Print this Article


ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනමේ අභයදාන පින්කම

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනමේ අභයදාන පින්කම

අතීත ගැමි සමාජයට ගව සම්පත මහඟු සම්පතක් ම විය. සී සාන්නට, කොළමඩින්නට, බර අදින්නට මතු නොව මහා කෙත්වතු ගෙවතු සරු සාර කරන්නට ද මේ සත්ත්වයාගෙන් ලැබුණු මෙහෙවර විසල් ය. විටෙක මහා ශක්තියක් වෙමින් පවුලක බර කරටගත් ගව දරුවා වයසට ගිය කල තමන්ට බරක් යැයි ගැමියෝ කිසිවිටෙකත් නොසිතූහ. ඇඟ තෙල් ගල්වා ආදරයෙන් රැක බලා ගත්හ.


අභයදාන පින්කමේ සුවිශේෂී අවස්ථා

ගත වෙර වීරියෙන් කරනා උදවු උපකාර තරමටම ආහාරයට පස්ගෝරස ලබා දෙමින් සෞඛ්‍යමත් ජීවිතයක් ලබා දෙන්නට නිර්ලෝභී වුණු ගවයා ආදරයෙන් රැක ගත්හ. එහෙත් එක්තරා දිනෙක කළගුණ නොදන්නා, පවට ලජ්ජා නොවූ මිනිසෙකුගේ දෑතින් මේ අහිංසක සතාගේ ගෙලට ආයුධය තැබිණි. එදා සිට ඇතැම් මිනිසුන් ගව මාංශයට හුරු වුණි. එදා සිට අට අනූවක් රෝගාබාධ මිනිස් සිරුරේ නිර්මාණය වුණි.

ධර්මානුකූල ජීවිතයකට හුරු වූ මිනිසාට නම් එය නුහුරු ය. මරණයට කැපවන සතුන් නිදහස් කර ගන්නට කාලය ද,ශ්‍රමය ද, ධනය ද වැය කරන්නේ ඒ නිසාවෙන් ය. ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනම ද උදාරතර සංකල්පයන්ගෙන් සුසැදී පදනමකි. ශ්‍රී බෝධිරාජ පදනම කිරි එළදෙනුන් පරිත්‍යාග කිරීමේ හා අභය දානමය වැඩසටහන ආරම්භ කළේ 2003 වසරේ දී ය.

ආරම්භයේ දී මරණයට කැපකළ ගවයන් එකා දෙන්නා බැගින් හෝ නිදහස් කරගන්නට දෑතේ වීරියෙන් දැහැමිව උපයා ගත් රුපියල් ශත වලින් හැකි පමණින් ඒ සද්කාර්යයට දායක වෙන්නට ගම්වැසියෝ ඇප කැප වූහ. අභය දුන් ගවයන් නිදැල්ල් හැරියේ ද නැත. ජීවිතය ගැට ගසාගන්නට රැකියාවක් නැති, අඩු ආදායම්ලාභී පවුල් සොයා ඔවුන්ට යම් පිහිටක් වෙමින් මේ සතුන් බෙදා දෙන ලදී.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ගවයා මිනිසාගේ මිතුරෙක් වන බව ය. අභය දානය දුන් ගවයන් අහිසංක පවුල් රැසක බර කරට ගනිමින් සැබෑ මිතුරන් ලෙස තම කාර්යභාරය අදටත් ඉටු කිරීම බොහෝ දෙනාගේ සිතට සතුට දනවන්නක් ම විය.

මරණ බියෙන් තැති ගත් මේ අහිංසක සතුන්ගේ බිය නැතිකොට අභය දෙන මේ අසිරිමත් පින්කම දුටු බොහෝ දෙනා ඒ වෙනුවෙන් වැඩි වැඩියෙන් ආධාර කරන්නට වූහ. ආධාර වැඩිවෙත් ම අභය දානය ලැබෙන සතුන්ගේ ප්‍රමාණය ද වැඩිවිය.

එහෙත් කුමක් හෝ බරපතල වරදක් එහි ඇති බව පදනමේ නිර්මාතෘ හිමියන්ට වැටහුණි. රුපියල් විසි දහසක් පමණ මිල කරන ගවයෙක් අභය දානය දී නිදහස් කර ගැනීමේ දි ගව මාංශ ව්‍යාපාරිකයන් තවත් රුපියල් දස දහසක් පමණ මිලකර වැඩි ආදායම් ලබන බවත් ඒ මුදල් වැයකර වැඩි වැඩියෙන් මස් පිණිස ගවයන් මිලදී ගන්නා බවත් උන්වහන්සේට අවබෝධ වුණි. අනෙක් පසින් මරණයට කැපවු ගවයන් කොපමණ නිදහස් කර ගත්ත ද ගවමස් සැපයුමෙහි අඩුවක් නොවන බව ද පෙනුණි. දවසකින් දෙකකින් මරණයට කැප කරන සතාගේ මරණය දවසකින් දෙකකින් ඉස්සරවන බව ද පෙනුණි. මේ නිසා ශී‍්‍ර බෝධිරාජ පදනම ගව පට්ටිවලින්ම ගවයන් නිදහස් කරගෙන අඩු ආදායම්ලාභීන් අතර බෙදාදීම සිදු කරයි.

සත්ත්ව කරුණාව පෙරදැරි කරගත් මේ සද්කාර්යයේ දි බෝධිරාජ පදනම ඉටු කරන්නට බලාපොරොත්තුවන අරමුණු බොහෝ ය. මරණයට ගෙන යන ගවයන්ට අභයදානය දී, හිංසාවක් පීඩාවක්, අසාධාරණයක් නොවන සේ ප්‍රයෝජනවත් කාර්යයක යෙදවීම මූලික අරමුණකි. එමෙන්ම ගව මාංශ අනුභව කිරීමෙන් ජනතාව මුදවා ගැනීම හා එමගින් නිරෝගී මිනිස් පරපුරක් බිහිකිරීම ද ප්‍රධාන ය.

කෘත්‍රිම පෝෂණ කාරක නිසා සමහර කිරිපිටි වර්ගවලින් මිනිස් සිරුරේ අනවශ්‍ය ශෛල වර්ධනය වීමත්, අනවශ්‍ය පෘෂ්ඨිමත් බවක් ඇතිවීමත් සිදුවේ. නිරෝගී පරපුරක් රෝගී කිරීමට සමත් මේ ආහාර පුරුදු අවම කර දියර කිරි භාවිතයට හුරු කරවීමත් තවත් අරමුණකි.

අනෙක් අතට කිරිපිටි සඳහා වසරකට වැයවන රුපියල් කෝටි තුන්දහසක තරම් විදේශ විනිමය රට තුළ ඉතිරි කරගනිමින් රටේ ආර්ථිකයට ශක්තියක් වීමත් තවත් උදාර අරමුණකි. සාමාන්‍යයෙන් ගණනය කරනවා නම් කිරිපිටි වෙනුවෙන් වසරකට වැය කරන මුදලින් මහා පරිමාණ ජලාශයක් නිම විය හැකි ය. ආර්ථික පරිහානිය ඇති කරන මෙවැනි අවස්ථා වළක්වා, මේ සද්කාර්යයන් පෙනෙන්නට, ඇසෙන්නට සලස්වා ජනතාව තුළ රටේ අනාගතය ගැන යහපත් ආකල්ප වර්ධනය කිරීම ද බලාපොරොත්තු වේ.

1985 තරම් මෑත කාලය වනතුරුම අපේ රටේ කල්කිරි ව්‍යාපාරය ඉතා දියුණුවක තිබුණි. සෑම ගමක නගරයකම පාහේ දියර කිරි මිලදී ගන්නා මධ්‍යස්ථාන තිබුණි. අනවශ්‍ය ලෙස පිටිකිරි ආනයනය කිරීම නිසා ජනතාව වෙතින් පෝෂ්‍යදායි දියර කිරි භාවිතය අඩු වු අතර එමඟින් ශරීර සෞඛ්‍යය පිරිහුණි. ආර්ථිකයට ද විශාල පාඩුවක් සිදුවුණි. අඩු ආදායම් ලාභී පවුල්වලට කිරි එළදෙනුන් පරිත්‍යාග කොට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමත් දියර කිරි භාවිතය හුරු පුරුදු කිරීමත් එමගින් ගව ඝාතනය අවම කිරීමත් බලාපොරොත්තු වේ. මෙම අභය දානමය පින්කම ඔස්සේ මේ වන විට කිරි එළදෙනුන් දස දහසක් පරිත්‍යාග කරන්නට හැකි වීම පිළිබඳ බෝධිරාජ පදනම සිහිපත් කරන්නේ අපමණ සතුටකිනි.

මේ සද් කාර්යයේ දී ජාති ආගම් භේද නොතැකීම ද වෙසෙස් ය. ත්‍රිකුණාමලය, යාපනය, කිලිනොච්චිය, දඹාන ආදි රට පුරා විවිධ ප්‍රදේශවල අඩු ආදායම් ලාභීන්ටද මේ වන විටත් කිරි දෙනුන් බෙදා දී තිබේ. ජීවිතාදනය දී නිදහස් කරගන්නා ගවයන් භාරකාරත්වයකට යටත් කිරීම ද සිදුවන්නේ වගකීමෙනි. පසු විපරම් ද සහිත ය. බාර ගන්නා සතුන් මස් පිණිස විකිණීම, අයාලේ හැරීම, හිංසා පීඩා කිරීම තහනම් ය. පොරොන්දු පත්‍රය ලබා දෙන්නේ ග්‍රාම නිලධාරී, ගමේ විහාරාධිපති ස්වාමින් වහන්සේ සහ පොලිස් නිලධාරි මහතෙකු ඉදිරිපිටය.

ලංකාව ඇතුළු සිංගප්පූරුව , මැලේසියාව ආදි රටවල දායකයින්ගෙන් මේ සඳහා වෙසෙස් අනුග්‍රහයක් ලැබේ. තායිවානයේ බෞද්ධ රූපවාහිනි නාලිකාවක් වන ඹ්ඪටඥ ඊඍ ආයතනය, හයිතවූ නායක හාමුදුරුවෝ ඇතුළු බෞද්ධ පින්වතුන් ද නොමදව දායකත්වය ලබා දේ. මෛත්‍රි සිතිවිලි පෙරදැරිව කරන මේ සද්කාර්ය තවදුරටත් ශක්තිමත් ලෙස ඉදිරියට පවත්වාගෙන යාම ශ්‍රී බෝධිරාජ පදනමේ අරමුණයි.

ඕමල්පේ සෝභිත නා හිමියන් සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි.