Print this Article


කාමයන්ගේ ස්වභාවය නිවැරැදිව තේරුම් ගන්න

කාමයන්ගේ ස්වභාවය නිවැරැදිව තේරුම් ගන්න

"ගිහි ජීවිතය ගත කිරීමේ දී කාම වස්තූන් නිසි විදියට පරිහරණය කරලා දුකක්, කරදරයක්, හිරිහැරයක් නැතිව ජීවත් වෙලා ඒවායේ යථා තත්ත්වය තේරුම් ගන්න ඕනෑ."

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

කාමං කාය මානස්ස
තස්ස චේතං සමිජ්ඣති
අද්ධා පීති මනෝ හෝති
ලද්ධා මච්චො යදිච්ඡතී

(ඛු. නි. සුත්ත නිපාතය පිටු 242 ගාථාව 770)

කාරුණික පින්වතුනි,

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් බුදුසරණ පාඨක පින්වතුන්ට ප්‍රදානය සඳහා යි මේ උත්සාහය.

මේ දහම ඛුද්දක නිකායට අයත් පෞරාණික ධර්ම ග්‍රන්ථයක් වන සුත්ත නිපාතය කියන ධර්ම ග්‍රන්ථයටයි අයිති වන්නේ. සුත්ත නිපාතයේ වර්ග 5ක් සඳහන් වෙනවා. ඒ වර්ග පහේ අඨ්ඨක වග්ගය කියන පෞරාණික ගාථා තිබෙන, බුද්ධ කාලයේ දී පවා භික්ෂූන් වහන්සේලා කට පාඩම් කර ගෙන, නිතර නිතර සජ්ඣායනා කළ අඨ්ඨක වග්ගයට අයිති කාම සූත්‍රයයි, අද මාතෘකා පාඨය වශයෙන් තබා ගත්තේ.

කාම සූත්‍රය කියන කොටම අපට සමහර විට වෙනත් අදහස් සංකල්පනා ඇති වෙන්න පුළුවනි. නමුත් මෙහි දී පඤ්චකාම සම්පත්තිය නිසා ඇතිවන ආස්වාදය, ආදීනව හා ඒවා නිස්සරණය තුළින් ඇති වන සැනසිල්ල තමයි මේ කාම සූත්‍රය තුළින් පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන්නේ. මුලින් ම කාමයන්ගේ තිබෙන ආස්වාදය, ආදීනව තේරුම් ගන්න ඕනෑ. කාමයන්ගේ හැටි තේරුම් ගත්තා ම ආස්වාදය තේරුම් ගත් අයට කාමාදීනව දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ ආස්වාද ජනක කාමයන් ගෙන් වෙන්නේ ඒ කාම වස්තූන් නැතිවෙලා යනකොට ඇතිවන ආදීනව මොනවාද? කියලා තේරුම් ගන්න පුළුවන් වීමයි. ඊට පස්සේ ඒ ආදීනවයන් තේරුම් ගත්තා ම අපට මේ කාම වස්තූන් ගේ නිස්සරණයත්, නැතිවීමත් ඇති කර ගෙන නිර්වාණගාමී ප්‍රතිපදාවට බහින්නට ඒ කාම වස්තූන් පිළිබඳව දැන ඉගෙන ගැනීම බොහෝකොට ප්‍රයෝජනවත් වෙනවා. මේ කාම සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට හේතු වූ කාරණය පිළිබඳවත් අපි මුලින් දැන ගෙන තිබීම ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පහසුවක් වෙනවා.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා කාලයේ දී එක්තරා දුගී බ්‍රාහ්මණයෙක් හිටියා. මේ දුගී බමුණා කෘෂිකර්මය කරගෙන තමයි ජීවත් වුණේ. කුඹුර සී සාන දවස්වල, වපුරන දවසේ බුදුරජාණන් වහන්සේ විවේක තියෙන වෙලාවේ දී ගොවිතැන් කරන ස්ථානයට වඩිනවා. ඉතින් මඩ තවරාගෙන, දාඩිය දාගෙන බොහෝ දුක් සේ මේ ගොවියා ඉන්න ස්ථානයට බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම ගොවියාට බොහොම සතුටක්. මේ තරම් ශ්‍රේෂ්ඨ උතුමෙක් මා වැඩ කරන තැනට වැඩියා කියලා. බොහෝ සන්තෝෂයට පත්වෙලා උන්වහන්සේට වැඳලා, උන්වහන්සේ සමඟ සාකච්ඡා කරනවා. ඔහු කල්පනා කරගෙන හිටියා මේ කුඹුරේ අස්වැන්න ගත්තාට පස්සේ බුදුරජාණන් වහන්සේටත් දානයක් දෙන්න ඕනෑ කියලා. ඒ විදියට කල්ගත වන අතරේ අස්වනු නෙළන්න තියෙන කලින් දවසේදීත් ගොවියා කුඹුරට ඇවිල්ලා හෙට අස්වනු නෙළා ගන්න තියෙනවා කියලා බොහොම සතුටින් හිටියා. නමුත් බලාපොරොත්තු නො වුණු විදියට එදා රාත්‍රියේ මහා වර්ෂාවක් ඇදහැළුණා. අචිරවති නදිය දෙගොඩ තලා ගියා. ඒ මහා ජලකඳට අර කුඹුර සම්පූර්ණයෙන් ම විනාශ වෙලා ගියා. අස්වනු නෙළාගන්න තිබුණ කුඹුර විනාශ වීම නිසා ගොවියාට මහා ලොකු ඉවසා ගන්න බැරි දුකක්. කනගාටුවක් ඇති වුණා.

ඉතින් ගොවියා ගෙදරට ගිහින් තමන්ගේ කාමරයට වැදිලා බොහොම දුකෙන් කනගාටුවෙන්, දොම්නසින් හිටියා. බුදුරජාණන් වහන්සේ මේ කාරණය බුදු නුවණින් දැක්කා. උන්වහන්සේ ගොවියාගේ ගෙදරට වැඩම කොට කතා කළා. ඒ දුගී් ගොවියා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආසනයක් පනවා දුන්නා. තමනුත් එකත් පසෙක වාඩි වුණා. ‘මොකද අද ඔබ දොම්නසින් වගේ ඉන්නේ’ බුදුරජාණන් වහන්සේ විමසුවා.

උන්වහන්සේ ඒ ගැන දැනගෙන හිටියත් කතාවට මග පාදා ගැනීම සඳහා ඒ විචාරීමත් සිද්ධ කළා. ගොවි මහත්මයා කියනවා. ස්වාමීනි, ඔබ වහන්සේ මගේ මේ කුඹුරෙ සී සාන කොටත් වැඩියා. වී වපුරන දවසෙත් වැඩියා. ඉතින් වරින් වර ඔබ වහන්සේ වැඩම කොට කතා බස් කරමින් අපි දෙන්නා බොහොම සමගියෙන් හිටියේ. මගෙ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. කුඹුරේ ගොයම් කපා පාගාගෙන ඔබ වහන්සේට ලොකු පූජාවක් කරන්න. දානයක් දෙන්න, ඒත් අස්වැන්න කපා පාගා ගන්නවා කියලා හිටිය දවසේ දී මහා වර්ෂාවක් ඇදහැලිලා මගේ ගොවිතැනේ සියලු ම අස්වැන්න විනාශ වෙලා ගියා. තමන් ගේ හිතට ඇතිවූ දුක බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා.

බුදුරජාණන් වහන්සේ ගොවිමහත්මයාට මතක් කරලා දෙනවා ඔබ දැන් බොහොම ආශාවෙන් කල්පනාවෙන් හිටියා මට මේ අස්වැන්න නෙළාගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන්. සතුටක් ලබන්න පුළුවන් කියලා. ඔබට ඒ ලැබෙන්න තිබිච්ච දේ ඔබගෙන් ගිලිහී ගියා. මේ නැතිවෙච්ච දේ නිසා තමයි මේ දුක් ඇති වෙලා තියෙන්නෙ. ඔබ එය තේරුම් අරගෙන තිබුණේ නෑ. තේරුම් අරගෙන තිබුණා නම් මේ කාම වස්තූන්ගේ ස්වභාවය ගැන ඔබට මෙහෙම දුකට පත් වෙන්න සිද්ධ වෙන්නෙ නැහැ කියලා දේශනා කළා.

කාම වස්තූන්ගේ තිබෙන ප්‍රභේදය තමයි වස්තුකාම, ක්ලේශකාම වශයෙන් බෙදීම. වස්තුකාම තමයි අර රූපය, ඇහැට රූපය දැකීම. කනට ශබ්දය ඇසීම. ඒවා වස්තුකාම වශයෙන් ගොදුරු වෙනවා. නමුත් වස්තුකාම වශයෙන් ඇතිවෙච්ච දේ ක්ලේශකාම වශයෙන් ඒවා පිළිබඳව ඡන්ද රාග, සංකල්ප නන්දි ස්නේහ. පරිළාහ. මුච්ඡා. අජ්ඣෝසාන. යෝග. ඕඝ. උපාදාන. නීවරණ. තණ්හා කියන මේ දහතුන් ආකාරයට මේ කාම වස්තූන් පිළිබඳව ක්ලේශකාම වශයෙන් බැඳීම තමයි අපට මේ සසර භයානක වීමට හේතු වන්නේ. එයින් ඡන්ද රාගය කියන්නේ මේ කාම වස්තූන් පිළිබඳව කැමැත්ත ඇති කර ගැනීමයි. ඒවත් ලැබෙන්නෙ කැමැත්ත තියෙන කොට. කාම වස්තූන් පිළිබඳව කැමැත්ත ඇතිකර ගත්තාම, ඒ තුළින් ආස්වාදයක් ලැබෙනවා. ඒ පිළිබඳව රාගය ඇතිකරගෙන, ඒ තුළින් ඇල්ම ඇති කරගෙන, ආස්වාදයක් විඳිනවා.

ඒ වගේ ම සංකප්ප වශයෙන් කල්පනා කර කර වස්තුව මේ විදියට පි‍්‍රයයි, මනාපයි, කියලා ඒ පිළිබඳව කල්පනා ඇති කර ගන්නවා. ඒ වස්තුව තමන්ට ලැබෙන කොට නන්දි වශයෙන් සතුටක් සිත තුළ ඇති කර ගන්නවා. ඒ ළඟට ස්නේහය. ඒ පිළිබඳව බැඳීම ඇති කර ගන්නවා. ඒ වගේ ම කාම වස්තූන් පිළිබඳව දැවිල්ල පරිළාහය ඇති කර ගන්නවා. ඒ කාම වස්තූන් නිසා පරිළාහය (දැවීම) ඇති කරගෙන සමහර වෙලාවට ඒ වස්තුව වෙන කෙනෙකුට අයත් වෙනවා දකින්නට කැමැති නැති නිසා පරිළාහය ඇති කර ගන්නවා. ඊ ළඟට එන මුච්ඡාව කියලා කියන්නේ මුසපත් භාවය. කාම වස්තූන් නිසා ම තමා මුළාවට පත්වෙලා කරන්නේ මොනවාද? කියන්නේ මොනවාද? කියලා නො දන්නා තත්ත්වයට ක්ලේශකාම වශයෙන් දියුණුවට පත්වෙනවා. ඊළඟට අජ්ඣෝසාන වශයෙන් එහි ඇතුළට ම, පතුළට ම ගිලා බැහැලා කාම වස්තුව පිළිබඳව බොහොම ගිජුව, ආශාවෛන් එක්වීමට පටන් ගන්නවා.

ඕඝය කියා කියන්නේ එය ආක්‍රමණය කිරීමයි. ඒ කාම වස්තුව වෙනත් කෙනෙකුට කිසි ම ක්‍රමයකින් අයිති වෙනවාට කැමති නැතිව තමන්ට ම විතරයි කියලා ආක්‍රමණයක් කර ගන්නවා. උපාදාන වශයෙන් තදින් අල්ලා ගැනීම කරනවා. නීවරණ වශයෙන් මුළාවට පත්වෙනවා. ඊළඟට තණ්හා වශයෙන් බැඳෙනවා. කෙත් වතු පිළිබඳව අපි ඇලෙනවා. ධාන්‍යාදිය පළිබඳව අපි ඇලෙනවා. දූ දරුවන්, දැසි දස්සන්, ස්ත්‍රීන්, පුරුෂයන් පිළිබඳව එක එක ආකාරයට ගිජුවෙලා, බැඳිලා සසර දිගු කරගන්නට මහන්සි ගන්නවා.

ගිහි ජීවිතය ගත කිරීමේ දී කාම වස්තූන් නිසි විදියට පරිහරණය කරලා දුකක්, කරදරයක්, හිරිහැරයක් නැතිව ජීවත් වෙලා ඒවායේ යථා තත්ත්වය තේරුම් ගන්න ඕනෑ. එහෙම තේරුම් ගත් කෙනාට තමන්ගේ දූ දරුවන්ගේ වියෝව, මවුපියන්ගේ වියෝව, භාර්යාවගේ, ස්වාමිපුරුෂයාගේ වියෝව ඒවා ගැන ඉවසීමෙන් කල්පනා කරලා සිත සනසා ගන්න පුළුවනි. මේක තමයි කාම වස්තුන්ගේ ස්වභාවය ඇති වෙනවා. පතිනවා. නැති වෙනවා. ඒවා වෙනස් වෙනවා කියලා හිතාගෙන පරිහරණය කරනවා නම් අර දුකක්, වේදනාවක්, කඳුළක් හිමි වන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේගේ බණ ඇසීමෙන් අර ගොවියා මේ සසර කතරින් එතරවන උතුම් වූ රහත්භාවයට පත්වුණා.