Print this Article


දළදා මාළිගාවෙන් විහාරස්ථාන සංවර්ධනයට මූල්‍යාධාර

දළදා මාළිගාවෙන් විහාරස්ථාන සංවර්ධනයට මූල්‍යාධාර

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව මගින් ක්‍රියාවට නංවනු ලබන ත්‍රස්තවාදී සමයෙහි විනාශයට පත් වූ මෙරට විහාරස්ථාන යළි නගා සිටුවීමේ වැඩපිළිවෙළ යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක මුදලක් ලබාදීමට පියවර ගැණිනි.

ඒ යටතේ එම දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 144 ක් සංවර්ධනය කෙරෙන අතර ඒ සඳහා වන මුදල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මඟින් බෙදා දෙනු ලැබේ.

මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මෙහෙයවීමෙන් ශ්‍රී දළදා මාළිගාවේ අරමුදලින් මෙය ක්‍රියාවට නංවනු ලැබේ.

මල්වතු පාර්ශ්වයේ අනු නායක දිඹුල්කුඹුරේ විමල ධම්ම අනු නා හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ ශ්‍රී උපාලි අනු නා හිමි යන්ගේ මූලිකත්වයෙන් ගෝමරන්කඩවල ශ්‍රී රන් පොකුණුගම රජමහා විහාරස්ථානයේ දී හා සේරුවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී එම වැඩපිළිවෙළ පසුගියදා ආරම්භ කෙරිණි. පසුගිය වසරේ දී මෙම වැඩපිළිවෙළ ආරම්භ කෙරුණු අතර ඒ අනුව වවුනියාව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 29 ක් සංවර්ධන සඳහා රුපියල් ලක්ෂ තුන්සියයකට වැඩි මුදලක් ලබා දුන් බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දී දිස්ත්‍රික්කය පුරා විහාරස්ථාන පිළිබඳව විධිමත් සමීක්ෂණයක් කළ බවත්, ඒ ඔස්සේ ලබා ගත් තොරතුරු අනුව මෙම සංවර්ධන මුදල් ලබා දෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ශ්‍රී දළදා මාළිගාව මගින් ක්‍රියාවට නංවන ව්‍යාපෘති අතරින් මෙය ඉතා දැවැන්ත ව්‍යාපෘතියක් බව ද මෙමගින් රට පුරා විශාල බෞද්ධ ප්‍රබෝධයක් අපේක්ෂා කෙරෙන බවත් දියවඩන නිළමේවරයා කීය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් එම්. එන්. එන්. ඒ. පුෂ්පකුමාර, සේරුවිල ප්‍රාදේශීය ලේකම් පී. ආර්. ජයරත්න, ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් චන්දන සමරකෝන්, ශ්‍රී දළදා මාළිගාවේ මහ ලේකම් සී. ඩබ්ලිව්. කරුණාරත්න, විදේශ බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ගාමිණී බණ්ඩාර මෙම ව්‍යාපෘතිය ප්‍රධාන සම්බන්ධීකාරක ජයම්පතී වැද්දාගල යන මහත්වරු ද ඒ සඳහා එක්විය.