Print this Article


 දෙලොවටම සෙත ගෙනදෙන දානය

 දෙලොවටම සෙත ගෙනදෙන දානය

පව් කරන පුද්ගලයාට පව් කරන අවස්ථාව මී පැණි මෙන් මිහිරි ය. (කරන කලට පවු මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ.) පවු කරන්නාට එහි සතුටක් තිබෙනවා. ඒ නිසයි පාපයෙන් මිදෙන්න අපහසුයි කියන්නේ.

නමුත් පිනේ දී අපට ඇතිවෙන සතුටයි පාපයක් කරන මොහොතේ ඇතිවෙන සතුටයි අතර ලොකු වෙනසක් තිබෙනවා. එය අපේ හිතට මෙන් ම කයටත් හොඳින් දැනෙනවා.

බුදු සසුනේ දී සුගතිය බොහෝ ප්‍රභාස්ගත යි. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ආදි වශයෙන් සුගති ලෝක විවිධ වෙයි. සතර අපාය, දුගතිය ලෙස අප දන්නවා. සතර අපායේ යන්නේ මේ මේ කර්ම කළවිට යි, සුගතියට යන්නේ මේ මේ කර්ම කළ විටයි කියා අප දන්නවා. කර්මය මෙලොවත්, පරලොවත් විපාක ලැබෙනවා.

මේ ලෝකයට පහළ වූ ආගම් අතරින් බුදුදහම වෙන්වෙන, වෙනස්වෙන හේතුවක් තිබෙනවා. බොහෝ ආගම්වල විමුක්තිය, ඵලය දක්වන්නේ මරණින් පසුව යි.

ඒ වගේම ආගමක මෙලොව දී විපාකය, මෙලොවදී විමුක්තිය ඔවුන් පනවා නැහැ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශේෂ වෙන්නේ විපාකය, නිවන, විමුක්තිය, පරලොව දී මෙන්ම මෙලොවදී ද පනවා තිබීම නිස යි.

නිවන් අවබෝධය මරණින් පසුව වදාළේ නම්, මේ දහමේ වටිනාකමක් නැහැ. සන්දිට්ඨික, අකාලික බවක් නැහැ. දකින්න පුළුවන්, කල් නො යවා ම එහි ප්‍රතිඵල ලබන්න පුළුවන් කියා කියන්න පුළුවන්කමක් නැහැ.

අපට මේ දහමේ මුලින්ම හඳුන්වා ඇත්තේ දානය යි. දිනක් ජානුස්සෝනි බ්‍රහ්මණයා අසා සිටිනවා,

”ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දන් දෙන්න කියනවා. එහි අනුසස් වදාරනවා. අපත් දානාදී වූ පින්කම් සිදු කරනවා. ඔබවහන්සේට පුළුවන් ද දානයක් දීමේ දී මෙලොවදී ලැබෙන අනුසස් පවසන්න?

"ජානුස්සෝනි, එය කළ හැකි දෙයක්"

"අනේ ස්වාමිනි, මට ඒ ගැන කියා දෙන්න."

පින්වත් ජානුස්සෝනි, මේ ලෝකයට බුදු, පසේබුදු, මහරහත් ආර්ය උත්තම සත්පුරුෂයන් වහන්සේලා පහළවෙන්නේ බොහෝ දුර්ලභව යි. ඒ දුර්ලභ ගුණවතුන් වහන්සේලා ලෝකයාට අනුකම්පා පිණිස යම් තැනකට, යම් නිවසකට වැඩම කරනවා නම්, දන් දෙන කෙනෙක් ළඟටද දන් නො දෙන කෙනෙක් ළඟට ද යන්නේ?

ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස ලෝකයාට අනුකම්පා කරන උන්වහන්සේලා, දානයක් නො දෙන ලෝභී මනුෂ්‍යයෙක් වෙතට යාමට වුවමනාවක් නැහැ. උන්වහන්සේලා වඩින්නේ පරිත්‍යාගශීලි මිිනිසුන් වෙතට යි.

ජානුස්සෝනි, එයයි මේ දානයේ ලැබෙන පළමුවෙනි ආනිශංස ය. ලෝකයට පහළවෙන දුර්ලභ උතුමන් වහන්සේලාගේ ඇසුර ඔවුන්ට ලැබෙනවා.

ජානුස්සෝනි එබඳු දුර්ලභ ව ලෝකයට පහළවෙන බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලාට දන් හැන්දක් බෙදන්නට ලැබුණොත්, යමක් පූජා කරගන්න උපස්ථානයක් කරගන්න ලැබුණොත් ඒක වටිනා දෙයක් ද? නො වටිනා දෙයක් ද?

ස්වාමිනි, එය බොහෝම වටිනා දෙයක්. මුළු ජීවිතයක් පුරා කළ අකුසල් යටපත් කරගෙන, සුගතිය මතු කරගන්න තරම් හේතුවන පින්කමක් ලෙසයි මම අසා තිබෙන්නේ.

ජානුස්සෝනි එසේනම්, ඒ දුර්ලභව පහළවෙන උතුමන් වහන්සේලාට ඇප උපකාර කිරීමේ, උපස්ථාන කිරීමේ, ඒ දුර්ලභ භාග්‍යය, බොහෝ කලක් යහපත් පිණිස පවතින ඒ අවස්ථාවඋදාවෙනවා නම්, උදාවෙන්නේ දන් දෙන කෙනෙකුට ද? දන් නො දෙන කෙනෙකුට ද?

ස්වාමිනි දන් දෙන කෙනෙකුට ම යි ඒ අවස්ථාව උදාවෙන්නේ.

එසේනම් ජානුස්සෝනි, දානය නිසා මෙලොව ලැබිය හැකි දෙවෙනි ආනිශංසය තමයි එබඳු ගුණ ඇති උතුමන්ගේ ඇසුර ලබමින්, උන්වහන්සේට උපස්ථාන කරන්නට ලැබීම.

පින්වත් ජානුස්සෝනි, දුර්ලභ සද්ධර්මය ලෝකයට පහළ වෙනවා. එහිදී දුක නිවෙන ධර්මය අසන්නට ලැබෙනවා. ඒ දුර්ලභ ධර්මය අසන්න ලැබෙනවා නම් ලැබෙන්නේ දන් දෙන කෙනෙකුට ද? නො දෙන කෙනෙකුට ද?

ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, දන් නො දෙන කෙනෙකුට ඒ සොඳුරු භාග්‍යය නො ලැබී යා හැකියි. නමුත් ඉතාමත් දුර්ලභ ඒ ලාභය දන්දෙන කෙනාට නිරතුරුවම ලැබෙයි.

එසේනම් ජානුස්සෝනි, දානයට මෙලොවින් ම ලැබිය හැකි තුන්වෙනි ආනිශංසය ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිිරීමට අවස්ථාවක් උදාවීම යි. දුර්ලභ ධර්මය ශ්‍රවණය කිරීමේ භාගය්‍ය උදාවීම යි.

ජානුස්සෝනි, මේ ලෝකයේ සෑම කෙනෙක් ම කීර්තිය, ප්‍රශංසාව ලබන්නට හොඳ නමක් අසන්නට කැමතියි නේද? මේ ලෝකයේ කීර්ති ප්‍රශංසාවක් ලබනවා නම් ලෝකයේ කවුරුහරි දන් දෙන කෙනෙක් ද? නො දෙන කෙනෙක් ද?

ජානුස්සෝනි කල්පනා කිරීමෙන් පසු මෙසේ කියනවා. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, දන් නො දෙන කෙනෙක් ගැන මොන කීර්තියක් ද? මොන ප්‍රශංසාවක් ද? ඔහු ගැන පැතිරෙන්නේ අපකීර්යක් ම යි. අපවාදයක් ම යි. නමුත් දන් දෙන පුද්ගලයාට කීර්තියක්, ප්‍රශංසාවක් ලෝකය පුරා පැතිරෙනවා.

එසේනම් ජානුස්සෝනි කීර්තිය ප්‍රශංසාව දන්දෙන පුද්ගලයාට ලැබෙන හතරවැනි ආනිශංසය යි.

භාග්‍යවතුන් වහන්සේ වදාළා, ජානුස්සෝනි මේ ලෝකයේ යම් කෙනෙකුට, රජ මැති ඇමතිවරු අතරට, ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතරට, බොහෝ පිරිසක් අතරට, නො බියව, විශාරදව යන්නට පුළුවන් පෞරුෂත්වයක් ගොඩ නැඟෙනවා නම්, ඒ හැකියාව තිබෙන්නේ දන් දෙන පුද්ගලයාට ද? දන් නො දෙන පුද්ගලයාට ද?

ස්වාමිනි, දන් නො දෙන කෙනාට පිරිසක් අතරට යන්න ශක්තියක් නැහැ. පෞරුෂත්වයක් නැහැ. ගියත් ඔහු කවුරුත් පිළිගන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරනවා. පිළිකුල් කරනවා.

දන් දෙන පුද්ගලයා ම ගෞරවයෙන් පිළිගන්නවා. මනා පෞරුෂත්වයකින් ඕනෑම පිරිසක් අතරට යන්න පුළුවන්කමක් තිබෙනවා.

එසේනම් ජානුස්සෝනි දානයට මෙලොවින් ලබන්න පුළුවන් මේ පස්වෙනි ආනිශංසය යි මේ.

ජානුස්සෝනි එසේනම් මරණින් මතු සුගති සැප ලැබෙන්නේ දන් නො දෙන කෙනාටද?, දන් දෙන කෙනාට ද?

ස්වාමිනි, අනුන් සතුටු නො කළ කෙනෙකුට, අනුන් සුවපත් නො කළ කෙනෙකුට, අනුන් සැපවත් නො කළ කෙනෙකුට සැපයක් ලැබෙන්න විදියක් නැහැ කියලයි මම හිතන්නේ. ඒ නිසා ස්වාමිනි දන් දෙන පුද්ගලයාම යි සුගති සැප ලබන්නේ.

එසේනම් ජානුස්සෝනි හයවෙනි ආනිශංසය ලෙස දන් දෙන පුද්ගලයාට පරලොව සුගතිය උරුම වෙනවා යැයි උන්වහන්සේ ආනිශංස හයක් වදාළ සේක.

එවිට ජානුස්සෝනි බමුණා කියනවා ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, මේ කරුණු හයෙන්, පහක් ම මම ප්‍රත්‍යක්ෂයෙන් ම පිළිගන්නවා. නමුත් ස්වාමිනි, මරණින් පසු සුගතියට යනවා කියන කාරණාව මම ඔබවහන්සේ කෙරෙහි විශ්වාසයෙන්, ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ. මොකද, ඒක මට පෙනෙන්නේ නැති නිසා. නමුත් අනෙක් ආනිශංස පහ මම මෙලොවින් ම අත්විඳිනවා. ස්වාමිනි, මම මහ දන්දෙන කෙනෙක්. මම දන්දෙන නිසා මගේ නිවසට භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ වඩිනවා. තවද මහරතුන් වහන්සේලා වඩිනවා. උන්වහන්සේලා මගේ නිවසට වැඩම කළවිට මම ආසන පනවා උන්වහන්සේට මට පුළුවන් ආකාරයට දන්පැන් පූජා කරනවා. මගේ දානය වළඳන ගිලන්පස වළදන, උන්වහන්සේලා අර්ථයෙන්, ධර්මයෙන් කරුණු කියා දී මා තෙදගන්වලයි වැඩම කරන්නේ.

ස්වාමිනි, මා ගැන ලෝකය පුරා පැතිරුණු කිර්තියක් තිබෙනවා. ප්‍රශංසාවක් තිබෙනවා. මම කොයි කොයි පළාතට ගියත් හඳුනනවා. මා දුටු ගමන් හඳුනාගෙන බොහෝ ගරු සත්කාර කරනවා. කීර්තියත්, ප්‍රශංසාවත් පැතිරිලා යන්නේ මම දන් දෙන කෙනෙක් නිසා. ඒ වගේම මට මැති ඇමැතිවරු අතරට, ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතරට ඕනම තැනකට යන්න පුළුවන්. ඒ කවුරුත් මාව පිළිගන්නවා. නො බියව යාමේ හැකියාව තිබෙන්නේ මම පරිත්‍යාශීලියෙක් නිසාමැයි ජානුස්සෝනි කියා සිටියා.