Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය: සිංහල බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියා වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සමඟ මෙම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා විදේශීය නාමය අතහැර ආර්ය සිංහල නාමයක් භාවිත කරමින්, බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා ගමින් ගමට සංචාරය කළේ ය. එක්තරා නගරයක් මෙතුමාට උපහාර පිණිස ඒ නමින් ව්‍යවහාරයට පත්කොට ඇත. මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයා කවු ද?

පිළිතුර - වලිසිංහ හරිස්චන්ද්‍රතුමා, ඔහුට ජාතියේ උපහාරය පිණිස අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානය නම් කොට ඇත.

ප්‍රශ්නය: ක්‍රි.පූ. තුන්වන සියවසට අයත් සාංචි හා භාරුත් කැටයම්වල සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ නිිරූපණය කර ඇත්තේ සංකේත භාවිත කරමිනි. ඒ සඳහා කලාකරුවන් යොදා ගත් සංකේත කවරේදැ’යි පැහැදිලි කරන්න.

පිළිතුර - සිද්ධාර්ථ ගෞතම බුදුජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් ශ්‍රාවක පිරිස අතර දොම්නස් සිතිවිලි ජනිත වීම නිසා උන්වහන්සේ නියෝජනය වීම සඳහා සංකේත භාවිත විය. දාගැබ් වහන්සේ හෙවත් චෛත්‍ය, බෝධීන් වහන්සේ සහ පිළිම වහන්සේ යන අංග තුන සංකේත වශයෙන් භාවිත කළහ.

ප්‍රශ්නය: බුද්ධ චරිතයෙහි එන ඉතාමත් සංවේදී අවස්ථාවකි. මේ අවස්ථාව පැහැදිලි කරන්න. බුදුරජාණන් වහන්සේ විසින් මෙම ප්‍රකාශ කවුරුන් උදෙසා කරන ලද්දක් ද?

ප්‍රකාශනය – අග්නිවෙස්න, මට මෙසේ අදහස් විය. අතීතයෙහි මහණ බමුණන් විසින් විඳින ලද තියුණු කටුක ඖපක්‍රමික දුකක් වේදනාවක් වී නම්, මේ දුක ම ඊට වඩා බරපතල හා අනාගතයෙහි මහණ බමුණන් විසින් විඳිනු ලබන ඖපක්‍රමික තියුණු කටුක යම් දුකක් වෙයි නම්, මේ දුක ම ඊට වඩා බරපතල ය. වර්තමානයෙහි මහණ බමුණන් විඳින ඖපක්‍රමික තියුණු කටුක දුකක් වෙයි නම් , මේ දුක ඊට වඩා බරපතල ය.

පිළිතුර - වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වූ දුෂ්කර ක්‍රියාවෙහි දුක් වේදනාවල තියුණු කටුක බව භාග්‍යවතුන්වහන්සේ උන්වහන්සේගේ ම වචන වලින් සව්වනට ප්‍රකාශකොට ඇති අයුරුයි මේ.

ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ ශක්‍ර දේවේන්ද්‍රයා වීමට කළ පින්දහම් හා ඔහුගේ ශක්‍රයාගේ පෞද්ගලික තොරතුරු පිළිබඳ සටහන් කරන්න.

පිළිතුර- සක්දෙව් පදවිය ලැබීමට පළමු මිනිස් බව ලැබූ ඔහු සප්ත ව්‍රත සමාදන් වීමෙන් මෙම පදවිය ලබාගත් බව සක්ක සංයුත්තයේ එන සූත්‍රයක සඳහන් වෙයි. ඒ අනුව සප්ත ව්‍රත පද මෙසේ ය. දිවි හිමියෙන් දෙමාපියන් පෝෂණය කිරීම, දිවි හිමියෙන් කුල දෙටුවන් පිදීම, දිවි හිමියෙන් මිහිරි වදන් කීම, දිවි හිමියෙන් කේළාම් බස් නොකීම, දිවි හිමියෙන් ත්‍යාගශීලී බවෙන් යුතු වීම, දිවි හිමියෙන් සත්‍ය ගරුක වීම, දිවි හිමියෙන් ක්‍රෝධ නොකරන්නෙකු වීම යනුවෙනි.

තව ද මෙම සූත්‍රයෙහි ම එන පරිදි දිනක් මහාලි ලිච්ඡවි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ සක්දෙව්රජ දුටු සේක්දැ’යි ඇසී ය. එවිට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙමින් මහාලි, මම ශක්‍රයා ද දිටිමි. ශක්‍රයකු වීමට නිසි දහම් ද දනිමිය මෙසේ වදාළහ.

සක්දෙව් රජ පෙර මිනිස් වූයේ මූලිකව දන්දුන් බැවින් ද නුවරක් පාසා දන්සැල් දුන් බැවින් ද පුරින්දන නම් විය. සකසා දන් දුන් බැවින් සක්ක යැ’යි කියනු ලැබේ. අවස්ථා හෙවත් නිවාස දන් දුන් බැවින් වාසව යැ’යි ද, අරුත් දහසක් මොහොතක සිතන බැවින් සහස්සඛ යැ’යි ද කියනු ලැබේ. ශක්‍ර භාර්යාව සූජා නම් අසුර කන්‍යාවකි. තව්තිසා දෙවියනට ආධිපත්‍ය දරන බැවින් දෙවාති නමින් හඳුන්වනු ලැබේ ( මහාලීසත්තවත පද සූත්‍ර) සංනි

ප්‍රශ්නය: බුදුන් වහන්සේගේ ශරීරාලංකාර දැක උන්වහන්සේ වෙතින් නෙත් ඉවතට ගැනීම බලවත් දුකක් සේ සැලකූ ‘වක්කලී’ තෙරුන් වහන්සේට වදාළේ තම සිරුර දෙස නොව තම ධර්මය දෙස බැලිය යුතු බව යි. ‘යො ධම්මං පස්සති සො මං පස්සති’ යමෙක් ධර්මය දකීද, හේ මා දකී. මේ අදහස ඇතුළත් දේශනාවක් පොදු ශ්‍රාවක හමුවෙහි දී බුදුන් වහන්සේ වදාළහ. එබඳු අවස්ථාවක් සූත්‍රාගත දේශනා මඟින් සනාථ කරන්න.

පිළිතුර - ඉති වුත්කපාලි පංචම වග්ග සංසාටිකණ්න සූත්‍ර පාඨයකට අනුව ’මහණෙනි, යම් භික්ෂුවක් මාගේ සඟල සිවුරු කොන් අල්ලාගෙන මා පසු පස පියවරක් පාසා එන නමුත් අධික ලෝභීව කාමයන් හි තද ඇලුම් ඇතිව විපරිත සිත් ඇති ව දූෂිත චිත්ත සංකල්පනාවෙන් යුතු ව සිහි මුළාව සම්‍යග් ප්‍රඥා විරහිතව සිතෙහි සමාධියක් නැතිව සිත වික්ෂිප්තව ඉන්ද්‍රිය සංවර නැතිව පසුවන්නේ නම්, ඔහු මට බොහෝ ඈතින් සිටින්නෙකි. මම ද ඔහුට ඈත්ව සිටින්නෙමි. ඊට හේතුව ඔහු ධර්මය නො දැකීම යි. ධර්මය නොදක්නේ මා නො දකි යි. වක්කලී හිමියන්ට දේශනා කළ ධර්මය පොදු දේශනාවලදී ද බුදුන් වහන්සේ අවධාරණය කළ සේක.