Print this Article


සුගති ගමන - 19: භාග්‍යවතුන් වහන්සේගේ සරණ ලැබූ මහා භද්‍ර කල්පයේ අවසානය

සුගති ගමන - 19:

භාග්‍යවතුන් වහන්සේගේ සරණ ලැබූ මහා භද්‍ර කල්පයේ අවසානය

ධර්මයේ සඳහන් සේ, කාශ්‍යප බුදුන් වහන්සේ ලොව පහළ වෙන්නේ මේ මහා භද්‍ර කල්පයේ තුන්වන අන්තඞකල්පයේ ය. එකල මිනිසුන්ගේ ආයුෂ අවුරුදු විසි දාහකි. මේ ආයුෂ ද අවුරුදු දහයටම අඩුවී තුන්වන අන්තඞකල්ප විනාශය සිදු වෙනවා. ඊටපසුව ආරම්භ වෙන්නේ හතරවන අන්තඞකල්පය යි. එහි දී ජීවිත බේරාගන්නා පිරිසගේ (ආයුෂ) වැඩිවෙලා අවුරුදු අසංඛ්‍යෙයට ම (එකයි බිංදු එකසිය හතළිහක්) ආයුෂ වැඩිවෙලා , එතැන් සිට ආයුෂ පිරිහෙමින් පවතිනවා.

මිනිස් ආයුෂ අවුරුදු එකසිය විස්සක් දක්වා පිරිහෙන තැන මේ මහා භද්‍ර කල්පයේ හතරවන අන්තඞකල්පය තුළ අප සරණ යන ගෞතම බුදුන් වහන්සේ පහළ වුණා. එසේනම්, අපේ ගෞතම බුදුන් වහන්සේ පහළ වෙන්නේ මේ මහා භද්‍ර කල්පයේ හතරවන අන්තඞකල්පයේ මිනිස් ආයුෂ ක්‍රමයෙන් අඩුවෙලා අවුරුදු එකසිය විස්සට අඩුවූ කාලයේ ය.

ධර්මයේ සඳහන් සේ සෑම බුදුවරයෙක් ම දෙව්ලොව සිට පස් මහා බැලුම් බලනවා. එනම්, කාලය, දීපය, දේශය, කුලය , මව ලෙසයි. එහි දී කාලය යනුවෙන් හඳුන්වන්නේ, බෝසතාණන් වහන්සේ දෙව්ලොව සිට, බුදුකෙනෙක් ලොව පහළ වීමට සුදුසු කාලය මනුලොව තිබෙනවාදැ’යි බලනවා. මනු ලොව ආයුෂ ලක්ෂයට වඩා වැඩිනම්, එවැනි කාලවල බුදුවරු ලෝකයේ පහළ වෙන්නේ නැහැ. මේ අනුව අපට පෙනෙන්නේ, අසංඛ්‍යෙය දක්වා ආයුෂ වැඩිවුණාට අවුරුදු ලක්ෂයට වඩා වැඩි කාලවල මේ ලෝකයේ බුදුවරු පහළ වෙලා නැහැ. පහළ වෙන්නෙත් නැහැ. එසේම මිනිස් ලොව ආයුෂ සියයට වඩා අඩුනම්, ඒත් බුදුවරු පහළ වෙන්නේ නැහැ. මෙයට හේතු වන්නේ මනුලොව මිනිස් ආයුෂ අවුරුදු ලක්ෂයට වඩා වැඩි නම්, දෙව් ලොවටත් වඩා මනුලොව සැප බහුල නිස යි. ඒ කාලවල මිනිසුන්ට සංස්ඛාරයෝ අනිත්‍යය යි, දුක්ඛයි, අනාත්ම යි, ඒ නිසා අතහරින්න යැ’යි වදාළාට සැප බහුල ලෝකයේ සිටින මිනිසුන්ට ධර්මය අවබෝධ කරන්න සිත නැවෙන්නේ නැතිලු. ඒ කාලවල මනු ලොව දෙව් ලොවට වඩා සැප බහුල ලෝකයක් නිස යි.

තවද බුදුන් වහන්සේ වදාළේ, ‘මහණෙනි, මිනිස් ආයුෂ අවුරුදු සියයෙන් පහළට පිරිහී ඇත්නම්, කෙලෙස් බහුල වෙයි. එවැනි කාලවල මිනිසුන්ගේ රාග, ද්වේශ, මෝහ, ඇවිස්සුණු විකෘති සත්තු වගේ, මිනිස් ආයුෂ සියයෙන් පහළ ලෝකයේ ජීවත් වනවා. එවැනි කාලවලත් බුදුවරුන් පහළවෙලා, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ගැන, නිවන ගැන, දහම ගැන දේශනා කළාට කෙලෙස් බහුල මිනිසුන්ට , ධර්මය අවබෝධ කරගන්න තරම් මනස දියුණු නැහැ. එසේනම්, ලොව බුදුවරු පහළ වෙන්නේ අවුරුදු ලක්ෂයත්, අවුරුදු සියයත් අතර කාලයේ ය.

අප සරණ යන බුදු පියාණන් වහන්සේ එදා දෙව්ලොව සිට පස්මහා බැලුම් බලද්දී මනුස්ස ලෝකයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු සියයට වඩා ටිකක් වැඩි යි. ඒ නිසා බෝසතාණන් වහන්සේ හතරවන අන්තඞකල්පය තුළ සම්බුද්ධත්වයට පත්වන්න දෙව්ලොව සිට මනුලොවට පහළ වුණා. එසේනම්, අප මනු ලොව ජීවත් වන කාලයේ එනම් වර්තමාන යුගය වෙද්දී මහා භද්‍ර කල්පයේ හතරවන අන්තඞකල්පය ගෞතම බුදුන් වහන්සේ පහළවෙලා, උන්වහන්සේ පිරිනිවන් පා මෙවර වෙසක් පොහොයට අවුරුදු දෙදාස් පන්සිය හැට දෙකක් අවසන් වී තිබෙනවා. එවිට අවුරුදු දෙදාස් පන්සිය හැට දෙකක් වන විට ඔබට තේරෙනවා ඇති, අසංඛ්‍යෙය ගණන් එක් වරම තේරුම් ගන්නට බැරි වුණාට, අපට තේරෙන ටිකකුත් තියෙනවා. එනම්, බුදුන් වහන්සේ පහළව සිටිය දී සාමාන්‍ය මිනිස් ආයුෂ අවුරුදු එකසිය විස්ස යි. එනම් සාමාන්‍ය ආයු අපේක්ෂණය යි. ඊටත් වඩා වැඩි ආයුෂත් ගෙවූ අය සිටියා. බක්කුල මහ රහතන් වහන්සේ අවුරුදු එකසිය හැටක් වැඩ සිටියා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ අවුරුදු එකසිය පනහක් වැඩ සිටියා. මහා කාශ්‍යප හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ, විශාඛා මහා උපාසිකාව පවා අවුරුදු එකසිය විස්සක් දිවි ගෙව්වා.

එහෙත් වර්තමානය වන විට එනම්, බුදුන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු දෙදාස් පන්සිය හැට දෙකක් ගත වෙද්දී මිනිස් ආයුෂ අඩුවෙලා, අඩුවෙලා අවුරුදු සිීයෙන් පහළට පිරිහිලා. දැන් ලංකාවේ ගත්තොත්, සාමාන්‍ය ආයු අපේක්ෂණය අවුරුදු හැත්තෑව, හැත්තෑදෙක, හැත්තෑ තුන ආදිය යි. ජපානය වැනි රටවල මිනිස් ආයු අපේක්ෂණය අවුරුදු හැත්තෑ අට, අසූව දක්වා වෙයි. අප්‍රිකානු රටවල සාමාන්‍ය මිනිස් ආයු අපේක්ෂණය අවුරුදු හතළිහ යි. හතළිස් දෙක යි. වර්තමානයේ කෝටි හත්සියයකට එහා ලොව ජීවත්වන ජනගහණය ගත්තොත්, සාමාන්‍ය ආයු අපේක්ෂණය අවුරුදු හැත්තෑව, හැත්තෑ පහ වෙයි.

එසේනම්, ඔබ ගණනය කළොත් බුදුන් වහන්සේ ලොව පහළ වෙද්දී සාමාන්‍ය මිනිස් ආයුෂ එකසිය විස්සක් වෙද්දී මේ වෙද්දී අවුරුදු හැත්තෑව දක්වා පිරිහුණා නම්, අවුරුදු දෙදාස් පන්සියයක් වෙද්දී අවුරුදු එකසිය විස්සේ සිට හැත්තෑව දක්වා අවුරුදු පනහක ආයුෂ අඩුවීමක් තිබෙනවා. එසේනම්, අවුරුදු දෙදාස් පන්සියයකට අවුරුදු පනහක් අඩුවුණා නම්, අවුුරුදු සියයකට අවුරුදු දෙක බැගින් අඩු වෙනවා.