Print this Article


සීහළවත්ථු කතා: ධාර්මික රජු

සීහළවත්ථු කතා:

ධාර්මික රජු

කාශ්‍යප බුදුරදුන් සහ ගෞතම බුදුරදුන් අතර කාලයෙහි අතිදේව නමින් රජෙක් හෙළදිව රජ කළේ ය. ඔහු ධාර්මික වුවත් ධනයෙන් හීන විය. ධනය රැස්කරනු කැමැති හෙතෙම ඇමැතියෙකුට මෙසේ කී ය.

මිත්‍රවරුනි, රාජ කෝෂ්ඨයේ ධනය හීන වී තිබෙන බව පෙනේ. එනිසා එය ධාර්මිකව පිරවිය යුතු ය. අධාර්මික ලෙස නො පිරවිය යුතු ය . සමකාරයෙන් මිස විෂමකාරයෙන් එය නො කළ යුතු ය. ඒ කීම ඇසූ එක් ඇමැතියෙක් "රජතුමනි, එක් ජනපදයක් සමෘද්ධිය, ජනපදවාසීහු රජුට ධනය දෙත්වා, රන්, රිදියෙන් පිර වූ බොහෝ භාජන ගෙයක් පාසා වෙති. මිනිසුන්ට අයත් කෝටි ගණන් රන්කාසි ද ඇත්තාහ කී ය.

"මිත්‍රය, එසේ නො කියව. අධර්මය නො පවතීවා. ධාර්මිකව මියයාම යහපත් වුවත් අධාර්මිකව ජීවත්වීම අයෝග්‍යය. අප දෙදෙන අප්‍රකට වේශයකින් රටේ ඇවිද ගොස් ධනය පිළිබඳ විමසා බලමුයි" රජු යෝජනා කළේය.

ඒ අනුව ඒ දෙදෙනා කිළිටි වස්ත්‍ර ඇඳගෙන ශරීරාවයව ද වෙනස් කරගෙන ඇවිදිමින් එක් ගමකට පැමිණියහ. එහි එක් ගෙයකට ගිය ඔවුහු ගෘහණිය අමතා “මෑණියනි, අපි මගියෝ වෙමු. ඔබගෙන් කෑමට යමක් බලාපොරොත්තුවෙන් මෙහි ආවෙමු” යි කී ය. දරුවෙනි, එනු මේ පැනවූ ආසනවල හිඳගනිව්. කැමැති සේ අනුභව කොට යනුයි කී ය. ඔවුන් ආසනවල හිඳගත් පසු ආහාර සම්පාදනය කළ ඕ තොමෝ මොවුන් සියුමැලි ශරීර ඇත්තවුන් බව දැක "දරුවෙනි, පිරිසුදු උක් පැණි අනුභව කරනු කැමැත්තහු ද? නැතහොත් දී කිරි සමඟ හෝ ගිතෙල් සමග අනුභව කරනු කැමැත්තහුදැයි" ඇසීය. "මෑණියනි, උක් පැණි සමග දෙනු මැනයි" කී ය.

ඕ තොමෝ යහපති කියා පිරිසුදු භාජනයක් ගෙන උක් වත්තට ගොස් උක් ගසක් කඩා පැණි බේරාගැනීම සඳහා එය අත්වලින් ඇඹරී ය. මුළු ශක්තියෙන් ඇඹරීම කළත් පැණි බිංදුවක්වත් නො වැගුරුණි. ඉක්බිති උක්ගස මිරිකා අඹරන ස්ත්‍රිය දුටු ඔවුහු මෙසේ විමසූහ.

"ඔබ දෑතින් උක් ගස් කඩක් ගෙන අඹරන නමුත්, වේලුණු උක් ගසේ පැණි වැගිරීමක් කොයින් ද?"

"දරුවෙනි, පෙර මම මෙසේ උක් ගස් ඇඹරුවෙමි. පුරුක් දෙකක් අතරෙහි නැළියක් පමණ පැණි තිබුණි."

"මෑණියනි, කිනම් වරදකින් මේ උක් ගස වියළී ගියේ ද?"

"දරුවෙනි, රජතෙම ලෝභීය, නො සතුටු සිතැත්තේ ය. ලෝභයෙන් යුතුව තමා කැමති දේ කරන්නේ ය. ඒ වරදින් උක්ගස්වල හා අන් ගස්වල ඇති රසය වියළී ගියේ යයි, මම සිතමියි" ඇය කීවා ය.මෑණියනි ලෝභි වූ රජ කුමක් කරන්නේද ලෝකයාගේ පිරිහීම හෝ අභිවෘද්ධි ඔහු හා සම්බන්ධ වන්නේ කෙසේ ද? ඇය මෙසේ කීවා ය.

"මවක් හෝ පියෙකු මෙන් ලෝකය පාලනය කෙරේනම් රටවැසියෝ සුවසේ ජිවත් වේ. අධර්මයෙන් පවත්නා රජතෙමේ දරුණු වෙයි. ඒ නපුරු රජුගේ වරදින් ලෝකය වහා විනාශ වෙයි. නො කල්හි වැසි වසී. සුදුසුකල් හිම වැසි නො වසී. අධාර්මික රාජකාලයෙහි හැල් වී ආදිය ද මෑ, මුං ආදිය ද පිරිහෙති. නැතහොත් විෂම ලෙස පැසෙති. මිිහිරි රස, කුළු රස, තිත්ත රස, ලුණු රස යන රස නිරස වෙති. අල හා ගෙඩි වර්ගවලද ඕජා අඩුවෙති. දුර්ලභ වෙති. වංචා කිරීම්, හෙට්ටු කිරීම් කපටිකම් ද සොරකම් හා පරදාර කර්මය ද යන හැම අනර්ථයෝ වැඩෙති. කිරි දෙන්නා වූ එළදෙන්නු කිරෙන් පිරිහෙති. මුල් හා ගෙඩි අඩුවෙති. අධාර්මික රජු ආශ්‍රය කරන පිරිස ද දශවිධ සංග්‍රහයෙන් පිරිහේ. ධර්මයෙහි පවත්නා කරුණා සිතැති රජෙකු ඇති කල්හි ඒ යහපත් රජුගේ තේජසින් ලෝකයා වහා දියුණු වෙයි. එකල යෝග්‍ය කාලයෙහි වැසි වසී. නො කල්හි නො වසී."

හැම තැන සමසේ වසී. රජු ධාර්මික වූ විට මුං, මෑ ආදිහුද ඇල්වී ආදිහු ද හැම තැන්හි සමසේ වැඩෙත්. රජු ධාර්මික වූ විට මිහිරි රස කුළු රස, තිත්ත රස, කසට රස, ලුණු රස යන රසයෙන් ආඪ්‍ය වෙති. වංචා කිරීම්, නැවත ඇවිස්සීම්, කපටිකම් යන සොරකම්, පරදාරසේවනය ආදි පව්කම් ද නැතිවෙති. කිරිදෙන දෙනුගේ කිරි බහුල වේ. මල් හා ගෙඩි උපදව වෘක්ෂයෝ බොහෝ මල් ගෙඩි උපදවයි. ලෝභය හා ද්වේෂය නිසා පිරිහෙන කාලයේ ගුණය සැලවේ.

ඒ මෑණියන්ගේ උක් ගස වියළී යාමේ හේතුව ඇසු රජු ඇමැතිියා දෙස බලා මෙසේ කී ය. ලෝභයෙන් යුත් සිත නිසා මේ හැම රසයෝ වියළී ගියහ. යම් කලෙක ඒවා ගනිම්නම් එදා සිදුවෙන දේ ගැන කුමට කියම් ද? අධර්මයෙන් යුක්තව ධනය රැස්කොට ඇත්, අස්, ගවාදීන් පෝෂණය කොට නරකයට යන්නේ ය. අධාර්මික ධනෝපාර්ජනයෙහි දෝෂ බොහෝ ය. කී රජු නැවත හැරී ගියේය. ඔහු ධර්මයෙන් රාජ්‍ය කොට ආයුෂ කෙළවර සුගතියේ ඉපදුණේ ය.