Print this Article


කසාවතට පනහයි

කසාවතට පනහයි

කැප කොට ජීවිතය පොදු ජන යහ පතට
අඩ සියවස පිරුණි උර දී කහ වතට
කඳුළක් දෙකක් නැඟුණත් එදවස නෙතට
අද මිල කළ නොහැකි සැනසිල්ලකි සිතට

මහ පින්බිමට කැඳවා දුරු කතර ගෙවා
කුළුණින් ළෙහි හොවා නැණ සිප් සතර පොවා
දිවිමඟ හෙළි පෙහෙළි කළ දී මහඟු ඔවා
සිහියට නැඟේ ගුරු උතුමන් උදය හවා

විවරව ඇතත් පෙරමග ජය දද බැන්ඳ
කිත් පැසසුම් සමඟ නින්දා අව මන්ද
එමතු ද නොවේ ආ මඟ වැරදුන තැන්ද
මැදහත් සිතින් විමසමි නැත නෙත අන්ධ

අසරණ නොකර සිතිවිලි අවධියේ මුල්ම
තනි නොතනියට හිටියේ ‘සරසවි බැල්ම’
මගේ ජීවිතය ඔප කළ ඒ මිණි කැල්ම
මා අත හැර නොයේවා මිය යන කල්ම

විසකටු, කිණිසි තුඩු තිබුණත් මඟ දිගට
හෙමිහිට පැමිණියෙමි ගමනේ ඉම ළඟට
ඇතැමුන් ගල් බොරළු දැමුවත් පෙර මඟට
මල් පාවඩ විය ඒවා පා යුගට

පාරා තුවාලය හිනැහුණු අය සේම
පිරිමැද රිදුණ තැන් ගෙන දුන් සැන සීම
හමුවිය උතුම් මිනිසුන් නැති රැව ටීම
මතකයෙ සිටිති ඒ දෙවිවරු සැම දාම

ඇසුණත් තැනින් තැන සිත කළකිරෙන කතා
දෙසවන් වසා සිටියෙමි යන ගමන සිතා
දැන සිටි බැවින් මේ දිවිමඟ කෙටිය ඉතා
නොකළෙමි සටන් නිල, බල, යස , ඉසුරු පතා

නොසිතුව ලෙසින් ඉඳහිට සැඩ සුළඟ හමා
යම් යම් විටදි වූවත් යන ගමන පමා
නුසුදුසු තැනක නැත කිසිවිට සිරස නමා
හදවත රැඳුණ අබිමානෙත් එයම තමා

ඉහළට නැඟී ඉණිමඟටත් පහර දෙන
කකුළෙන් අදින, අත්වැලටත් සුරත දෙන
මිනිසුන් අතර හිඳ වළඳා සසර පින
පුදුමයි මටත් අද මා මේ සිටින තැන

දොරටුව වසා දා සිත කළ කිරීමේ
විඳ විඳ සුවය ටික ටික අත හැරීමේ
ගතවෙන ජීවිතේ වැඩි බර දැරීමේ
කාලය නිමාවී එළඹෙයි විරාමේ