Print this Article


සම්බුදු ගුණමහිම:  ඍද්ධිවිධ ඥානය

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 33

ඍද්ධිවිධ ඥානය

චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේ ඍද්ධියෙන්ම වැඩම කළා. බුදුරජාණන් වහන්සේ ළඟට, මේ තමයි මනෝමය ඍද්ධි ඥානය, නමුත් පින්වතුනි මේ ශ්‍රාවකයින්ට සාධාරණ වුණාට තථාගතයන් වහන්සේ මුලින් කතාකළ විදර්ශනා ඥානය පුදුමාකාර තීක්ෂණ ප්‍රඥාවක්. අපට වඩා, සාමාන්‍ය රහතන් වහන්සේ නමකට වඩා උන්වහන්සේගේ විදර්ශනා ඥානය බලවත්. එතකොට උන්වහන්සේ චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේගේ මනෝමය ඍද්ධි ඥානයට වඩා බුදුපියාණන් වහන්සේගේ මනෝමය ඍද්ධි ඥානය බොහෝම බලවත්. බොහොම ශ්‍රේෂ්ඨයි. බොහෝම උතුම්.

ඊළඟට ඍද්ධිවිධ ඥානය, ඍද්ධිවිධ ඥානය කියලා කියන්නේ ඍද්ධි ප්‍රාතිහාර්යය පාන්න පුළුවන්. ඉතින් ඒකෙන් පැහැදිලි කරනවා. එක්කෙනෙක්ව ඉඳගෙන බොහෝ වෙනවා. බොහෝ පිරිසක් එක්කෙනෙක් වෙනවා. ඊළඟට පර්වත, බිත්තිවලින් එහා පැත්තට හරියට කුරුල්ලෙක් පියාඹන්නා සේ පියාඹන්න පුළුවන්. ඒ ඔක්කෝම වෙන්නේ ඍද්ධි බලයෙන්. අහසේ පියාසර කරන පක්ෂීන් සේ ඍද්ධියෙන් අහසේ යන්න පුළුවන්. පොළොවේ හිටගෙන සක්මන් කරන්නා සේ වතුරෙ සක්මන් කරන්න පුළුවන්. ඊළඟට පොළොවේ වතුර වගේ පීන පීන යන්න පුළුවන්. ඒ වගේම ඉර හඳ තාරකාවන් අතගාන්න පුළුවන්කම ලැබෙනවා. ඔය වගේ පුදුමාකාර ඍද්ධි විධ තිබුණා. මුගලන් මහා රහතන් වහන්සේට, නමුත් තථාගතයන් වහන්සේගේ ඍද්ධිවිධ ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි. තථාගතයන් වහන්සේගේ ඍද්ධිවිධ කොටසක් තමා අනිමා, මහිමා වශයෙන් විස්තර කරන්නේ. උන්වහන්සේට පුළුවන් විශාල ශරීරය කුඩා කරගෙන පුංචි ඉදිකටු මලක් ඇතුලෙන් වුණත් යන්න . ඒ ඉදිකටු මල ඇතුලෙ පාත්තර සිවුරු දරාගෙන යන්න පුළුවන් කුඩා කරගන්න පුළුවන්. ඒ වාගේම උන්වහන්සේට මහ විශාල ශරීර මවාගන්න පුළුවන්. දිනක් පහාරාද අසුරේන්ද්‍රයා උන්වහන්සේගේ උස බලන්නෙ. නමුත් ඒක හරිගියේ නෑනේ. තවත් දවසක රජගහ නුවර සිටුවරයෙක් උණගස් තියාගෙන උස බැලුවනේ ඒත් හරිගියේ නෑනෙ. ඊළඟට ඕනෑම තැනකට බුදුපියාණන් වහන්සේට ක්ෂණයෙන් වඩින්න පුළුවන් ‘පත්ති’ කියන්නේ ඒකයි. පත්ති ඍද්ධි විෂය ය. උන්වහන්සේට ගිනිදැල් ආදී වතුර ජාලා ජල කඳවල් පිටකරන යමක මහා ප්‍රාතිහාර්ය කියලා මහා පුදුම ඍද්ධි විෂයයක් තිබුණා. ඔය විදිහට අප්‍රමාණ ඍද්ධි විෂයයකින් තථාගතයන් වහන්සේ සමන්වාගත වුණා. ඊළඟට දිව්‍යසෝත, දිව්‍ය කන්. ඒ කියන්නේ, දෙවියන්ගේ කටහඬ මනුස්සයන්ගේ ශබ්ද, දුර තියන,ඈත තියන ඕනෑම හඬක් බුදුපියාණන් වහන්සේට ඇහෙනවා. සාමාන්‍ය අයටත් අභිඥා උපදවාගන්න පුළුවන්. නමුත් ඒ අභිඥාවලටත් වඩා සිය දහස් ගුණයකින් බුදුරජාණන් වහන්සේගේ දිව්‍ය සෝත අභිඥාව බල සම්පන්නයි.

ඊළඟට ‘පරචිත්ත විජාණන’ අන් අයගේ සිත් කියවීම, අන් අයගේ සිත් බැලීම, අන් අයගේ සිත් කියවනවා, සිත් බලනවා කියලා කියන්නේ මොකක් ද? මේක රාග සිතක්, මෝහ සිතක් ආදි වශයෙන් ඒ ඒ පුද්ගලයාගේ සිත් බැලීම, එතකොට සිත බලන්න නම් අභිඥා උපදවාගෙන හදවත වෙත සිත යොමුකර ගත්තහම ඒ ලේ ධාතුව රන්වන් පාටට රතුපාටට පේනවා නම්, ඒ වගේම පිරිසුදුව ප්‍රසන්නව පේනවා නම් ඒ අනුව තමයි කුසල් සිත් ද ,අකුසල් සිත් ද කියලා. දුර්වර්ණව පේනවා නම් ද්වේශ සහගත සිත් කියලා තෝරාගන්නවා. එහෙම තමයි අන් අයගේ සිත් දැනගන්නේ. තථාගතයන් වහන්සේට විතරයි පුළුවන් වන්නේ අන් අයගේ සිත් කියවන්න.අනිත් අය කියෙව්වාට තථාගතයන් වහන්සේගේ නුවණ අතිවිශිෂ්ඨයි. මොකද? බුදු ඇස කියලා කියන්නේ ආසයානුසය ඥානය, ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයත් එක්කයි ඒ සිත කියවන්නෙ. උන්වහන්සේ අනික් අයගේ සිතක් කියවනකොට, සද්ධා, විරිය, සති, සමාධි පඤ්ඤා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිල ද නැද්ද කියලා බලනවා. හොඳට බලසම්පන්නව වැඩිලා නම් ඊට පස්සේ බුදුපියාණන් වහන්සේ ඒ ඇත්තන්ගේ හිතේ කෙලෙස්, අඩුද වැඩිද බලනවා. කෙලෙසුන් අඩුනම් තථාගතයන් වහන්සේගේ නුවණ දන්නවා, ඒ අයට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඉන්ද්‍රියයන් වැඩිලා නැත්නම්, කෙලෙස් උත්සන්න නම් ඒ ඇත්තන්ට ධර්මය අවබෝධ කරගන්න බෑ. අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සිතක් කියවන්නේ. ඒ පරචිත්ත විජාණන ඥානය,

ඊළඟට පුබ්බේ නිවාසානුස්සති ඥානය . පෙර විසූ ජාතීන්, මෙනෙහි කරනවා. අනේකවිධ කල්ප මෙනෙහි කරනවා. එතකොට එක එක ආත්මයෙන් ආත්මයට නම මොකක්ද, කෑවෙ බිව්වේ මොනවාද? අම්මා තාත්තා කවුද? කළේ මොනවාද, මේ හැම දෙයක්ම එකින් එකට දැනගන්න පුළුවන්. එතකොට එතනින් චුත වෙලා කොතැනට ආවත්, එතැනින් චුත වෙලා කොහේටද ගියේ මේ හැම දෙයක්ම මෙනෙහි කර බලන්න පුළුවන්.

සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පෙර ජීවිතය බැලීම හරියට සූර්යා ලෝකයෙන් බලන්නා සේ විනිවිදව අප්‍රමාණව පෙනෙන්න ගන්නවා. පසේ බුදුරජාණන් වහන්සේලා පෙර ජීවිත බලනකොට චන්ද්‍රාලෝකයෙන් බලනවා වගේ. පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒක තථාගතයන් වහන්සේට අති විශිෂ්ඨයි. ඊළඟට චුතූපපාත ඥානය හෙවත් දිබ්බචක්ඛු ඥානය , චුත වෙනව, ඉපදෙනවා. පහත් තැන්වල උපදිනවා. හොඳ තැන්වල උපදිනවා. ලස්සන ශරීර ඇතිව උපදිනවා. දුර්වර්ණ ශරීර ඇතිව උපදිනවා. ඔය විදිහට එක එක සත්වයින් ඉපදිලා ඉන්න ආකාරයට, මැරෙන ආකාරයට බලනවා. දැන් එහෙනම් මැරෙන්න කොහොමද? උපදින්නෙ දින 07 ක් ඇතුළත. ඉපදෙන මැරෙන සත්වයන් බලනවා. මේ ඉපදෙන මැරෙන සත්වයන් දින 07 ක් තුළ බලනකොට උන්වහන්සේ දකිනවා කාය දුෂ්චරිතය ,වචී දුෂ්චරිතය ,මනෝ දුෂ්චරිතය වශයෙන්?

ඒ කියන්නේ කාය දුෂ්චරිතය , වචී දුෂ්චරිතය , මනෝ දුෂ්චරිතය කියන මේ දුෂ්චරිතයන්ගෙන් යුක්ත වෙලා, ආනන්තරිය පාප කර්ම කරගත්තා නම් ,ආර්ය උපවාද කරගත්තා නම් ඒ අය කෙළින්ම ගිහින් උපදින්නේ කොහේද? සතර අපායේ, ආර්ය උපවාදය බොහෝම වැදගත් වෙනවා. මොකක්ද මේ ආර්ය උපවාදය කියන්නේ, ආර්යයන් වහන්සේට කරන නින්දාව, අපවාදය,දැන් බලන්න අම්බපාලි ගණිකාවක් වෙලා ඉපදුණා. එයට හේතුව මොකක් ද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මෙතුමිය භික්ෂුවක්. අවුරුදු 20,000 ක් පෙරම්පිරූ භික්ෂුණියක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑවට පස්සේ ඒකඝණ සර්වඥ ධාතු නිදහිත චෛත්‍ය සකස් කරලා ගොඩ නඟලා තිබුණා. මේ චෛත්‍ය වන්දනාවට නා නා දිශාවලින් නොයෙක් භික්ෂූණියන් ආවා. එක රහත් භික්ෂුණියකට කිවිසුමක් ගිහිල්ලා කෙළ පිඩක් වැටුණා චෛත්‍ය මළුවේ. නොදන්නාකමින් වුණේ. නමුත් මේක දැක්ක අම්බපාලි භික්ෂුණිය නරක වචනයක් කිව්වා. විපාක පස්සේ දැනගත්තා. තමන්ට අත් වැරදීමක් වුණා කියලා. හොයාගෙන ගියා. වෙහෙරක් වෙහෙරක් ගානේ සොයාගන්න බැරි වුණා. ඒ දිශාවන්ට වැඳ වැඳ සමාව ගත්තා. නමුත් හරි ගියේ නැහැ. විපාක වශයෙන් නිවන් දක්නා මොහොත දක්වාම ගණිකාවක් වශයෙන් උප්පත්ති ලබන්නට සිද්ධ වුණා. දැන් බලන්න ආර්යන් වහන්සේ නමකට උපවාද කිරීම අපවාද කිරීම, ඊළඟට තව දවසක් අපේ ලංකාවේ රහතන් වහන්සේ කෙනෙක් තමන්ගේ ශිෂ්‍යයත් එක්ක යනවා. පිණ්ඩපාතේ වැඩි මුල්ම ගෙදරින් හම්බවුනේ කැඳ, තව ටිකක් ඉස්සරහට ගියාම කැඳත් එක්ක තව ආහාර මිශ්‍ර වෙනවනේ. මේ කැඳ එතෙක් ප්‍රයෝජනය වෙන් නෑනෙ. එතනම තියෙන ගහක් ළඟ වාඩිවෙලා මේ කැඳ ටික වැළඳුවා. මේ ගෝලයා සිතනවා ‘අනේ මන්දා බඩජාරිකම ඕක ඉවසන්න බෑනෙ’ ගෝලයා හිතනවා. දැන් ගුරුවරයා ගැන වැරැදි විදිහට. ගුරුවරයා රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ හිත දැක්කා. ගුරුවරයා අහනවා ගෝලයාගෙන් ‘ගෝලයෝ ඔය ඇත්තා දැන් මාර්ගඵල එහෙම ලබලා ද තියෙන්නේ?’ ‘ඔව්’ කියනවා. ‘එහෙනම් වහාම සමාව ගන්න ඉතිරි මාර්ගඵල ලබන්න විදිහක්නෑ කියනවා.

අන්න බලන්න එහෙනම් අපේ ගමන සම්පූර්ණයෙන් ම නවතිනවා . ආර්යයන් වහන්සේලාට උපවාද කිරීමෙන්. එතකොට දැන් අර පුබ්බේ නිවාසානුස්සති ඥානයෙන් අතීතයට හිත යවලා සම්පූර්ණයෙන් මෙනෙහි කරලා, බලන්න පුළුවන්. අපි කරපු දේ මොනවාද? අපි කරලා තියෙන්නේ මොනවාද? කාපු බීපු දේ මොනවාද? කාපු බීපු දේ හැම දෙයක්ම බලන්න පුළුවන්. ඊළඟට ඒ වගේ තමයි චුතූපපාත ඥානය. ඒ සත්වයන් උපදින්නේ මොන මොන කර්ම කරලා ද මේ සියල්ල දකින්න පුළුවන්. සියල්ලම දැකලා අවබෝධ කරලා දේශනා කළා.