙමු, සුගතියක් ගැන සිතා නිවැරදි ලෙසම කරමු යන හැඟීම් තහවුරු කරන ලද්දේ ද මිහිඳු මහරහතන් වහන්සේ විසින්ම ය. පේතවත්ථු විමානවත්ථු ඇසුරින් කළ දේශනා අපූරු දෙසුම් ගැන ඉතිහාසයේ සටහන් වී ඇත. මෙලෙස සකසන ලද ලක්වැසින්ගේ හැදියාවට ලක්වැසියෝම මහත් සේ රුචි කළහ. ඔවුහු එනිසාම මිහිඳු මාහිමියන් කෙරෙහි ඉමහත් සේ ආදර භක්තිය ඉපිදවූහ.

මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කළ මුල් දින කිහිපයේ දී ම රජවරුන්, බිසොවුන්, ඇමතියන් ඇතුළු බොහෝ ජනයෝ පිවිතුරු දහමේ රසය විඳ ගත්හ. කල් යත්ම සෙසු ජනයා ද සියදහස් ගණනින් එක් රොක්ව ලක් බිමෙන් සසුනට පිවිසි අරිට්ඨාදී හිමිවරුන් සහ අනුලා බිසොව ආදී භික්ෂුණීන් ඇතුළු මිහිඳු මාහිමියන් ද දැක බලා ගැනීමෙන් සිත් පහන් කර ගත්හ. ඔවුනතුරෙන් සමහරු එකී බුදු සව්වන් අනුව යමින් සසුන්ගත වූහ. ඇතැම්හු බණ දහම් ඇසීමෙන් ද, තුනුරුවන් සරණ යාමෙන් ද පුද පූජා හා ගරු බුහුමන් දැක්වීමෙන් ද සසුන් කෙත අස්වැද්දූහ. පස්පවින් වැළකී උවසු උවැසියන් ලෙසම දිවි ගෙවූ හෙයින් සියලු වැසියන්ට උපාසක උපාසිකා යන වහරනු ලැබූ බැව් සෙල්ලිපිවල සඳහන් වන උපශක තිසහ, උපශික කණිය යනාදී නම්වලින් පෙනේ.

අනුබුදු යැයි උතුම් විරුදාවලියෙන් පිදුම් ලද මිහිඳු මාහිමියන් විසින් තෙද ගන්වන ලද මෙම දෙරණෙහි වැසියන් විසින් තථාගත දහම පිළිගත් දා සිට සිතූ යම් සිතිවිලි ධාරාවක් පොත පතෙහි ලියැවුණි ද එය බොදු සාහිතය නම් විය. යාම් ඊම්, ඇඳුම් පැළඳුම්, ගමන් බිමන් ආදියෙහි දී මෙන්ම මව්පිය වැඩිහිටි ආදීනට ගරු සත්කාර කිරීම්, මහ සඟුනට වැඳුම් පිදුම්, දන් පැන් දීම් දුගී මගී යාචක ආගන්තුකාදීන් කෙරෙහි සැලකිලි සත්කාර කිරීම් ආදියෙහි දී ඉටු කළ යම් සිරිතක් විරිතක් වී නම් එය බොදු සැකසියාව නම් විය. සීගිරි බිතු සිතුවම්, ඉසුරුමුනි පෙම් යුවළ, සඳකඩ පහණ, සීගිරි කුරුටු ගී, මල්කම් ලියකම් ආදියෙන් විදහා පෑ යම් කලා සිතිවිල්ලක් අපූරු නිමැවුමක් ලෙස ඉතිහාසයට එක්වුණි නම් එය බොදු කලාව නම් විය. මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමට පෙරාතුව මෙරට රජවරුනට සහ වැසියනට සැණකෙළි, දියකෙළි හා මුව දඩයම වැනි දෑ ප්‍රීති රසය ගෙන දෙන උත්සව වුවත් උන්වහන්සේගේ පැමිණීමෙන් පසු අරියවංස දේශනා ආදියෙහි දී සිදුකළ තුන්යම් රෑ මුළුල්ලෙහි බණ ඇසුම්, සිවු දිගින් යොදුන යොදුන බැගින් තොරණ බඳවා පසඟුතුරු නදින් රජරට ගුම් ගන්වා මහපව්වක් තරම් උසට පුද පිරිකර සපයා කළ ගිරිභණ්ඩ පූජාව, වෙසක් උත්සව පොසොන් පෙරහර, ඇසළ පෙරහර ආදී පුද සිරිත්ම දැහැමි වූ ප්‍රීති රසය දනවන උත්සව විය.

මිහිඳු මහරහතන් වහන්සේ ලක් දෙරණෙහි උපන් දරුවන් සසුන්ගත කොට ඔවුනට ද, රට කරවන රජවරුනට ද පහදා දුන් ජීවිත දැක්ම ඉදිරියට ගෙන යාමට එකී බුදු සව්වෝ ද රජවරු ද මහත් සේ කැපවූහ. දිවා කථික, පදභාණක හා විචිත්‍රභාණක යනුවෙන් හඳුන්වනු ලැබූ උතුම් හිමිවරු දිවා රෑ දෙක්හි දහම් පද නන් අයුරින් පහදා දුන්හ. රජවරු ද ඒ දහම රැක ගැනීමට දිගින් දිගටම උර දුන්හ. ඔවුහු සතර පෝය නිවාඩු දින කළහ. පොහෝ දින වෙළෙඳාම තහනම් කළහ. මා ඝාතය නමින් සත්ව ඝාතනය තහනම් කළහ. මිනිසුනට පමණක් නොව සතුනට ද රෝහල් ඉදි කළහ. බදු බරින් ජනයා නිදහස් කළ අතර නීතිය ඉක්මවා කටයුතු කළ නිලදරුවනට දඬුවම් පැනවූහ. ගම් දනව්වලට යහපත සලසන වෙහෙර විහාරවලට විශේෂ දීමනා ආදිය සැපයීමෙන් නන් අයුරින් උපකාර කළහ. මෙවන් දෑ කළ රජවරු ද දෙලොව හිත සලසන දෙවිවරු ලෙසින් වැසියන් විසින් සලකන ලද්දාහ. හිමිදිරියේ අදිටනින් හා දෑතේ විරියෙන් ගොවිකම් බත් සපයනු පිණිස වෙහෙසෙන වැසියෝ ද හිරු අවරට යන කල සුදුවතින් සැරැසි වෙහෙර මළුවක, බෝ සෙවණක හෝ දාගැබක් අසල හිඳ පුද පූජා කරමින් හා බවුන් වඩමින් මනස පහන් සිතුවිලිවලින් පුරවා ගනිති. දම් රසය මුසු වූ කම් සුවය විඳීමින් අරුත්බර ජීවිතයක පහස දහමින් ගොඩනැගෙන අයුරු පසක් කොට දැනගත්හ.

මිහිඳු මහරහතන් වහන්සේ විසින් දැහැමි පාලනය නම් කිමැයි පෙන්වා දෙමින් ගෙනහැර දැක්වූ තථාගත දහම දෙවනපෑතිස් මිහිපලුන් පමණක් නොව දුටුගැමුණු, මහපැරකුම්බා ආදී නරනිඳුන් විසිනුදු සොළී දේශයේ සිට පැමිණි වීර නිශ්ශංකමල්ල ආදී රජවරුන් විසිනුදු දැයේ ආගම ලෙස සලකන ලදී. තවද මිහිඳු මාහිමියන් මෙරටට රැගෙන ආ අටුවා සහිත පෙළ දහමට දැනුමෙන් ලොව සසල කළ අනුරපුර මහවෙහෙර, සිතුල්පව් වෙහෙර ආදී තන්හි එදවස පැවති විදු පියෙස්වල උගතුන් විසින් අටුවා ටීකා ටිප්පණී ආදිය සපයමින් මැනවින් සුරකින ලදී. ඔවුහු කිසිදු දිනෙක වැරැදි අරුත් සපයමින් එම දහම අකුරකිනුදු වැනසීමට කිසිදු ලෙසකින් ඉඩ නොතැබූහ. ඊට හේතු කිම ද යත්. එක් පසෙකින් ඔවුහු වියත් හා නොවක් වූහ. අනෙක් පසින් සසුන් ලැදි හා සිල්වත් වූහ. තවද ලොව්තුරා තථාගතයන් වහන්සේ නමැති පිය උරුමයෙන් ලද සතර සතිපට්ඨාන නමැති ගොදුරු බිමෙහි සැරි සරන්නෝ වූහ. එබඳු උතුම් චරියාවකින් හා මෙහෙවරකින් ලක් සසුන බබුළුවන්නට අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ චරිතය මෙකී යතිවරුනට හා රජවරුන්ට කැඩපතක්ම විය.

මිහිඳු මහරහතන් වහන්සේ සිය මුළු දිවියම ගත කළේ ලක් වැසියනගේ හිතසුව සඳහා ය. සාංචියේ හමු වූ කැණීම්වල මිහිඳු හිමියන්ගේ හා යෝනක ධම්මරක්ඛිත හිමියන්ගේ පමණක් ධාතු නොතිබූ හෙයින් උන්වහන්සේලා ඒ ඒ දේශයන් සඳහාම තම ජීවිත කාලය පුද දුන් බවත් යළි සිය රටට නොපැමිණි බවත්, හඳුනාගෙන තිබීම මෙයට නිදසුනකි. සිය දහස් ගණන් යතිවරුන්ගෙන් හා දාගැබ් කුටි ආදියෙන් සැදුම් ලද එකල මුඟඵ අනුරපුර පොළොන්නරු නගරම හුදු පන්සල් බිම් බඳු වූයේ ද, සයුරු පරයන මහා වැව් නිම වූයේ ද, අහස සිඹින දාගැබ් සහ සීගිරිය වැනි විස්මිත නිමැවුම් ආදිය බිහි වූයේ ද මිහිඳු මහරහතන් වහන්සේගේ අසම වූ කැපවීම නිසාවෙනි. මෙම නිමැවුම් ඇසුරෙන් එකල ජනයා පමණක් නොව මෙකල ජනයා ද ලක්ෂ සංඛ්‍යාත ගණනින් ආතතියේ දාහය පමණක් නොව කුස ගිනි දාහය ද සංසිඳුවා ගනිති. අප කෙරෙහි මෙම උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ විසින් කළ මෙහෙවරෙහි අගය අමතක නොකළ යුතු ය. උන්වහන්සේ මෙවන් පොසොන් පෝ දිනෙක හෝ මහත් බැතියෙන් පිදිය යුතුම ය. එකී පිදුම ද ආමිෂයට වඩා කුසලට යොමු වීමෙන් පිළිවෙතට නැඹුරුව කරන පිදුමම අගනා බව සිහි තබා ගත යුතු ය.