Print this Article


අපි භාවනා කරමු - 08: භේද නැති අවසාන උරුමය

භේද නැති අවසාන උරුමය

බොහෝ පිරිසක් රූපයට ලොල් වෙලා ජීවත විනාශ කර ගන්නවා. බුදු පියාණන් වහන්සේ රූපයේ ආදීනව බොහොම හොඳින් වදාළා. ලස්සනයි කියන රූපය ටික දිනකින් වෙනස් වෙලා යනවා.

රූප නන්දා කිසිදාක බණ අසන්න එන්නේ නැහැ. බුදුන් වහන්සේ රූපයේ ආදීනව, අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වදාරනවා. ඒ නිසා ඒ රූබර තැනැත්තිය එයට කැමැති නැහැ. එහෙත් ඇය එක්තරා දිනක බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවකට සහභාගි වුණා. එහි දී බුදුන් වහන්සේ ඇයටත් වඩා රූමත් දිව්‍යාංගනාවක් බුද්ධ අධිෂ්ඨානයෙන් මවා, බුදුන් වහන්සේට පවන් සලන්න සැලැස්සුවා. රූප නන්දා තමාටත් වඩා සොඳුරු කාන්තාවක් බුදුන් වහන්සේට පවන් සලනවා යැ’යි විමතියෙන් ම බලාගෙන ම සිටියා. නමුත්, ඒ රූපය මොහොතෙන් මොහොත වයසට යනවා, කෙස් ටික පැසෙනවා, කුදු වෙනවා, ජරා ජීර්ණව බිමට පතිත වුණා. රූපයෙන් වල්මත් ව සිටි රූප නන්දාට මගේ සිරුර ද මෙලෙස ම විනාශයට පත් වන බව අවබෝධ වුණා. අවසානයේ ගත යුතු කිසිවක් නැති බව ඇයට වැටහුණා. අනිත්‍ය , දුක්ඛ, අනාත්ම, ත්‍රිලක්ෂණය හොඳින් වැටහුණා. ඇය බුද්ධ ශාසනයේ පැවිදි රහත් භාවයට පත් ව රහත් මෙහෙණින් වහන්සේ නමක් වූවා.

එසේනම්, ශරීර ආදීනව බලා කොයි කාට වුණත් රහත් වීම අපහසු නැහැ. ශරීරයේ ආදීනව, ශරීරයේ දොස් ම දැකිය යුතු යි. මෙහි ගත යුතු කිසිවක් නැහැ. රන් , රිදී, මුතු, මැණික්, කහවුණු නොවෙන බවත් කෙස්, ලොම්, නිය , දත් , සම්, මස් වලින් සැකසී පවතින බව ත් සිතා ලොවුතුරු බුදු දහමට අනුව ම කටයුතු කළ යුතු යි.

එසේනම්, මෘත සිරුරේ පස්වන සීවතිකය අපි මෙනෙහි කරමු. මෘත ශරීරයේ නහරත් එහෙන් මෙහෙන් ගැලවිලා හයවන අවස්ථාව දිසා, අනු දිසාවල විසුරුණු ඇට කැබලි පවතිනවා. මෙලෙස මෘත ශරීරයේ විවිධ අවස්ථාවන් දෙස බලා තම සිරුරේ ද ඇත්තේ එබඳු ස්වභාවයක් බව සිතන්න. අන්‍යයන්ගේ සිරුරු ද මේ තත්ත්වයට පත්වන බව සිතන්න. එවිට භාවනා යෝගියාට කය නිසරු බව, සත්ත්වයෙක් , පුද්ගලයෙක් යැ’යි ගත යුතු කිසිවක් නොමැති බව, හොඳට වැටහෙනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ වැටහෙනවා. තණ්හා, දිට්ඨි, මිශ්‍රිත කල්පනා ගන්නේ නැහැ. ආත්ම වශයෙන් කිසිවක් ගන්නේ නැහැ. අනාත්ම සංඥා වැටහී යයි. හොඳට ඇඳ පැළඳ, යාන වාහන වල ගියා, හොඳින් කතා බස් කළා. දැන් ඒ තැනැත්තා ඇට කටු ගොඩක්. එය දෙස නුවණින් බලා මා ද ඒ තත්ත්වයට පත් වන්නේ ය. අන් සත්ත්වයන් ද මේ ඇට කටු ගොඩ මෙන් වන්නේ ය. යනුවෙන් හොඳ සිහි නුවණින් කල්පනා කර මෙනෙහි කරන්න. එය බොහොම වැදගත් පාඩමක්.

නිර්වාණය හැර අනෙක් සියලු ම දේ විනාශයට පත් වනවා. ගස් , ගල්, පර්වත , ඉර, හඳ, තාරකා සියල්ල ම විනාශයට පත් වෙයි. එයටත් වඩා ශරීරය වෙනස් වීම භයානක යි. ගඳ ගහනවා. ඕජස් ගලනවා. නහය වසාගෙන යන්නට වෙනවා. මේ ගැන හොඳින් දැන තේරුම් ගෙන ජීවිතයේ තිබෙන භයානකකම, ජීවිතයේ තිබෙන අස්ථීර බව වටහා ගැනීම වටියි. මෘත ශරීරයක් දුටුවිටත් මේ ටිකමයි සිතිය යුත්තේ. එවිට මෘත ශරීරයේ අස්ථීර බව මෙන්ම, තමාගේ ශරීරයෙත් අස්ථීර බව වටහා ගන්න හොඳම ක්‍රමයක්. එසේනම්, ලොවේ කිසිවක් ස්ථීර යැ’යි නිගමනය කරන්නට බැහැ.

නමුත් මරණ සතිය සහ සීවතික භාවනාව දෙකක් . ජීවිතය අනියත යි. මරණය නියත යි යනුවෙන් සිතන්නේ මරණ සතිය යි. මෘත ශරීරයේ ආදීනව දැක තමා ද ඒ තත්ත්වයට පත්වන බව සිතීම සීවතික ය යි. ඒ සඳහා සොහොනට ම පිවිසිය යුතු යි.

සොහොනට ගිය පසුයි, මේ භාවනා කර්මස්ථානය ඉගෙන ගෙන ආපස්සට පැමිණිය යුත්තේ. ධූතාංගයකුත් තිබෙනවා සොහොනේ වාසය කිරීම. එය බොහොම නිර්භීත භික්ෂුවකට කළහැකි දෙයක්. එය වටිනා විිශාල පිනක් සිදුවන ධූතාංගයක්. උත්සාහය දියුණු වී තණ්හා, තරහා ආදී පව් සේදී යනවා.

හත්වන සීවතිකය සොහොනේ සුදු පාට ඇට කටු තැන තැන විහිදී පවතියි. රෝදයක හැඩයට ඇට කටු පවතියි. අටවන සීවතිකය තැනින් තැන ගොඩ ගැසුණු අවුරුදු බොහෝ ගණනක් ඉක්ම ගිය ඇට කැබලි සහිත සොහොනේ දමන ලද මෘත ශරීරය, නමුත් එය ඇට කටු පමණ යි. නවවන සීවතිකය ඇට කටු කුඩුවී යන ආකාරය යි.

මනුස්සයෙක් ජීවත් වුණා. අවසානයේ ඉතිරිවුණු ඇට කටුත් කුඩු වී යනවා. මේ අවස්ථාවලදී අනිත්‍ය , දුක්ඛ, අනාත්ම හොඳින් ම පැහැදිලි යි. නමුත් ආචාර්යයන් වහන්සේ ගේ උපදෙස් අනුව ම මේ භාවනාව කළ යුතු යි.

මෘත දේහ අද සොහොනේ මිහිදන් කරන නිසා, ආදාහනාගාරයේ දවන නිසා, මේවා සොයන්න ටිකක් අපහසු යි. පුරාතනයේ නම් මෘත ශරීරය සොහොනට ගෙන විත් දමයි. යක්ෂ, පේත කොට්ඨාශ ඒවාට අරක්ගෙන සිටියි. මිනී මස් කන සතුන් නිබඳව ම එහි වාසය කරයි. අමු සොහොන නම් වූ මෙය එතරම් ම දරුණු යි.

එසේනම්, සීවතික පිළිබඳ වැටහීමක් ඇති කරගෙන බොහොම හොඳින් අවබෝධයක් ඇතිකරගෙන කටයුතු කළ යුතු යි. දැන් බලන්න, කෙනෙක් මිය ගිය විට මෘත ශරීරය සොහොනට දැමූ විට, එතැන් සිට දිනෙන් දින ම මෘත ශරීරය වෙනස් වුණා. අවසානයේ දිරා ගිය ඇට කටු ද කුඩු වී ‘ශූන්‍ය’ තත්ත්වයට වැටුණා. එය හිස් දෙයක් වුණා. කෝටිපතියාටත් , හිඟන මනුස්සයාටත් ඇති වන්නේ මේ තත්ත්වය යි. එය හොඳින් වටහා ගෙන නිවන් මඟට බැස නිර්වාණය සාක්ෂාත් කර ගන්න.