Print this Article


පූජාච පූජනියනං

ඇරෑපොල විපස්සි හිමි

සම්බුද්ධ ශාසනය බැබළවීම සඳහා කලින් කලට මහා පින් ඇති බෝධි සත්ත්ව උතුමෝ මේ ලෝකයට පහළවෙති. උන්වහන්සේලා එකලට ඇති අවශ්‍යතාවයට අනුව හා උන්වහන්සේලාගේ අභිලාෂයට අනුව ගිහිව හෝ පැවිදිව ලෝකයත් ශාසනයත් බැබළවීම පිණිස දිවා රෑ ක්‍රියාකාරි වෙති.

කෝට්ටේ සුගත සාසන සීල භාවනා පින්කම් සංවිධානයේ නිර්මාතෘ කම්මට්ඨානාචාර්ය ඇරෑපොළ විපස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේද එවැනි මහා යුග පුරුෂයාණන් වහන්සේ නමකි. උන් වහන්සේ අවුරුදු 50 කට අධික කාලයක් තිස්සේ අප්‍රතිහත ධෛර්යෙන් අසරණ සත්ත්වයින්ගේ ධර්මඤාණය දියුණු කිරීමට දිවා රෑ ක්‍රියාකාරී වූ සේක.

එහි ප්‍රතිඵලයක් වශයෙන් සරල බසින් ලියැවු ධර්ම ග්‍රන්ථ සතළිසක් උන්වහන්සේගේ සුරතින් බිහිවිය. එහි පිටපත් දහස් ගණන් නොමිලයේ බෞද්ධ අබෞද්ධ ජනතාව වෙත බෙදා හැරියහ. ඉදිරියටත් එය අඛණ්ඩව ක්‍රියාත්මක වීමට විධි විධාන යෙදීමට තරම් උන්වහන්සේ ඥාන සම්ප්‍රයුක්ත විය. බුද්ධ ධර්මය මැනවින් ඉගෙන අවබෝධයෙන් යුතුව නිවැරදිව පිළිපැදිය යුතු ආකාරය එම දහම් පොත්වල පැහැදිලිව ඉගැන්විණි. සුමිහිරි බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ සමූහය සජ්ඣායනා කිරීමට ඉගැන්වූ සේක. එයින් සියලු දෙනාගේම හදවත් තුළ ජීවමාන බුදුරජාණන් වහන්සේ මැවී ගියහ. පිරිස බුදුරජාණන් වහන්සේට වඩාත්ම සමීප වීමට එය හේතු විය. සතිපතා දහම් පන්ති පවත්වමින් සීලයෙහි පිහිටුවමින් විවිධාකාර පින්කම්වල යොදවමින් පසළොස්වක අමාවක සීල භාවනා වැඩ සටහන්වලට සම්බන්ධ කරවමින් ජීවිත ධර්මයෙන් බැබළවීම සඳහා අප්‍රමාණ වෙහෙසක් දැරූ සේක. පට්ඨාන ධර්ම චාරිකා දුර බැහැර ප්‍රදේශවල ගරු පින්කම් සිදු කරවමින් පිරිසගේ සත් තිස් බෝධි පාක්ෂික ධර්මයන් දියුණු කර ගැනීමට මඟ පෙන්වූහ. වර්ෂයකට දස දින භාවනා වාර 03 ක් පැවැත්වූහ.

මේ සියලු කටයුතු සඳහා, කෝට්ටේ රමණිය දර්ශනයකින් යුත්, දහම් සිසිලෙන් ගත සිත සනසන මනහර ආදර්ශමත් සුන්දර භාවනායතනයක්ද, මනකස්කාන්ත නිහැඩියාවකින් හෙබි ශාඛා භාවනායතන ද පිහිටුවා ඇත.

ශික්ෂාකාමී විනයගරුක මේ මහා පඬිරුවන වටා රැස් වු ආශ්‍රය නිශ්‍රය කළ පිරිස අගනුවර ඉඩම් ගොඩනැගිලි ආදිය පුජා කළහ.

උන්වහන්සේ තුළ පැවතී කෘත ගුණ සැලකීමේ ගුණය අපගේ හදවත් මවිත කරවන සුළුය. ගිහිකල සිප් සතර හැදැරූ සහ එසේම ගිහිකල ඉංගි‍්‍රසි ගුරුවරයෙකු ලෙස සේවය කල ඇරෑපොල මහින්ද විදුහලට සියලු පහසුකම්වලින් යුක්ත අංග සම්පූර්ණ පරිගණකාගාරයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් අසරණ දරුවන් වෙනුවෙන් සාදා නිමවා විදුහලට පරිත්‍යාග කරන ලදී. එදා පාසලේ ඉගෙනගත් කිසිවෙක් අද එහි නැත. එහි ඇත්තේ සිත්පිත් නැති ගොඩනැගිලි පමණි. නමුත් උන්වහන්සේගේ ඒ කෘත ගුණ සැලකීමේ ගුණය අපට මොනතරම් නම් ආදර්ශ සම්පන්නද යැයි සිතා බැලීම වටී. එවන් උදාරතර කාර්යයක් ඉටු කිරීමට තරම් උන්වහන්සේ ගුණ සම්පන්න විය. තවද උන්වහන්සේ පැවිදි බිමට පත්වු මුල් අවධියේ උපකාර කළ මහ සඟරුවන විෂයයෙහි වාහන සඟසතු කරමින් පුජා සිදු කළහ.

උන්වහන්සේගෙන් අපට ලැබුණු ආදර්ශය අවවාද නිසා අපේ ජීවිතවලට ඇති කළ ආලෝකය, ගුණ නුවණ අප සිදුකර ගත් කුසල් හා එයින් අපට සිදු වූ යහපත වචනවලින් කියන්නට අපේ දක්ෂතා මද යැයි හැඟේ.

ශාසනික සේවා සිදු කිරීමේදී “දැන් ඇති” “මේ ඇති” දැන් බැහැ” යනාදි පසුබට වීම් තිබුණේම නැත. මහා වීර්යයකින් ඉතා දක්ෂ ලෙස කර්මස්ථාන දීම් නොකඩවා සිදුකළ සේක.

පනස් වසරක් පුරා මේ කාර්යය කරගෙන යාමේදී යම් යම්බාධා පැමිණියත් උන්වහන්සේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී නොබියව වැඩ සිටියහ. ඒ සඳහා සුගත සාසන සීල භාවනා පින්කම් සංවිධානය ශක්තියක් විය.

2018 පෙබරවාරි මස1 8 වන දින උන්වහන්සේ අපවත්වී වදාළහ.උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.


ගස්පේ පේමරතන හිමි

රද්දල්ගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේ ගස්පේ පේමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ගුණ සැමරුම 2018.05.09 දිනට යෙදීම නිමිත්තෙනි.

සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තමන්ට කළ හැකි උසස්් ම පූජාව ලෙස සලකා මව්පියන් විසින් මෙම පින්වත් කුමරා සසුනට පූජා කරන ලදී. ඉන්පසුව 1982 මැයි මස 27 දින මව්පිය අවසරය මත පැවිදි කිරීම සිදු විය. මාළිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති ව සිට වැඩ සිටි අපවත් වී වදාළ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය අකුරටියේ අමරවංශ නා හිමිපාණන් වහන්සේගේ හා කල්එළිය රද්දල්ගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාමාධිපතිව වැඩ විසූ විනයාචාර්ය ගැටුලාවේ ශ්‍රී රතනජෝති ස්වාමීන්වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් ‘ගස්පේ පේමරතන’ නමින් පැවිදි බිමට පත් විය.

ගුරු හිමියන් වෙතින් ශාසන සම්ප්‍රදායන් පිළිබඳ මූලික ශික්ෂණය ලබා ගන්නා ලදී. ගස්පේ පේමරතන පොඩි හාමුදුරුවන්ට නිසි ධර්ම ශාස්ත්‍ර අධ්‍යාපනයක් ලබා දීමට විහාරාධිපති ස්වාමීන් වහන්සේ කටයුතු කරන ලදහ.

පොඩි හාමුදුරුවන් ඒ අනුව මූලික පිරිවෙන් අධ්‍යාපනය මුද්දරගම ගිරිකුළුව විද්‍යාදර්ශී පිරිවෙනෙන් ලැබූ අතර උසස් අධ්‍යාපන කටයුතු මාදන්වල ශ්‍රී ධර්මෝදය මහ පිරිවෙනෙන් හදාරන ලදී. උන්වහන්සේ 1987 ජුනි මස 10 වන දින මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාරයීය උපෝසථාගාරයේ දී උපසම්පදා භූමියට පත් වූහ. වර්ග පටිපාටියෙන් ප්‍රාචීන අධ්‍යාපනය ද ලබමින් සිටින අතරතුර ස්වාමීන් වහන්සේට අනුවේදනීය සිදු වීමකට මුහුණ දිීමට සිදු විය. එනම්, තම ගුරු දේවයන් වූ ගැටුලාවේ ශ්‍රී රතනජෝති නා හිමියන් වහන්සේගේ අපවත් වීම යි.

එම අපවත්වීම 1991 මාර්තු මස 03 වන දින සිදු වූ අතර ඉන්පසු විහාරාධිපති ධූරය තමන් වහන්සේට හිමි වූයෙන් අධ්‍යාපන කටයුතු පසෙක තබා විහාරාධිපති තනතුර දරමින් ශාසන කටයුතු මෙන් ම දායක කාරකාදීන්ගේ කටයුතුවල නිරත වෙමින් කටයුතු කරන ලදී.

ගස්පේ පේමරතන නා හිමියන් දායකාකාරකාදී සියලුම දෙනාට ම ගමේ විහාරයෙන් සිදුවිය යුතු උපකාර නිසි අයුරින් සිදුකර දෙන ලදී. එසේ ම ප්‍රදේශයේ සියලු විහාරස්ථාන සමඟ සුහදව හා කාරුණිකව කටයුතු කරමින් ආගමික හා සාමාජික සේවාවන් රැසක් සිදු කළහ. පොදු කටයුතුවල දී ඉතා උනන්දුවෙන් හා ක්‍රියාශීලීව කටයුතු කරමින් ශාසනයේ දියුණුවට ඉමහත් සේවයක් සිදුකරන ලදී.

ඉපැරැණි විහාරස්ථානයේ දියුණුවට මෙන් ම සංවර්ධන කටයුතුවලට ද අප්‍රතිහිත ධෛර්යෙන් කටයුතු කළ අතර සංඝාවාසය හා ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද නිසි ලෙස ඉටුකරන ලදී. එසේ ම දහම් පාසල් ප්‍රධානාචාර්ය ධූරය හොබවමින් දරුවන්ගේ දහම් අධ්‍යාපන කටයුතු පහසු කිරීම සඳහා දෙමහල් දහම් පාසල් ගොඩනැඟිල්ලක් ද ඉදි කරන ලදී.

දායක කාරකාදීන්ටත්, ශාසනයටත් ප්‍රදේශයටත් ඉටු කළ සේවය ඉමහත් ය. අවුරුදු 51 ආයු වළඳා උන්වහන්සේ අපවත් වූ සේක.


බෝවල විමලධම්ම නාහිමි

ගම්පොල ගඟසිරිපුරවරයේ සියලු ජාතීන්ගේ ගෞරවයට පාත්‍ර වූ උඩපළාත ප්‍රධාන සංඝ නායක පදවිය හා ලේකම් තනතුර දරමින් අනූපමේය සේවයක් ඉටු කරන ගම්පොල රතනඝර විහාරයේ බෝවල විමලධර්ම නා හිමියෝ සුපේෂල සංඝපීතෘවරයෙකු ලෙස හැඳින්විය හැකි ය.

ගම්පොල බෝවල ජේ.එම්. ලොකුබණ්ඩා මහතා සහ ආර්. හීන්මැණිකේ දම්පතීන්ට උපන් මෙම කුමරා ප්‍රථම අධ්‍යාපනය බෝවල කනිෂ්ඨ විද්‍යාලයෙන් ලබා 1979 මාර්තු 02 වැනිදා බෝවල පොත්ගුල් විහාරයෙන් විහාරාධිපති බෝවල පඤ්ඤානන්ද නා හිමි හා අටබාගේ රතනජෝති හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි දිවියට පත් විය.

ඉන් පසු දෙහිපාවල අග්ගබෝධි පිරිවෙන, වත්තේගම විද්‍යාපදිප පිරිවෙන, ගම්පොල බුවනෙකබා පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන ලදී. මහවැලි සී කලාපයේ දෙහිඅත්තකණ්ඩිය නාමල්ගම ගම්මානයට වැඩමවා ජනතාවට අංග සම්පූර්ණ විහාරස්ථානයක් හා විමලධර්ම දහම් පාසල ආරම්භ කරන ලදී. 1998 වර්ෂයේ ගම්පොල රතනඝර විහාරයට වැඩම කළහ.

එතැන් පටන් රතනඝර විහාරය සම්පූර්ණයෙන් සංවර්ධනය කරමින් දහම් පාසල පවත්වාගෙන යමින් ජාතීන් අතර සුහදතාවය වර්ධනය කිරීමට කටයුතු කළහ.

2008 දී උඩපළාත ප්‍රධාන සංඝනායක පදවිය හා උඩපළාත ශාසනරක්ෂක මණ්ඩලයේ ලේකම් ලෙස ද පත්විය. වසර 19 ක් උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට විශාල ආගමික සංස්කෘතික සමාජීය වශයෙන් සේවා රැසක් කරමින් දහම් පාසල් නඟා සිටුවීමට කටයුතු කරති.