Print this Article


සිත් රිදෙනවාට බියෙන් ...

සිත් රිදෙනවාට බියෙන් ...

බෞද්ධයා යනු නිදහස් චින්තනයක් ඇත්තෙකි. ඔහු කිසියම් පුද්ගලයෙකුට හෝ ග්‍රන්ථයකට වහල් වී කටයුතු නොකරයි. නිදහස් චින්තනය ක්‍රියාත්මක කිරීම තුළින් සත්‍යය, අසත්‍ය, වැරැද්ද, නිවැරැද්ද තෝරාබේරාගෙන නිවැරැදි මගෙහි ගමන් කිරීමේ අයිතිය ඔහු සතුව ඇත.

තම නිදහස් සිතිවිලි වර්ධනයකර ගැනීමටත්, තම අරමුණ ඉටුකර ගැනීමටත් බාධකවලින් චංචල නොවී අධිෂ්ඨාන පූර්වකව, වීර්යවන්ත ව ගමන් කිරීමටත් බුදුදහම අපට අවශ්‍ය මග පෙන්වා දී ඇත. මේ අනුව නිදහස් චින්තනය පදනම් කරගෙන උතුම් පදවිය වන බුද්ධත්වය පවා ලබා ගත හැකිවනු ඇත.

බුදු දහම ඉහළ ම මට්ටමේ ජීවන ගමනකට මඟ කියා දෙයි. බුදු දහමට ඇත්තේ බුද්ධියත්, දැනුමත් පෙරටු කරගත් ප්‍රඥාවන්ත ගමනකි. බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් තමන් වෙත යොමුකරගත්තේ ඔවුනට නිවැරැදි දැනුම ලබාදීමෙනි. තමා ලත් නිවැරැදි දැනුමතුළින් බුද්ධ ශ්‍රාවකයන් බවට පත්වූවා මිස, වෙනත් කිසියම් බලපෑමක් තුළින් ඔවුහු බුදුරදුන් වෙත ළංවී නොමැත.

මුල් කාලයේ සිට ම මිනිසා පුරුදු පුහුණු වී සිටියේ පූජකයින්, මවුපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් කියන දේ පිළිගැනීමටත්, ඔවුන් අනුගමනය කිරීමටත් ය. වැඩිහිටියන්ගේ චින්තන රටාවට අනුව සිතීමටත් ඒ අනුව කටයුතු කිරීමටත් බොහෝ දෙනෙක් හුරු පුරුදු වී සිටියහ. එක්තරා අයුරකින් බලනවිට එය මිනිසාගේ නිදහස් චින්තනයට බාධකයකි. පැරැණි භාරතීය සමාජයතුළ බ්‍රාහමණයින්ට ප්‍රමුඛස්ථානයක් ලැබී තිබිණි.

රටේ පාලක පක්ෂය පවා සිතන්නට, වැඩකරන්නට, පාලනය කරන්නට ක්‍රියාත්මක වූයේ බමුණන්ගේ චිත්තන රටාවට අනුව ය. එයින් පිටට පැන ස්වාධීනව සිතීමේ හැකියාවක් පාලක පක්ෂයට ද අහිමි වී තිබුණු බව මුල් යුගයේ ඉන්දීය ඉතිහාසය අපට පෙන්වා දෙයි. මෙවැනි පසුබිමක් තුළ බුදුරජාණන් වහන්සේ කළ චින්තන විප්ලවය ඓතිහාසික ය. එය හිංසා පීඩාවන්ගෙන් තොර, ලේවැගිරීම් වලින් තොර, ප්‍රකෝපකාරී ක්‍රියාවන්ගෙන් තොර විප්ලවයකි. මේ විප්ලවයෙහි පදනම වූයේ කරුණාව හා මෛත්‍රීයයි. මෙම චින්තන විප්ලවයතුළින් එදා සමාජයේ පැවැති මිථ්‍යාමත, මිථ්‍යා ඇදහිලි හිංසාකාරී යාගහෝම, වැරැදි වන්දනා මාන, පුද පූජාවල ඇති නිරර්ථක බව නිර්භීතව පෙන්වා දුන්හ.

බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ලද ඒ උතුම් ධර්මය ගුණ හයකින් යුක්තයි. බුද්ධිමත්ව, ඤාණය මෙහෙයවා, සිතමතා අවබෝධ කර ගැනීම තුළින් විඳිය හැකි ආකාරයට, දැකිය හැකි ආකාරයට, අත්විඳිය හැකි ආකාරයට, කරුණු ඉදිරිපත් කර තිබීම මෙම ධර්මයෙහි ඇති සුවිශේෂී ලක්ෂණයයි.

‘ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ’ යනුවෙන් බුදුහිමි වදාළ ධර්මයෙහි මූලික ලක්ෂණය ලෙස දක්වා ඇත්තේ මුල මැද අග යන තුන් තන්හිම යහපත් වන අයුරින් මේ ධර්මය ඉදිරිපත් කර ඇති බවයි.බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මය පිළිපඳිනවා නම්, මොලොවදීම එම ධර්මයෙහි වටිනාකම, ගුණය, ප්‍රයෝජනය තේරුම්ගත හැකි ය. ‘සන්දිට්ඨික’ යන්නෙන් දැක්වූයේ එම ගුණයයි. මේ උතුම් ධර්මය පිළිපදිනවානම් කල් නොයවා ම එහි ප්‍රතිඵල භුක්තිවිඳිය හැකි ය. අවබෝධයෙන් ක්‍රියාත්මක වන්නාට එහි ප්‍රතිඵල සඳහා බොහෝ කල් බලා සිටින්නට සිදුවන්නේ නැත. ‘අකාලික’ යන්නෙන් අදහස් කරන්නේ එම ගුණයයි. ‘ඒහිපස්සික’ ගුණයෙන් කියන්නේ ඇවිත් ධර්මය අනුගමනය කර බලන්න යන්නයි. අන්‍යයන් කී පමණින් පිළිගන්න එපා. ධර්මය අසා, ඒ ගැන සිතා බලා ඒ තුළින් ම ධර්මයෙහි ඇති වටිනාකම තේරුම් ගන්න යන අදහස මෙම ගුණයතුළින් පෙන්නුම් කරයි. ධර්මය හිතට ගැනීමත්, එය ජීවිතය තුළින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමත් ‘ඕපනයිකෝ’ යන්නෙන් අදහස් කරයි.

‘පච්චත්තං වෙදිතබ්බෝ විඤ්ඤුහි’ යන්නෙන් සෘජු, අවංක බුද්ධිමත් ප්‍රඥාවන්තයින් විසින් තම තමන්ට ස්වාධීනව මෙම ධර්මය අවබෝධ කළ යුතුය යන්න අදහස් කරයි. මේ අනුව බුදුරජාණන් වහන්සේ මිනිස් බුද්ධියට ලබාදිය හැකි උසස් ම තැන, උසස් ම ගෞරවය ලබා දුන්හ. හොඳ, නරක, කුසල්, අකුසල් පෙන්වා දුන් බුදුරදුහු කිසිවෙකුට තමාගේ ශ්‍රාවකයෙකු වන්නට යැයි නොපැවැසූහ. බුදුරදුහු තමාවෙත එන අයගේ අදහස් උදහස්, සිතුම් පැතුම් අවබෝධකරගෙන ඔවුනට ගැළපෙන අයුරින් කරුණු පෙන්වා දුන්හ. තමාගෙන් අසන ප්‍රශ්නවලට ද පිළිතුරු දෙමින්, සාකච්ඡා කරමින් සත්‍යය දැක්ම පෙන්වාදීම බුදුරදුන්ගේ අරමුණ විය.

දිනක් අභය රාජ කුමාරයා බුදුරදුන් තම නිවසට වැඩමවා දානය ද පිරිනමා තම කුඩා පුතණුවන් දෑතින් වඩාගෙන සිටිමින් බුදුරදුන්ගෙන් ප්‍රශ්නයක් ඇසී ය.

අභයරාජ - ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අනුන්ගේ හිත නරක් වන විදියේ වචන ප්‍රකාශ කරනවා නේද? ‘දෙව්දත් නිරයට අපායට යනවා, එයට පිළියමක් නැහැ. වැනි වචන ප්‍රකාශ කළා නේද? මේ අයුරින් අනුන්ගේ හිතරිදවන, අමනාපවන වචන කතා කළාම ඔබවහන්සේත්, සාමාන්‍ය පෘතග්ජන මිනිසුන් අතරත් වෙනසක් නැහැ නේද?

බුදුරජාණන් වහන්සේ - රාජකුමාරය, මා කාටවත් අප්‍රියවන, හිතරිදවන වචනයක් කතා කරනවා නොවෙයි. මා කතා කරන්නේ ඇත්තයි. ඔබේ අතේ සිටින දරුවා ගල්කැටයක් හෝ කුණුකැබැල්ලක් හෝ කටේ දමාගත්තොත් ඔබ මොකද කරන්නේ,

අභයරාජ - ස්වාමිනි, මම දරුවා වඩාගෙන ම ඒ ගල් කැටය හෝ කුණු කැබැල්ල අරන් දානවා. ලෙහෙසියෙන් එය කළ නොහැකි නම් දරුවාගේ හිස අල්ලාගෙන එක ඇඟිල්ලක් දරුවාගේ කටට දමා කොහොම හරි එය ඉවත් කරනවා.

බුදුරජාණන් වහන්සේ - කුමාරය, ඔබ එසේ කරන විට දරුවාගේ උගුර තුවාල වී ලේ ගලන්නත් පුළුවන් නේ ද?

අභය රාජ - ස්වාමිනි, මා එහෙම කරන්නේ දරුවාට ඇති ආදරය නිසයි.

බුදුරදුහු - අන්න ඒවගෙ තමයි කුමාරය මා සමඟ සමහරුන්ට තරහ යන්න පුළුවන්, මා සමඟ අමනාපවන්න පුළුවන්, නමුත් මා ඇත්ත ඇති සැටියෙන් ම ප්‍රකාශ කරනවා, ඒ ඔවුන් රිදවන්න නොවේ. ඔවුන්ට ඇති කරුණාව නිසාමයි මම එහෙම කරන්නේ. මේ අයුරින් බුදුරදුහු සත්‍යයට ගරු කළහ. සත්‍යය ප්‍රකාශ කළහ. වැරැදි මග යන අය සතුටු කරන්නට හෝ තමන්ට ප්‍රශංසා ලබන්නට හෝ අදාළ වචන ප්‍රකාශ කරමින් බුදුරදුහු මිනිසා වැරැදි මගට යොමු නොකළහ.