Print this Article


පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයේ දී පින්කම් මාලාවක්

පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයේ දී පින්කම් මාලාවක්

ස්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහෝපාධ්‍යාය වටපුළුව පුරාණ විහාරාධිපති උඩවත්තේ ශ්‍රී නන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි බූටාවත්ත පුරාණ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ බූටාවත්තේ ශ්‍රී රතනජෝති නා හිමි වැල්ලම්පිටිය කලවිටගොඩැල්ල ශ්‍රී සම්බුද්ධරාජ පුරාණ විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ නාහල්ලේ පඤ්ඤානන්ද නාහිමිවරුන්ගේ සහ හිටපු රාජ්‍ය සභා මන්ත්‍රී දිවංගත අනුර ඩැනියල් මහතා ප්‍රධාන විහාරස්ථාන අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාකර පරලොව සැපත් සතර පේරුවේ දායක පින්වතුන්ට, මැති ඇමැතිවරුන්ට හා පරලොව සැපත් ත්‍රිවිධ හමුදා රණවිරුවන් ගුණ සැමරුම හා පින් අනුමෝදනා කිරීම මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක බූටාවත්තේ ශ්‍රී සරණංකරාභිධාන නා හිමියන්ගේ හා විහාරාධිපති මහනුවර හිටපු දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හඟුරන්කෙත සද්ධානන්ද හිමියන්ගේ ලෝක ශාසනික සේවය ඇගයීම වස් ආශිර්වාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජූනි මස 30 වන දින සවස 2.00 ට මහා සංඝරත්නය ප්‍රධාන මැති ඇමැතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

සර්වරාත්‍රික මහා පිරිත් දේශනය ද ජූලි මස 01 වන දින 10.00 ට ජන හමුව 11.00 ට තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය සියක් (100) නමක් විෂයෙහි පිරිනැමෙන සඟසතු දානමය පින්කමකි.


පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාම විහාරයේ දී පැවිදි - ගිහි පිරිසකට උපහාර


බූටාවත්තේ ශ්‍රී රතනජෝති නා හිමි


වෙලේගම්මැද්දේ විමලජෝති නා හිමි


හඟුරන්කෙත සද්ධානන්ද හිමි

ප්‍රදේශයේ සංවර්ධනයට මෙහෙවරක්

බුදුදහම මෙරටෙහි ස්ථාපනය වූ තැන් පටන් ජාතික, ආගමික, සාමාජික, අධ්‍යාපනික, දේශපාලනික යන සියලු අංශවලම ප්‍රගමණය කෙරෙහි බලපෑවේ බුදුදහම සහ එමඟින් ගොඩනැගුණු බෞද්ධ සංස්කෘතිය යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. මේ නිසා බෞද්ධ ජනතාව සහ අතීත රාජ්‍ය පාලකයෝ ජාතියේ මුරදේවතාවුන් වහන්සේලා ලෙස මෙරටෙහි මහාසංඝරත්නය පිළිගෙන උන්වහන්සේලා කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් කටයුතු කළා පමණක් නොව උන්වහන්සේලාගේ උපදේශකත්වය යටතේ මෙරට බෞද්ධ රටක් ලෙසම සුරක්ෂිත කර ගන්නටද උත්සුක වූහ. එහි එක්තරා ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ ද ඒ ඒ ප්‍රදේශවල පවතින විහාරස්ථාන කේන්ද්‍ර කොටගෙන මෙරටෙහි මහාසංඝයා වහන්සේ එම ප්‍රදේශවල මහජනතාවගේ ආගමික සංවර්ධනය පමණක් නොව ආර්ථික, සාමාජික, සංස්කෘතික සංවර්ධනය උදෙසා ද පරෝපකාරීව විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරති. කන්ද උඩරට පිහිටි එබඳු එක් විහාරස්ථානයක් ලෙස තලාතුඔය, පින්නගොල්ල, ශ්‍රී සද්ධර්මාරාමය හැඳින්විය හැකි ය. එම විහාරස්ථානය මුල් කොට ගෙන එහි වත්මන් විහාරාධිපති හඟුරන්කෙත සද්ධානන්ද හිමියෝ ප්‍රදේශයේ ගිහිපැවිදි උතුමන් පිරිසක් සම්බන්ධ කොට ගෙන විහාරස්ථානයේ පමණක් නොව හාත්පස ප්‍රදේශයේම මහජනතාවගේ ජාතික, ආගමික, සාමාජික සංවර්ධනය උදෙසා විවිධාකාර ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත්, ඒ වෙනුවෙන් විවිධාකාර වැඩ සටහන් සංවිධානය කරන බවත් අප හොඳින් දන්නා කරුණකි. ඒ සඳහා එම විහාරස්ථානයේ මෑත කාලයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලා කීපනමක් ද ගිහි භවතුන් කීපදෙනෙක්ද මහත් වූ මඟපෙන්වීමක් සිදුකළ අතර ඉන් පරිභාහිරව එම හාත්පස ප්‍රදේශයේම සංවර්ධනය සඳහා ගිහි පැවිදි උභය පක්ෂයේ පිරිසක් වර්තමානයේ ද සුවිශාල කාර්ය භාරයක් ඉටු කරති. එම සියලු දෙනාගේ ම ආධාර උපකාර සහ මඟපෙන්වීම ආදිය වත්මන් විහාරාධිපති හඟුරන්කෙත සද්ධානන්ද හිමියන්ට සහ විහාරස්ථානයේ දායක කාරකාදීන්ටද එම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදු කරන්නට මහත් පිටිවහලක් වූ බවද වෙසෙසින් සඳහන් කළ හැකි ය.

ඒ නිසාවෙන් එයට කෘතගුණ සැලකීමක් වශයෙන් ප්‍රදේශයේ ගිහි පැවිදි විශාල පිරිසක් එක්වී මෑත කාලයේ එම විහාරස්ථානවල විහාරාධිපතිත්වය දරමින් මහත් මෙහෙයක් එම ප්‍රදේශයට සිදුකොට අපවත් වී වදාළ බූටාවත්තේ ශ්‍රී රතනජෝති හිමියන්, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ඩැනියෙල් මහතාට ද පුණ්‍යානුමෝදනා කිරීම පිණීසත් වර්තමානයේ මැලේසියාවේ ප්‍රධාන සංඝනායක බූටාවත්තේ ශ්‍රී සරණංකරාභිධාන නා හිමියන් සහ වත්මන් මෙම විහාරස්ථානයේ විහාරාධිපති හඟුරන්කෙත සද්ධානන්ද හිමියන්ගේ සේවය අගයමින් ආශීර්වාද කිරීම පිණිසත් පුණ්‍ය ක්‍රියා මාලාවක් ජුනි 30 වන දින පැවැත්වීමට කටයුතු සම්පාදනය කොට ගෙන තිබේ. එය තථාගතයන් වහන්සේ තම දේශනයෙන්ද ප්‍රායෝගිකත්වයෙන් ද ලොවට වෙසෙසින් පෙන්වා දුන් කෘතගුණ සැලකීමේ වටිනාකම තවදුරටත් ඇගයෙන අවස්ථාවක් ලෙසද වෙසෙසින් සිහිපත් කළ හැකි ය. ඒ වෙනුවෙන් දැනට සංවිධානය කොට පැවැත්වීමට යොදා ගෙන ඇති සියලු කාර්යයන්ම අත්‍යන්තයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර ගිහි පැවිදි එම සියලු දෙනාටම මෙම කුසල කර්මයේ ශක්තියේ බලයෙන් උභයාර්ථ සංසිද්ධිය සැලසේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරම්හ.

****

බෝසත් ගුණය ක්‍රියාවට නංවන මහ පින්කමක්

මෙම වසරේ ජුනි මස 30 වන දින තලාතුඔය, පින්නගොල්ල, ශ්‍රී සද්ධර්මාරාමයේ දී කෘතෝපහාර පිණිස මහෝත්සවයක් පවත්වන බව දන්වන්නේ ඉතා සතුටිනි. මෙහිදී බූටාවත්ත, පුරාණ විහාරාධිපතිව වැඩ සිට, අපවත්වී වදාළ බූටාවත්තේ රතනජෝති මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ 31 වන ගුණ සමරු මහ පින්කමට සමගාමීව මැලේසියාවේ ප්‍රධාන සංඝ නායක බූටාවත්තේ සරණංකරාභිධාන නායක මහාස්ථවිර පාදයන් වහන්සේගේ හා බූටාවත්ත, පුරාණ විහාරාධිපති මෙන් ම තලාතුඔය පින්නගොල්ල, ශ්‍රී සද්ධාර්මාරාම විහාරාධිපති, හඟුරන්කෙත සද්ධානන්ද මහාස්ථවර පාදයන් වහන්සේගේ සේවාව ඇගයීම ද ප්‍රශංසාවට ලක්විය යුතු කරුණකි.

සත්වයන්ගේ සුව සෙත සාදන යම් මෙහෙවරක් ලොව කොතැනක හෝ වන්නේ ද? ඒ සඳහා ඒ ලොව තුළම යම් සත්පුරුෂයකු පහළ වන්නේ ය. ඒ අනුව මේ සියල්ල නිර්මාණය කිරීම සඳහා මූලික වු සත්පුරුෂයාණන් වහන්සේ ලෙස අප හඳුන්වන්නේ බූටාවත්ත, පුරාණ විහාරාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ බූටාවත්තේ රතනජෝති මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ය.

ලෝක ශාසනික සේවාවක නිරතව සිට අපවත්වී වදාළ උන්වහන්සේගේ වටිනා සේවාව අගයමින් පුණ්‍යානුමෝදනා කරන මේ උතුම් අවස්ථාවේ දී එම නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයාණ කෙනෙකුන් සේ සසුන්ගතව 1975 වර්ෂයේ දී උපසම්පත්ති, ප්‍රතිලාභයෙන් සිය සසුන් මග සරසාගත් හඟුරන්කෙත සද්ධානන්ද මහාස්ථවිර පාදයන් වහන්සේ ද ඉහත සඳහන් නාහිමිපාණන් වහසන්සේගේ උසස් සේවාව ඉදිරියට පවත්වාගෙන යනු දැකීම අප කාගේත් සතුටට කරුණකි.

මෙ කාර්යයන් සඳහා සද්ධානන්ද මහාස්ථවිර පාදයන් වහන්සේට නිස්සරණධ්‍යාශයෙන් යුතුව ශක්තිය සපයන මැලේසියාවේ ප්‍රධාන සංඝ නායක බූටාවත්තේ සරණංකරාභිධාන නායක මහාස්ථවිර පාදයන් වහන්සේ ද ඉතා බෙහෙවින් අගය කළ යුතු මහතෙරපාණන් වහන්සේ නමකි. ගිණිය නොහැකි වු ශාසනික හා සමාජ සත්කාරක සේවාවක නිරතව සිටින උන්වහන්සේට ද ආශිර්වාද කිරීම බෙහෙවින් සතුටුදායක කරුණක් බව සතුටින් සඳහන් කරමි. කෘතඥතා ගුණය මුල් කරගත් මේ සියලු කුසල බලයෙන් ඉහත සඳහන් නාහිමිපාණන් වහන්සේලාට යහපතක්ම වේවායි! සෙත් පතමින් අපවත්වී වදාළ නා හිමි වහන්සේලාටත් නිර්වාණ ශාන්තියම හේතුවාසනාවේවායි! කරුණා සිතින් ප්‍රාර්ථනා කරමිනි.

****

සද්පුරුෂ ක්‍රියාවක්

ඓතිහාසික කන්ද උඩරට පාත හේවාහැට බූටාවත්ත පුරාණ විහාරාධිපතිව වැඩ වෙසෙමින් ආගමික ජාතික වශයෙන් මහඟු සේවාවක් සිදු කොට වසර තිස් එකකට පෙරාතුව අපවත් වී වදාළ බූටාවත්තේ රතනජෝති හිමියන්ගේ ගුණානුස්මරණය කිරීම, දැනට බූටාවත්ත පුරාණ විහාරයේ විහාරාධිපතිත්වය දරමින් අගනා සේවාවක් සිදු කරන පාත හේවාහැට ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී හඟුරන්කෙත සද්ධානන්ද හිමියන්ගේ හා උපන් ගමට රටට ඉමහත් කීර්තියක් අත් කර දෙමින් දේශීය හා විදේශීය වශයෙන් ආගමික ජාතික විශාල සේවයක් සිදු කරන බූටාවත්තේ සරණංකර නා හිමියන්ගේ අනගි සේවාව අගය කරමින් උපහාර පිදීම අරමුණු කරගෙන කෘතෝපහාර පුණ්‍යෙීත්සවයක් පැවැත්වීම අගය කළ යුතු සත් පුරුෂ ක්‍රියාවකි. බූටාවත්තේ රතනජෝති හිමියන් බූටාවත්ත පුරාණ විහාරස්ථානය කේන්ද්‍රකරගෙන දහම් පාසල්, ළමා නිවාස, සමිති සමාගම් ආරම්භ කර ගම් වැසි ප්‍රජාවගේ ආගමික සාමාජික උන්නතිය සඳහා වටිනා සේවයක් කරමින් දේශීය වෛද්‍යවරයකු නක්ෂත්‍රඥයකු වශයෙන්ද මෙහෙවරක් සිදුකළ යතිවරයාණන් කෙනෙකි. එමෙන්ම ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් වෙලේගම්මැද්දේ විමලජෝති නාහිමි, හඟුරන්කෙත සද්ධානන්ද හිමි ආදී ශිෂ්‍යවරයන් සසුනට දායාද කළ සංඝ පීතෘවරයාණන් කෙනෙකි. බූටාවත්තේ සරණංකර නා හිමියන් හඟුරන්කෙත සද්ධානන්ද හිමියන් වත්මන් තරුණ භික්ෂූන් වහන්සේලාට ආදර්ශයට ගැනීමට තරම් අගනා ලෝක ශාසනික මෙහෙවරක් සිදු කරන බුද්ධ පුත්‍රයන් වහන්සේලා දෙනමකි. උන්වහන්සේලාට උපහාර පිදීම තව තවත් උසස් සේවාවන් සිදු කිරීමට දිරිමත් කිරීමකි. පිදිය යුත්තන් පිදීමේ වටිනා සත්පුරුෂ පින්කමකි. බූටාවත්තේ සරණංකර හිමියන් හා හඟුරන්කෙත සද්ධානන්ද හිමියන්ට අපි ද මෙත් සිත් පූර්වකව ආශිර්වාද කරමු.

 

****

අංගසම්පූර්ණ විහාරස්ථානයක්

මහනුවර පාතහේවාහැට, තලාතුඔය නගරයේ සිට කිලෝමීටර් 1 1/2 ගිය විට මෙම පින්නගොල්ල ග්‍රාමය හමුවේ. හේවාහැට කොටසේ පාර්ලිමේන්තු තරුණ මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටි අනුර ඩැනියෙල් මහතා විසින් එවකට මෙම ඉඩම් කොටස මහජනතාව වෙත බෙදා දී ඇත. ගම්වැසියන්ට ආගමික වතාවත් කර ගැනීම පිණිස විහාරස්ථානයක අවශ්‍යතාවය තදින් බලපා ඇත. එවකට බූටාවත්ත පුරාණ විහාරස්ථානයේ වැඩ සිටි හඟුරන්කෙත සද්ධානන්ද හිමියන්ට ආරාධනා කොට ගමේ පොදු කටයුතු සඳහා පැවති ශාලාවක පළමු වස් වැසීමේ කටයුත්ත සිදුකර විහාරස්ථානය ආරම්භ කර කෙටි කාලයක් තුළ දී ශ්‍රී සද්ධර්මාරාමය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරලීමට වර්තමානයේ හැකියාව ලැබුණේ සද්ධානන්ද හිමියන්ගේ දක්ෂතාව නිසාත් අප්‍රතිහත ධෛර්යය නිසාත් බව ප්‍රකාශ කිරීමට ලැබීම සතුටට කරුණකි. මේ කාලය වන විට සති පිරිත් කිහිපයක් පවත්වා ඇති අතර කුඩා ගම්මානයක් වුවද දර්ශනීය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්ව තිබීම ගිහි පැවිදි කාගේත් ප්‍රසාදයට පත්වීමට හේතු වී ඇත.