Print this Article


ආනන්ද මහ රහතන් වහන්සේ

ආනන්ද මහ රහතන් වහන්සේ

ආනන්ද කුමරු බෝසතාණන් වහන්සේට නෑකමින් මලණු කෙනෙක් විය. මල්ල රට අනුපිය නම් නියම් ගමෙහි බුදුරජාණන් වහන්සේ වැඩවසන සමයෙහි ආනන්ද, භද්දිය, භගු, කිම්බල, දේවදත්ත, අනුරුද්ධ යන කුමාරවරු සහ උපාලි නම් කරනවෑමියා සමඟ බුදුන් වහන්සේ වෙත ගොස් පැවිදි වූහ.

ආනන්ද තෙරණුවෝ මන්තානිපුත්ත පුණ්ණ තෙරුන්ගෙන් බණ අසා නොබෝ දිනකින් සෝවාන් වූහ. බුදුරජාණන් වහන්සේ මහත් ලැදි කමින් ඇසුරු කළ ආනන්ද තෙරුන් වහන්සේ මෙහෙණ සසුන ඇරඹීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබා දුන්හ.

බුද්ධත්වයෙන් මුල් විසි වසෙහි භාග්‍යවතුන් වහන්සේට නාගසමාල, නාගික, උපවන, සාගත, සුනක්ඛත්ත, රාධ, මේඝිය සහ චුන්ද යන තෙරවරු කලින් කල උපස්ථාන කළහ. ස්ථිර නිසි උපස්ථායක තෙර නමක් නොවී ය. වයසින් පනස් වැන්නෙහි බුද්ධත්වයෙන් විසි වසෙහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ තමන් වහන්සේට ස්ථිර නිසි උපස්ථායකයකු වුවමනා බව සංඝයාට දැන් වූ සේක. සැරියුත් මුගලන් දෙනාම එක සිතින් බුදුන්වහන්සේට උපස්ථාන කිරීමට ඉදිරිපත් වූහ. භාග්‍යවතුන් වහන්සේ එය නො පිළිගත් සේක. ආනන්ද තෙරණුවෝ කිසිත් නො කියා වැඩ සිටියහ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සසර පෙරුම්දම් පුරා මහණ වූ ආනන්ද තෙරුන් වහන්සේ අග්‍ර උපස්ථායක තනතුරට පත් වූහ. ඒ කොන්දේසි අටක් මත ය. එය ආයාචනා වර සතර සහ ප්‍රතික්ෂේප වර සතර යනුවෙන් දෙ කොටසකි.

ඒ පොරොන්දු අට නම්, භාග්‍යවතුන් වහන්සේ ලත් අගනා සිවුරු තමනට නො දිය යුතු ය. උන්වහන්සේ ලත් අගනා භෝජන තමාට නො දිය යුතු ය. උන්වහන්සේ හා එක් ගෙහි තමනට වසන්නට නො දිය යුතු ය. උන්වහන්සේ නිමන්ත්‍රණ පිළිගෙන තමා හා නො වැඩිය යුතු ය. තමන් පිළිගන් නිමන්ත්‍රණයට භාග්‍යවතුන් වහන්සේත් වැඩිය යුතු ය. භාග්‍යවතුන් වහන්සේ දක්නට යමෙකු ආවොත් උන්වහන්සේ වෙත ඔහු කැඳවා ගෙනෙන්නට තමාට අවසර තිබිය යුතු ය. තමාට සැකයක් ඇති වූ කවර විටෙක වුවත් භාග්‍යවතුන් වහන්සේ දක්නට ඊමට අවසර විය යුතු ය. තමා නැති තැන දෙසූ හැම දහම් ම භාග්‍යවතුන් වහන්සේ තමාට වදාළ යුතු ය.’

එතැන් පටන් අනඳ තෙරණුවෝ සිහිල් උණුසුම් යන දෙ වැදෑරුම් දිය පිළියෙළ කිරීමෙන් ද, කුඩා මැදුම්’, ලොකු යන තුන් වගේ දැහැටි පිළිගැන්වීමෙන් ද, පා මිරිකීමෙන්, පිට මිරිකීමෙන්, ගඳකිළි පිරිවෙණ ඇමැදීමෙන් යන ආදි කුදු මහත් වුවමනා සැපයීමෙන් භාග්‍යවතුන් වහන්සේට උවටන් කරති. ඒ ඒ මොහොතෙහි කවර දැයක් භාග්‍යවතුන් වහන්සේට වුවමනා වුවත් එය සපයනු පිණිස නිතර උන්වහන්සේ වෙත ම හැසිරෙති. රාත්‍රියෙහි ම හදිසියෙන් භාග්‍යවතුන් වහන්සේ තමන් ඇමැතුවොත් පිළිවදන් දෙනු සඳහා නින්දට නො වැටී සිහියෙන් ඉඳිනු පිණිස පන්සල වටා ඇවිදිති. භාග්‍යවතුන් වහන්සේ ද ඒ තෙරුන් නො සිට හැම තැන වදාළ බණ ඒ තෙරුණට වදාළ සේක.

තෙරණුවෝ ද එය එක් වරක් ඇසූ පමණින් ම ධාරණය කර ගනිති. ඒ සියලු බුද්ධ දේශනාව සිතෙහි තැන්පත් කොට අනගිරුවන් සේ රැක ගන්නා ධර්ම භාණ්ඩාගාරික වූහ.

දිනෙක දෙව්දත්ගේ මෙහෙයුමෙන් නාලාගිරි ඇතා රජගහනුවර වීදියක වඩනා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට එවිණ. හේ ඉදිරියට හමුවන සියලු දේ, සුණු විසුණු කරෙමින් භාග්‍යවතුන් වහන්සේ දෙසට ම දිවී ය. අනඳ තෙරණුවෝ මෙය නො ඉවැසිය හැකි වූහ. ඇතු ළං වන විට තෙරණුවෝ ‘මේ ඇතා පළමු කොට මා මරා වා” යි කියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට පැන සිටියහ. “ආනන්දය, ඉවත්වන්න. ඉදිරියේ නො සිටින්න”යි භාග්‍යවතුන් වහන්සේ තුන් වරක් ම වදාළ නමුත් තෙරණුවෝ එ තැන ම සිටියහ.

එවිට භාග්‍යවතුන් වහන්සේ සෘද්ධි බලයෙන් තෙරුන් භික්ෂු පිරිස මැදට වෙන්නට සලසා ඉදිරියට වැඩ ඒ ඇතු දමනය කළ සේක. තෙරුන් මෙහි දී බුදුරදුනට දිවි පිදීමට සිටි සැටිය ගැන භික්ෂූන් අතර කතා ඇති වුණු බොහෝ වතාවල භාග්‍යවතුන් වහන්සේ මෙ වර පමණක් නොව පෙරත් මෙසේ ම තමන් වහන්සේ නමින් දිවි පුදා සිටි සැටි දක්වන සේක් චුල්ලහංස ජාතකය මහා හංස ජාතකය ආදිය වදාළ සේක.

එ හිමියෝ සිහි ඇත්තවුන් අතුරෙහි අග්‍රතම වූහ. බුදුරදුන් වදාළ දහම් ඒ වදාළ වචනවලින් ම කිය හැකි සේ වූ සිහි නුවණ ඇත්තෝ ඥාන ගති ඇත්තවුන් අතුරෙහිත් අග්‍රතම වූහ. බුදු වදන් ඉගැන්මෙහි, ඒ නැවැත නැවැත කීමෙහි, එය සිතේ දරා ගැන්මෙහි මහත් විර්යය ඇති වූහ. බුදුරජදුනට උවටන් කිරීමෙහි ද මහත් උත්සාහ ඇත්තෝ වූහ. එබැවින් සෘද්ධිමතුන් අතුරෙහි ද අග්‍රතම වූහ. අන් කිසි කෙනෙකුට කළ නො හැකි සේ රෑ දවල් මහත් ආදරයෙන් බුදුරදුනට උවටන් කරනුවෝ උපස්ථායකයන් අතුරෙහි ද අග්‍රතම වූහ. එ බැවින් පසු කලෙක භාග්‍යවතුන් වහන්සේ භික්ෂු පිරිසෙහි දී ඒ තෙරුන් බහුශ්‍රැතයන්, සිහි ඇත්තන්, ඥාන ගති ඇත්තන්, ධෛර්ය ඇත්තන්, උපස්ථායකයන් යන මේ හැම අතුරෙන් අග්‍රතම යැ’යි අග තැන්පත් කළ සේක.

බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ලෙස ආනන්ද තෙරුන් කටයුතු කළත් උන්වහන්සේට බුදුරදුන් ජීවමාන කාලයේ දී අරහත්වයට පත්වීමට නො හැකි වූහ. බුද්ධ පරිනිර්වාණයෙන් තෙ මසකට පසු පළමු ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා ආනන්ද තෙරුන් වහන්සේගේ අවශ්‍යතාවය දැඩි විය. ඒ උන්වහන්සේ පර්යාප්තිය පිළිබඳ බහුශ්‍රැතයකු බැවිනි. අර්හත්වයට නො පැමිණ සංගායනාවට යාම සුදුසු නොවේ යැයි සලකා ආනන්ද තෙරුන් වහන්සේ වීර්යය වඩා සව් කෙලෙසුන් නසා සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වූහ.