UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය බලපිටිය, වැලිතර මහා කප්පින වලව්ව සීමාමාලක විහාරස්ථ ‘මහා මංගල’ බද්ධ සීමාමාලකයේ දී ජුනි 15,16,17 දිනවල දී සිදු කෙරේ

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය ජුනි 15,16,17 දිනවල දී

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය බලපිටිය, වැලිතර මහා කප්පින වලව්ව සීමාමාලක විහාරස්ථ ‘මහා මංගල’ බද්ධ සීමාමාලකයේ දී ජුනි 15,16,17 දිනවල දී සිදු කෙරේ
 

 

 

 

 

 

 

 

 

 

****

සම්බුද්ධ ශාසනයේ ආයුෂය විනයයි

ශාසන භාරධාරී ධර්මවිනයධර චිරරාත්‍රඥ මහා ස්වාමිදරුවාණන් වහන්සේලා විසින් රක්ෂිත සුරක්ෂිත ගෝපිත සුගෝපිත කළ බැවින් ප්‍රපූජ්‍යත්වයට හා සුස්ථිරත්වයට පත් අප අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය හා මහෝත්සවය වෙනුවෙන් ආශිර්වාදය හා ප්‍රීතිප්‍රමෝද්‍යය පළමුවෙන් ම ප්‍රකාශ කොට සිටිම්හ.

සසර බිය දැක නිර්වාණය සාක්ෂාත් කරණු පිණිස ප්‍රවෘජ්‍යාවට පත් සාමණේරයන් වහන්සේලා ඒකී සාමණේර භාවයෙන් ඔසවා තැබීම හෙවත් උසස් තත්ත්වයට පත් කරලීම උපසම්පදාව මගින් සිදු කරනු ලබයි. සම්බුද්ධ ශාසනයේ ආයුෂය විනයයි. විනය පවතින තාක් කල් ශාසනයේ පැවැත්ම සුස්ථිර වන බව සංගීතිකාරක මහ රහතන් වහන්සේලාගේ අදහසයි.

එහෙයින් අභිනවයෙන් උපසම්පත්තියට පත් වන ආයුෂ්මතුන් වහන්සේලා විනය පිටකය මනාව අධ්‍යයනය කළ යුතු ය. විනය කර්ම, සංඝ කර්ම පුරාණ ශාසනික සම්ප්‍රදායානුකූලව පුරුදු පුහුණු විය යුතු ය. කුඩා අනුකුඩා ශික්ෂාපදයෙහි පවා බිය දකිමින් දිවිහිමියෙන් ආරක්ෂා කළ යුතු ය.

එවිට ඔබවහන්සේලා ලත් සුපරිශුද්ධ උපසම්පත්තිය දිවි ඇති තාක් ආරක්ෂා කර ගනිමින් ධාර්මික පැවිදි දිවියක් ගත කිරීමට හැකියාව ලැබෙනු ඇත.

‘සොධෙත්වා උපසම්පාදෙථ’ යනු බුද්ධ ආඥා හෙයින් එම නියමයන්ට අනුවත්, නිකායික කතිකාවතේ නියමයන්ට අනුවත් සෑම වර්ෂයක ම උපසම්පදා විනය කර්මය මහත් ශ්‍රද්ධා ගෞරව පෙරදැරිව සිදු කරනු ලබයි.

මෙම උතුම් විනය කර්මය සාර්ථක කර ගැනීම සඳහා උත්සුක වූ සැමදෙනා වහන්සේටත්, නිසිවයස් සම්පූර්ණව උගත මනා බණදහම් ප්‍රගුණ කොට වත්පිළිවෙත් සපුරා ඇති උපසම්පදාපේක්ෂකයන් වහන්සේලාට ද ලෝ සසුන් වැඩවඩන්නට ශක්තිය, ධෛර්ය හා චිරජීවනය ලැබේවායි ආශිංසනය කරම්හ,

****

මහා පින්කම් මාලාවක්

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් දෙවිස්සක් පමණ වූ පාර්ශ්ව අතරෙන් ප්‍රධානතම හා විශාලතම පාර්ශ්වය අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායයි. අප සිරි සද්ධම්මවංස මහා නිකායට ලක්දිව පුරා වෙහෙර විහාරස්ථාන 480 ක් පමණ ද, භික්ෂූන් වහන්සේලා 5000 පමණ ද අයත් වෙති.

2018 මාර්තු 10 වන දින බලපිටිය, වැලිතර මහා කප්පින වලව්ව සීමාමාලක මූලස්ථාන විහාරස්ථ ‘මහා මංගල’ බද්ධ සීමාමාලකයට රැස් වූ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ ‘සුධර්මා’ කාරක සංඝ සභාව මෙම වර්ෂයේ උපසම්පදා විනය කර්මය සඳහා 2018 ජුනි 15,16,හා 17 දින යොදා ගන්නා ලදී. ඒ අනුව ‘සුධර්මා’ කාරක සංඝ සභාවේ මෙහෙයවීම මත නිකායික බෙ.ව. කෝ මධ්‍යම ප්‍රාදේශීය සංඝ සභාවත්, ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂූ විද්‍යාලයත්, මහා කප්පින වලව්ව සීමාමාලක විහාරස්ථ දායක සභාවත් මෙහෙයුම් කමිටුවක් ලෙස එහි වගකීම භාර ගත්තේ ය. මෙම කටයුත්තේ දී වියදම් වන සියලු මුදල් සපයා දීමට නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, කතරගම ඓතිහාසික වැඩසිටිකන්ද රාජ මහා විහාරාධිපති ශාස්ත්‍රපති හීල්ලේ ඤාණානන්ද නා හිමියෝ ඉදිරිපත්වීම මෙහෙයුම් කමිටුවට මහත් අස්වැසිල්ලක් විය.

2018 ජුනි 15 දින පෙරවරු 9.30 ට උපසම්පදාපේක්ෂක සාමණේරයන් වහන්සේලා බලපිටිය තරුණ බෞද්ධ සංගම් ශාලාවේ සිට මූලස්ථාන විහාරය වෙත දර්ශනීය පෙරහරින් වැඩමවාගෙන ඒමට නියමිත ය. එදින දවාල දෙසිය නමක් පමණ මහා සංඝරත්නය වෙත දානය පූජා කිරීමට ද, සවස 2.30ට අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහනාහිමිපාණන් වහන්සේ හා අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් උපසම්පදා මහෝත්සව සභාව පැවැත්වීමට ද නියමිතව ඇත. එදින සවස 4.00 දෙසිය නමක් පමණ මහා සංඝරත්නය වෙත ගිලන්පස දානය පූජා කිරීමෙන් අනතුරුව සවස 5.00ට පමණ අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහනාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ නිකායික භික්ෂු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ‘මහා මංගල’ බද්ධ සීමාමාලකයේ දී සුපරිශුද්ධ උපසම්පදා විනය කර්මය ආරම්භ කරනු ලබයි.2018 ජුනි 16 දින ද, මහා සංඝරත්නය වෙත හීල දානය පිරිනමා, පෙර දිනයේ සේ ම පෙරහර පවත්වා, දාවල දානය පූජා කොට, සවස 2.30 ට ශාස්ත්‍රපති අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි සභාපති මහනාහිමිපාණන් වහන්සේ හා අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා සමාජ සවිබලගැන්වීම් හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමාගේ සහභාගීත්වයෙන් උපසම්පදා මහෝත්සව සභාව පැවැත්වීමට නියමිතව ඇත. 2018 ජුනි 17 දින ද, මහා සංඝරත්නය වෙත හීල දානය පිරිනමා, පෙර දිනයේ සේ ම පෙරහර පවත්වා, දාවල දානය පූජා කොට, සවස 2.30 ට අමරපුර මූලවංශික මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කොස්ගොඩ සරණංකර මහනාහිමිපාණන් වහන්සේ හා අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි ම හනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා තරුණ කටයුතු ව්‍යාපෘති හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ සහභාගීත්වයෙන් උපසම්පදා මහෝත්සව සභාව පැවැත්වීමට නියමිතව ඇත. එදින සවස 5.00 ට පමණ අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහනාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ නිකායික භික්ෂු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ‘මහා මංගල’ බද්ධ සීමාමාලකයේ දී සුපරිශුද්ධ උපසම්පදා විනය කර්මය ආරම්භ කරනු ලබයි.

2018 ජුනි 18 දින හීල දානය මහා සංඝරත්නය වෙත පූජා කිරීමෙන් සියලු කටයුතු අවසන් කෙරේ. මෙම දින තුනේ දී ම උපසම්පදාපේක්ෂකයන් වහන්සේලා සමඟ පැමිණෙන දෙමාපියන්, ඥාතීන්, දායක කාරකාදීන් ඇතුළු සියලු ගිහි පින්වතුන් දහස් ගණනක් වෙනුවෙන් උදෑසන, දවාල හා රාත්‍රී ආහාරපාන, දවස පුරා තේපැන් සංග්‍රහයන් ද සපයනු ලබයි.

උපසම්පදා විනය කර්මය හා මහෝත්සවය සාර්ථක කර ගැනීමට අවවාද අනුශාසනා ලබාදුන් අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහනාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අනුනාහිමිපාණන් වහන්සේලා ඇතුළු ‘සුධර්මා’ කාරක සංඝ සභාවට ද, බෙ.ව.කෝ. මධ්‍යම ප්‍රාදේශීය සංඝ සභාවට ද, ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයට ද, මූලස්ථාන විහාරස්ථ දායක සභාවට ද, විශේෂයෙන් මූල්‍ය අනුග්‍රහය දැක් වූ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති හීල්ලේ ඤාණානන්ද නාහිමියන්ට ද, පොදුවේ නිකායික නවක, මධ්‍යම, ස්ථවිර භික්ෂු මහා සංඝරත්නයට ද පුණ්‍යානුමෝදනා කරමි. එසේ ම රජයේ හා පෞද්ගලික අංශයේ ආයතන හා නිලධාරීන් සියලු දෙනාට ද පුණ්‍යානුමෝදනා කරමි.

****

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය

දකුණු සිරිලක වැලිතොට (බලපිටිය) මහකරාවේ ඤාණවිමලතිස්ස මාහිමිපාණන් වහන්සේගේ ආදිකර්තෘත්වයෙන් ක්‍රි. ව. 1803 දී ආරම්භ වූ අමරපුර භික්ෂු වංශය නිසා නා නා පළාත්වලින් ගම්නියම්ගම්වලින් ඇදී ආ සාධු ජනයා මහණ උපසම්පදා ලදින් අමරපුර නිකාය විහිදී පැතිරුණි.

අවුරුදු පනහක් පමණ අඛණ්ඩව පවත්වාගෙන ආ අමරපුර නිකාය ක්‍රි.ව. 1848 දී බලපිටිය මෝදර උදකුප්ඛේප සීමාමාලකයේ දී සිදු කරන ලද උපසම්පදා විනය කර්මයක දී හටගත් විනය ප්‍රශ්නයක් මත දෙකඩ විය. ලංකාගොඩ ශ්‍රී ධීරානන්ද තෙරුන් වහන්සේ ඇතුලු භික්ෂු පිරිසක් සීමා සංකරයක් සිදුවුණා යැයි කරුණු ගෙන හැර දැක් වූ අතර, මහකරාවේ විමලසාර තෙරුන් වහන්සේ ඇතුලු භික්ෂු පිරිසක් සංකරයක් සිදු නොවුණා යැයි කරුණු ගෙනහැර දැක්වීම නිසා මෙය ‘සීමාසංකර වාදය’ ලෙස ප්‍රචලිත විය.

මෙම දෙපිරිසෙන් ලංකාගොඩ ධීරානන්ද තෙරුන් වහන්සේගේ මතය පිළිගත් රන්දොඹේ ධම්මාලංකාර තෙරුන් වහන්සේ ප්‍රධාන භික්ෂු පිරිස ක්‍රි.ව. 1856 දී වැලිකන්දේ ශ්‍රී සුදර්ශනාරාමයට රැස්ව ලංකාගොඩ නාහිමියන්ගේ ආචාර්ය වූ කපුගම ධම්මක්ඛන්ධ තෙරුන් වහන්සේට බුරුම රජු විසින් පිරිනමා තිබුණු ‘සද්ධම්මවංසපාල රාජාධිරාජගුරු’ යන ගෞරව නාමයේ ‘සද්ධම්මවංස’ කොටස ගෙන එයට ‘සිරි’ යන්න මුලින් යොදා ‘සිරි සද්ධම්මවංස නිකාය’ යන නාමය තබා ‘සුධර්මා’ නමින් දසනමකගෙන් යුත් කාරක සංඝ සභාවක් ද පිහිටුවා, ක්‍රමානුකූලව කතිකාවත් ආදිය සකසා වෙනම නිකායක් ලෙස කටයුතු කළහ. අද ‘අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය’ යනුවෙන් හඳුවන්නේ මෙම භික්ෂු පිරිසයි. ඒ අනුව සිරි සද්ධම්මවංස මහා නිකායේ නියම ආරම්භක වර්ෂය ක්‍රි. ව. 1856 වර්ෂය යි.

1878 වර්ෂයේ දී ස්වේජින් සයාතෝ නම් මහාධම්ම රාජාධිරාජගුරු ජාගර මහා තෙරුන් වහන්සේ බුරුමයේ සිට ලක්දිවට වැඩම කොට වැලිතර මහා කප්පින වලව්වේ දී අමරපුර නිකායික මෙම භික්ෂු දෙපිරිස සමගි සම්පන්න කිරීමට කටයුතු කළත්, එය සාර්ථක නොවුණු බව උන්වහන්සේ ම සිය ‘ලංකාසාසන විසුද්ධිකථා’ නම් පාලි ග්‍රන්ථයේ සඳහන් කොට තිබේ. මෙම සද්ධම්මවංසික භික්ෂු පිරිසට උපසම්පදා විනය කර්ම සිදුකිරීම සඳහා වැලිතර මහා කප්පින වලව්වේ කළුහත් සැම්සන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්ෂ වාසල මුදලිතුමා සිය වලව්ව අසල මාදුනදියේ ක්‍රි.ව.1878 දී සීමාමාලකයක් කරවා, දානමානාදී සියලු පහසුකම් ද සැලසුවේ ය.

මෙම සීමාමාලකය ස්වේජින් සයාතෝ නම් ජාගර තෙරුන්ගේ මූලිකත්වයෙන් පිහිටු වූ නිසා එය ‘ස්වේජින් සීමාමාලකය’ නමින් හඳුන්වයි. ස්වේජින් යනු ජාගර තෙරුන් උපන් බුරුම දේශයේ ඇති ගමකි.

****

බෞද්ධ දර්ශනයේ පණිවුඩය ලෝකයට ගෙනයාම අගය කළ යුතුයි

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරනු ලබන්නේ ඉමහත් ගෞරවයෙනි.

වසර දෙසීය දහසයක දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ප්‍රධානතම නිකාය පාර්ශ්වය සිරි සද්ධම්මවංස මහා නිකායයි. මෙම මහා නිකාය 1848 වර්ෂයේ දී ඇතිවූ සීමාසංකර වාදයෙන් පසුව බෝධිසත්ව ගුණෝපේත ලංකාගොඩ සිරි ධීරානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදිකර්තෘත්වයෙන් ආරම්භ වූවකි.

වර්තමානයේ දී මෙම මහා නිකායට සම්බන්ධව භික්ෂූන් වහන්සේලා හාරදහසක් පමණ ජාතික, ආගමික , සාමාජික හා සංස්කෘතික කාර්යයන්හි නිරතව සිටිති. එසේම බෞද්ධ දර්ශනයේ පණිවුඩය නවීන ලෝකයට ගෙන යාමට සමත් ධර්මධර , විනයධර භික්ෂූන් වහන්සේලා බෝහෝ පිරිසක් මෙම නිකායට සම්බන්ධව කටයුතු කිරීම අගය කළ යුතු කරුණකි.

එම අභිමානවත් නිකාය මගින් සෑම වර්ෂයකම තම සඟ පරපුරේ හා සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදෙසා ප්‍රඥාවෙන් මෙන්ම ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ භික්ෂු සමූහයක් දායාද කිරීමේ අරමුණෙන් උපසම්පදා විනය කර්මය සිදුකරනු ලබයි. එයට සමගාමීව උපසම්පදා මහෝත්සවයක් ද සංවිධානය කරනු ලබයි. සාමණේර භික්ෂූන් වහන්සේ නමක් අධිශීල සංඛ්‍යාත උපසම්පත්තියෙහි පිහිටීමෙන් භික්ෂූත්වයේ පරිපූර්ණත්වයට පත්වෙයි. මේ නිසා උපසම්පදා විනය කර්මය උසස් ගණයේ ශාසනික මංගල්‍ය කරුණක් වෙයි.

මේ ශාසනික පුණ්‍ය මහෝත්සවයේ දී උපසම්පත්තියට පත්වෙන සියලුම භික්ෂූන් වහන්සේලාටත්, උන්වහන්සේලාට මාර්ගෝපදේශකත්වය සපයනු ලබන නිකායේ අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ අනුනායක, ලේඛකාධිකාරි නායක ස්වාමීන් වහන්සේලාටත් සුභාශිංසනය පුදකරමි.

 

අධි පොසොන් අමාවක පෝය


අධි පොසොන් අමාවක පෝය ජුනි 13 වනදා බදාදා පූර්ව භාග 4.35 ට ලබයි. 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.13 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජුනි 13 බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 20 බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]