UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

වෙසක් අමාවක 2018.05.15

අනුන් දෙස නොව තමන් දෙස බැලීම

ලද දෙයින් සතුටු වන්නට සිත හුරු පුරුදු කර ගන්නාතාක් ජීවිතයට ප්‍රශ්න අඩු නැත. සතුටක්, සැනසීමක් නැත. එහි අනර්ථ ඵල තමන්ට පමණක් ද නොවේ. අනුන්ට ද ලැබෙන්නේ ය. එවිට නිර්මාණය වන්නේ සමාජගත ප්‍රශ්නය. ගැටුම්, ගැටලු පිරි සමාජයක ජීවත් වන්නට කිසිවෙක් කැමැති නැත. කරදරකාරී නොවන, නිදහසේ ජීවත්විය හැකි පරිසරයට අපි සැවොම කැමැත්තෙමු. එසේ නොවනවා යැයි හැඟුණු සැණින් සමාජයටම දොස් කියමු. තමන්ගේ ඇහේ තිබෙන පොල් පරාලයට වඩා අනුන්ගේ ඇහේ තිබෙන පොල් කෙන්ද සුවිසල්ව පෙනෙන බවට වන කියමනක් ජනවහරේ ම ඇත්තේ අන් වැරැදි දැකීම සුලබ අත්දැකීමක් වන නිසා විය හැකි ය. සමාජයක් වැරැදි මග යනවා නම්, අයහපත්දේ සිදුවනවා නම් වරද අනුන්ගේ නොවේ. තම තමන්ගේම ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අනුන් නොව තමන් දකින ලෙස ය. තමන් කරන කියන දේ පිළිබඳව සොයා බලන ලෙසය. තම තමන් නිවැරැදි වූයේ නම් එවැනි පුද්ගලයන්ගෙන් සැදුම් ලද සමාජය වැරැදි වන්නේ නැත. විසඳාගත නොහැකි යැයි හැඟෙන ගැටලු, ප්‍රශ්න ද එවිට ඉබේ ම විසඳේ.

භෞතික සම්පත් පිරිවරාගෙන අනුන් ජීවත්වන සැටි දකිමින් තමන්ද ඒවා අපේක්ෂා කරන්නේ නම්, ලද දෙයින් තෘප්තිමත් නොවන්නේ නම්, ඒවා ලබාගන්නට අපහසු තැන අදැහැමි වන්නේ නම් ප්‍රශ්න ඇතිවීම වළක්වා ගන්නේ කෙලෙස ද? සැනසිලිදායක වන්නේ අල්පේච්ඡ දිවියම ය. ලැබෙන දෙයක් කා බී ජීවිතයේ දියුණුවක් නොලැබ සිටීම ඉන් අර්ථවත් නොවන්නේ ය. ලෞකික දියුණුව මෙන් ම ලෝකෝත්තර දියුණුව ද අත්‍යවශ්‍ය ය. ඒ සඳහා අනලස් විය යුතු ය. අප්‍රමාදී විය යුතු ය. උත්සාහය, උනන්දුව වර්ධනය කළ යුතු ය.

ලෞකික සුවය පතා අසීමිත ලෙස භෞතික සැප සම්පත් පසුපස හඹා යාම, ඒවා ලබා ගන්නට අනුන්ගේ දේ කඩා වඩා ගැනීමට අදැහැමි මාර්ග අනුගමනය කිරීම බුදු දහම තරයේ ම ප්‍රතික්ෂේප කරයි. එහි අවසන දැවීම හා තැවීම ම මිස සැනසීම, සුවය නොවේ.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙක එහි පැමිණි එක්තරා දේව පුත්‍රයෙක් උන්වහන්සේගෙන් විමසා සිටියේ

‘ඇතුළතත් ප්‍රශ්නය, පිටත ද අවුල් ය.මේ ලෝක සත්ත්වයා අවුලෙන් අවුලට පත්ව සිටිති. මේ අවුල නිරවුල් කර ගන්නේ කෙසේ ද යනුවෙන් ය. එවිට බුදු හිමියන් දේශනා කොට වදාළේ සීලයෙහි යුතු , ප්‍රඥාව ඇති, සිත හා ප්‍රඥාව වඩන, වීර්ය ඇති පුද්ගලයා ගැටලු නිරාකරණය කරගන්නා බවය. එවිට දැවීමක් හෝ තැවීමක් නැත. මුලින් කී ලෙස අනුන් ලද සම්පත් දකිමින් තමන්ට ඇති දේ ගැන තෘප්තිමත් නොවන්නේ ද , කවර හෝ විදියකින් ඒවා අත්පත් කර ගන්නට උත්සාහ කරන්නේ ද අඥාන පුද්ගලයා ය. දුසිල්වත් පුද්ගලයා ය. යහපත් ව ජීවත් වන්නට නම් ජීවිතාවබෝධය ඇති කර ගැනීම අත්‍යවශ්‍ය ය. ඇසෙන, පෙනෙන බොහෝ ක්‍රියාකාරකම්, සංසිද්ධීන් වලින් හැඟෙන්නේ ජීවත්වනවාට ජීවත්වනවා මිස, එකම මඟකට වැටී එකිනෙකා පසුපස හැල්මේ දිව යනවා මිස බොහෝ පිරිසක් අවබෝධයෙන් ජීවිතය නොදකින බව ය. සොර මැරකම්, දූෂණ, වංචාවන් ආදී බොහෝ සමාජ විෂමතා එහි ඵලයන් ලෙස අපි විසින් ම භුක්ති විඳිනු ලබමු.

එය අඳුරකි. එහි ම ගැලී වෙළී සිටියේ නම් ඝනාන්ධකාරයෙහිම අතරමං වනවා හැර ආලෝකයක් දකින්නට ඉඩක් නැත. අඳුරෙන් එළියට යා යුතු ය. ඉන් ද නොනැවතී ආලෝකයෙන් ආලෝකයට යා යුතු ය. එහි යන මග අපගේ ශාස්තෘන් වහන්සේ අපට උගන්වා ඇත. වහ වහාම ඒ ධර්ම මාර්ගයට පැමිණෙන්නට අප්‍රමාද වෙමු. යහපත අයහපත, වරද නිවරද, විද්‍යාව අවිද්‍යාව කුමක්දැයි තේරුම් ගන්නට පමා වූයේ නම් ඉතා කෙටි කාලයක් වන ජීවිත ආයුෂ ගෙවා මිය යන මොහොතේ ද අපි ප්‍රමාද වූයේ වෙමු. මේ ජීවිතය පමණක් නොවේ. පරලොවට ද එහි අමිහිරි ඵල ගෙන යන්නට සිදුවේ. මෙලොව සිහි බුද්ධියෙන් කටයුතු නො කළේ නම් පරලොවක් ගැන කෙසේ සිතන්නද? ගෙවුණු කාලය ගැන නොතැවී මේ මොහොතේ පටන් නිවැරැදි වෙමු. ජීවිතාවබෝධය ඇති කරගන්නට උත්සාහවත් වෙමු.

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]