Print this Article


නිරෝගිමත් පරපුරක් වෙනුවෙන් අමිල මෙහෙවරක් කරන පන්නිල ආනන්ද හාමුදුරුවෝ

නිරෝගිමත් පරපුරක් වෙනුවෙන් අමිල මෙහෙවරක් කරන පන්නිල ආනන්ද හාමුදුරුවෝ

නිරෝගි සුවය ලොව පවතින උතුම් සුවයකි. කවර කාර්යයන් කුමන අයෙක් විසින් සිදු කළ ද එහි සාර්ථකත්වය රඳා පැවතීමට නම් කායික මෙන් ම මානසික සුවය හෙවත් නිරෝගි බව අත්‍යවශ්‍යය. පුද්ගලයා තුළ කවර සම්පත් පැවතිය ද, නිරෝගි සම්පත පළා ගිය විට ගතින් පමණක් නොව සිතින්ද රෝගියෙකු බවට පත්වේ. ඒ අනුව කවරෙක් සඳහා වුවද නිරෝගිබව වාසනා ගුණයක්ම වේ.

ලොව උපත ලබන සියලු දෙනා රෝගිවීම සොබාදහමකි. එහෙත් අර්ථවත් දිවිපෙවෙතක් ගත කිරීම තුළින් නිරෝගී සුවය ආරක්ෂා කරගත හැකිවේ. පොදු මහ ජනතාව නිරෝගිව තබා ගැනීම සඳහා නොමිලයේ වෛද්‍ය පහසුකම් සැලසීමට රජය වසරක් පාසා මහා ධනයක් වැය කරයි. ඒ පොදු මහජන යහපත අපේක්ෂා කරන හෙයිනි. එහෙත් අනපේක්ෂිත අවස්ථාවන්හි දී ඇතැමෙක් විවිධ රෝගාබාධවලට ලක්වන අයුරු දක්නට ලැබෙන අවස්ථා බහුල ය. මහජනතාව නිරෝගිමත් වු තරමට එරට ආර්ථිකයටද එය මහත් ශක්තියක් වනු ඇත.

රටේ ජනතාව වෙත රජයෙන් පොදු වෛද්‍ය සේවා නොමිලයේ සපයන අතර පරිත්‍යාගශීලින්ද සහාය වෙමින් පොදු සෞඛ්‍ය සේවා නංවාලීමට අත හිත දෙන අවස්ථා ද දක්නට ලැබීම මහත් සතුට දනවන්නකි.

යමෙක් ගිලනුන්ට උපස්ථාන කෙරේද, එය තථාගත බුදුරජාණන් වහන්සේ උදෙසා කළ පූජාවක් වැනි යැයි ගිලන් උපස්ථානය පිළිබඳ බොදු ජනතාව ඉතා හොඳින් දැනුම්වත් වී සිටියි. ගිලන් උපස්ථානය කෙතරම් අගනා වටිනා පින්කමක්දැයි එමගින් සනාථ වේ.

ඓතිහාසික අත්තනගල්ල අරහන්ත රජමහා විහාරාධිපති ,ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරයේ සහ තායිවානයේ ථෙරවාද බෞද්ධ විහාරයේ අධිපති මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක් මත වතුපිටිවල ජේ.පී. ඔබේසේකර ආර්යා මුලික රෝහල වෙත අවශ්‍ය වෛද්‍ය උපකරණ රැසක් දේශීය හා විදේශීය පරිත්‍යාගශීලින්ගේද සහායෙන් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

“අපි හදවතින් එක්වී ජීවිත රැක ගනිමු” තේමාව යටතේ සිදු කෙරෙන එම සද්කාර්ය මෙම 22 වනදා පෙරවරු 10ට පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති මහෝපාධ්‍යාය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රධාන මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් වතුපිටිවල රෝහලේදී සිදු කෙරේ.

ආචාර්ය පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙරට පාසල් දරුවන්ගේ නැණ පහන් දැල්වීමේ අපේක්ෂාවෙන් මේ වන විට විවිධ පාසල්වල පාසල් ගොඩනැගිලි 20 ක් ඉදිකරවාදීම සඳහා රුපියල් කෝටි තිස්පහකට වඩා වැඩි මුදලක් පිරිනමා ඇත.

තෙමහල් පාසල් ගොඩනැගිලි 16ක් ද, දෙමහල් පාසල් ගොඩනැගිලි 2ක් ද, තනිමහලේ පාසල් ගොඩනැගිලි 2ක් ද ඒ අතරේ වේ.

නිරෝගි මතු පරපුරක් බිහි කිරීමේ අටියෙන් ඔබේසේකර පවුල මගින් ජේ.පී. ඔබේසේකර ආර්යා මුලික රෝහල ආරම්භ කර ඇත්තේ 1910 වසරේදී ය. අත්තනගල්ල රජමහා විහාරාධිපති නාහිමියන් විසින් 2004 දී රෝහල සංවර්ධන පදනම නමින් සංවිධානයක් බිහිකර එහි සභාපතිධූරය දරමින් රුපියල් කෝටි පහළොවක පමණ වටිනාකමින් යුත් කාර්යයන් රාශියක් මේ වන විට සිදු කර ඇති බව ආනන්ද නාහිමියෝ පවසති. රුපියල් ලක්ෂ පනස් දෙකක පමණ වියදමෙන් භික්ෂු වාට්ටුවක් ද, රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් පමණ වියදමෙන් ළදරු වාට්ටුවක්ද රුපියල් ලක්ෂ විසිහතක පමණ වියදමෙන් සෙම පටල ශල්‍යාගාරයක් ද, රුපියල් ලක්ෂ හතර හමාරක පමණ වියදමෙන් ශබ්ද විකාශන පද්ධතියක් ද, වාට්ටු ප්‍රතිසංස්කරණය කිරීම්, වෛද්‍ය උපකරණ ලබාදීම ඒ අතර වන බව ද ආනන්ද නාහිමියෝ පවසති.

මෙම 22 වනදා එම රෝහල වෙත පිරිනැමෙන වෛද්‍ය උපකරණ යන්ත්‍ර අතර රුපියල් ලක්ෂ 36 ක් පමණ වටිනා ව්‍යායාම ඊ.සී.ජී.යන්ත්‍රය ආචාර්ය පන්නිල ආනන්ද නාහිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් පිරිනමනු ලැබේ.

රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා කෘත්‍රිම ස්වසනය ලබා දෙන යන්ත්‍රය නිට්ටඹුව මහජන බැංකු ශාඛාව මඟින් ද, 2ච් ඡ්ඛ්ඩ්ර්‍ණ යන්ත්‍රය රුපියල් ලක්ෂ අනූවක පමණ වටිනා අතර එය ප්‍රදේශවාසී දානපති පරිත්‍යාගශීලින් , ව්‍යාපාරික පූජාව මූල්‍ය ආයතන,ආගමික සංවිධාන, පාසල්, කර්මාන්තශාලා සහ කෘතවේදී ජනතාවගේ සහායෙන් පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබෙන අතර දැඩි සත්කාර ඒකකය සඳහා රුපියල් ලක්ෂ 22ක වියදමින් ඇඳන් තුනක් ද ලබාදීමට පියවර ගෙන ඇත.

මේ අතර ඉතා මිල අධික වෛද්‍ය දැඩි නිරීක්ෂණ ඒකකයට උපකරණ රජය මගින් ලබාදීමට වෛද්‍ය අමාත්‍යතුමා කැමැත්ත පළකර ඇති බව ද ආනන්ද නාහිමියෝ පැවසූහ.

ජනතාව සුවපත් කිරීමේ අරමුණෙන් ඔවුන්ගේ යහපත සඳහා ගත සිත මෙහෙයවීම අගනා මහා පින්කමක් වනු නොඅනුමාන ය.