Print this Article


පිරිතෙහි අනුසස් ඛන්ධ පිරිත

පිරිතෙහි අනුසස්

 

ඛන්ධ පිරිත

බුදුරදුන් සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයේ දී සැවැත් නුවර වාසි එක් භික්ෂූන් වහන්සේ නමක් නයෙකු විසින් දෂ්ඨ කිරීමෙන් මිය ගියේ ය. බොහෝ භික්ෂූන් බුදුරදුන් හමුවට පැමිණ මෙ පුවත සැලකළහ. බුදුරදුන්ගේ පිළිතුරු වූයේ එම භික්ෂු නම සතර සර්ප රාජ කුලයන් මෙනෙහි කරමින් මෛත්‍රි විහරණයෙහි ජීවත් වූයෙන් නම් සර්පයෙකු විසින් දෂ්ඨ කරන ලදුව මිය නොයන බවයි. අතීතයේ බෝසතාණන් වහන්සේ බමුණු කුලයක ඉපිද වැඩි වයසට පැමිණ පැවිදිව පංච අභිඤ්ඤා, අෂ්ඨ සමාපත්ති උපදවා ගෙන වනයෙහි වසන්නේ තම අතවැසියන්ට විවිධ සර්පයන්ගෙන් පැමිණෙන උවදුරු දැක මෙ පිරිත දෙසූහ. එතැන් පටන් සර්පයන්ගෙන් උවදුරක් සිදු නොවුණි.

මෛත්‍රිය යන්නෙන් අදහස් කරන්නේ අන්‍යයන්ට හිතවත් සිතිවිලි පහළ කර ගැනීමයි. බුදුහිමියන් ඉදිරියේ නාලාගිරි හස්ති රාජයා දමනය වූයේ ද බුදුහිමියන්ගේ මෛත්‍රී පාරමිතා බලය නිසා ය. යමෙක් නිවැරැදි ආකාරයෙන් සමස්ත ලෝක සත්ත්වයින් කෙරෙහි මෙත් සිත පතුරවන්නේ නම් ඔහුට මිනිසුන්ගෙන්,අමනුෂ්‍යයින්ගෙන් පමණක් නොව සතා සිවුපාවන්ගෙන් ද පැමිණෙන පීඩාවන්ගෙන් වැළකීමටත් මිනිසුන්ට දෙවියන්ට යහපත් සියලු බලවේගවලට පි‍්‍රය වීමටත් අවස්ථාව සැලසේ. ඒ බව මේ සූත්‍රයෙන් මනාව විවරණය වේ.

අතීතයේ මෙන් ම වර්තමානයේ ද ලෝ වැසි සියලු දෙනා විවිධ උපද්‍රවයන්ට, ව්‍යසනයන්ට ගොදුරු වේ. ස්වභාවික උපද්‍රවයන්ට ද වඩ වඩාත් ගොදුරුවන බව පෙනේ. තමන් ගොදුරුවන බොහෝ දුක් කරදර බාධාවන්ගෙන් මිදී ජීවිතය පවත්වාගෙන යෑමට බොහෝ දෙනා උත්සාහ ගනිති.

බෞද්ධ දර්ශනයට අනුව යමෙක් මෛත්‍රි සිතක් පවත්වාගෙන යනතාක්කල් මෛත්‍රි සිත ඇත්තාට අහිතක් නපුරක් කිරීමට වෛර සිතක් ඇති කෙනෙකුට නොහැකි ය. අතීත සමාජයේ මෙන් ම වර්තමාන සමාජයේ දී ද , සතා සිවුපාවුන්ට පවා මෛත්‍රි සිතින් කතා කළ විට කරදරයක් නොකර ඔවුන් ආපසු යන බව ජන විශ්වාසයකි. නයිහාමි යනුවෙන් කතා කළ විට දෂ්ඨ කිරීමට සූදානමින් සිටින නාගයින් පවා ආපසු හැරී යන බව සමාජ විශ්වාසයකි. විසඝෝර සර්පයෙකුට උගේ ආහාර අවශ්‍යතාවය හා ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පවතින්නේ සීමිත වු ශක්තියකි. නිදසුනක් ලෙස නාගයෙකු ගැන අවධානය යොමු කළොත් ඌට ඇත්තේ විස දත් දෙකක් පමණි.

කඳ පිරිත තුළ ඇතුළත් අදහස් තුළින් ප්‍රකට වන්නේ වෛරය වෙනුවට මෛත්‍රියත්,අකාරුණික බව වෙනුවට කාරුණික බවත්, පරුෂ බව වෙනුවට මෘදු සැහැල්ලු බවත්, ගොඩ නගා ගන්නා කෙනෙකුට සර්ප ආදින්ගෙන් වන උපද්‍රව සංසිඳෙන බවයි.

කඳ පිරිත සජ්ඣායනා කළ පමණින් ජීවිතයට ආරක්ෂාවක් නොලැබේ. සියලු සත්ව උපද්‍රව බැහැර කර ගත යුතු වන්නේ,අපාදක, ද්විපාදක, සිවු පා, බහු පා ආදී සමස්ත ප්‍රාණීන් වෙත අප්‍රමාණ ව මෙත් සිත පැතිරවීමෙනි.

මෙත්තානිසංස සූත්‍රය

මෙත්තානිසංස සූත්‍රය දේශනා කිරීමට පාදක වූ කරුණ ඉතා වැදගත්කමක් උසුලයි.

බුදුරදහු ජේතවනාරාමයෙහි වැඩවාසය කරති. ගිනි කඳක් උපමා කරගෙන දම් දෙසු විට නම් භික්ෂූන් වහන්ස්ලා හැට නමක් රහත් වෙති. හැට නමක් මුඛයෙන් උණු ලේ වමාරති. හැට නමක් පමණ ගිහි බවට පැමිණෙන්නේ යැයි දැන, යමෙක් රහත් බවට පැමිණ ධර්ම චාරිකාවෙහි හැසිරෙන්නේ නම් එතුළින් විශාල සේවාවක් සිදු වන බව සලකා ආනන්ද හිමියන්ට සදහම් චාරිකාවේ වැඩමවීම සඳහා භික්ෂූන්ට දැනුම් දෙන ලෙස දැන්වූහ. භික්ෂූන් වහන්සේ ද බුදුරදුන්ගෙන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කළ හැකි බව දැන ගමනට සූදානම් වූහ. බුදුහිමියන් අතරමගදී එක් ගසක් මුලට එළඹියහ. ආනන්ද හිමියන් ආසනයක් පිළියෙල කළේය.

බුදුහිමියන් අග්ගික්ඛන්දෝපම සුත්‍රය දේශනා කළහ. යම් භික්ෂුවක් දුසිල්වත්ව වාසය කරමින් මහජනයාගේ සිවුපසය පිළිගන්නේ නම් ගිනි ගුලි ගිලිනවා හා සමාන ක්‍රියාවක් බව දෙසූහ. භික්ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් උපැවිදිව ගිහි බවට පත්වූහ. බුදුහිමියන් දිනක් ආනන්ද හිමියන්ගෙන් භික්ෂූන් වහන්සේලා බොහෝ දක්නට නොලැබීම නිසා ඊට අදාළ හේතුව විමසූ සේක. ආනන්ද හිමියන් පැහැදිලි කරන ලද්දේ අග්ගික්ඛන්දෝපම සූත්‍රය ශ්‍රවණය කිරීම නිසා බොහෝ භික්ෂූන් වහන්සේලා සුදුමැලි වු අඟ පසඟ ඇතුව අලසව ජීවත් වන බවත්, වැඩි දෙනෙක් මේ ධර්මය පිළිපැදීම පහසු නොවන බව දැන ගිහි බවට පත් වූ බවත් ය. ඒ මොහොතෙහි ම භාග්‍යවතුන් වහන්සේ ආසනයක් පනවා භික්ෂූන් රැස්කරවන ලෙස ආනන්ද හිමියන්ට දැනුම් දුන්හ. අනතුරුව රැස් වු භික්ෂූන් අමතා මහණෙනි, ඇසුරු සැණක් ගහන මොහොතක් යමෙක් මෛත්‍රිය වඩයි ද, එතුළින් ගිහි ජනතාව පිළිගන්වන සිවුපසය පිළිගැනීමට සුදුසු වන බවත් මෛත්‍රිය වැඩීම නිසා විවිධ ආනිශංසයන් ද ලැබෙන බවත් පැහැදිලි කරමින් මෙත්තානිසංස සූත්‍රය දේශනා කළහ.

මෙහි මෙලොව වශයෙන් උපදවා ගත හැකි ආනිශංස දහයකුත් පරලොව වශයෙන් ලැබෙන එක් ආනිශංසයක්ද විවරණය කර තිබේ.

මෙත්තානිසංස සූත්‍රය තුළ පෙන්වා දී ඇති ආනිසංස විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ වර්තමාන සමාජයේ සාමාජිකයන් මුහුණපාන බොහෝ පීඩාවන්ට හේතුව සිතිවිලි වශයෙන් ඔවුන්ගේ දුර්වල බවයි.

වර්තමාන සමාජයේ බොහෝ දෙනාට පීඩාකර තත්ත්වයන් ලෙස

නින්ද නොයාම, පාන්දර අවදිවීමට නොහැකි වීම, නරක නපුරු සිහින දැකීම, නින්දෙන් බියවීම

යාළු මිත්‍රාදීන්ගෙන් පීඩා පැමිණීම, සතුරන්ගෙන් හිරිහැරවලට ගොදුරුවීමට සිදුවීම, යහපත් පුද්ගලයන්ගේ සහයෝගය නොලැබීම

ස්වභාවික ව්‍යසනයන්ට ගොදුරු වීම, සිත නොසන්සුන් වීම, මරණාසන්න අවස්ථාවෙහි දී දැඩි ලෙස කායික මා මානසික ව්‍යාකූල තත්ත්වයන්ට පත්වීම

අනාගතය පිළිබඳව අවිනිශ්චිත බවක් හා බිය සුළු බවක් නිර්මාණය වීම

ඉහත දක්වා ඇති සියලු කරුණුවලින් අනාවරණය වන්නේ මෙත් විහරණයෙන් පුද්ගලයා ඈත්වන විට මුහුණ පාන ස්වභාවයන් බවයි. මෛත්‍රී සහගත සිතිවිලි ධාරාවක් ඇතිකරගත් විට ඉහත දක්වන ලද ගැටලුවලට හාත්පසින්ම වෙනස් ප්‍රතිචාර පුද්ගලයාට ලැබෙන බව මෙත්තානිසංස සූත්‍රය තුළ පෙන්වා දී තිබේ.