Print this Article


ගුරු උපදේශයෙන් නො බියව කළ යුතු භාවනාවකි

ගුරු උපදේශයෙන් නො බියව කළ යුතු භාවනාවකි

බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ දී භාවනාව පිළිබඳ ව ඉතාමත් ම වටිනා කරුණු ටිකක් කුරුරට වාසීන්ට දේශනා කර වදාළා. ඒ අය හොඳ නුවණක් ඇති කල්‍යාණ මිත්‍රයෝ. ඒ නිසා ම ඒ අයට යමක් තේරුම් බේරුම් කර ගැනීමට ශක්තිය තිබුණා. ඒ නිසා ගැඹුරු දේශනා ගණනාවක් ම කුරුරට කම්මාස ධම්ම ගමෙහි දේශනා කර වදාළා. එය තිස්දාහක් භික්ෂූන් වහන්සේ මහ රහත් භාවයට පමුණුවමින් කළ දේශනාවක්. නවසීවතික භාවනාවත් එයටම ඇතුළත්. පෙර ලිපි මඟින් ද සීවතික යනු සොහොනට දැමූ මෘත සිරුර බව සඳහන් කළා.

පුරාතනයේ මෘත සිරුර වළ දැමුවේ නැහැ. ගින්නෙන් පුළුස්සා දැමීමකුත් නැහැ. කෙනෙක් මිය ගිය විට වැඩි වේලාවක් යන්නට පෙර සොහොනට ගෙනවිත් දමනවා. ඒ අමු සොහොනට දැමූ මෘත ශරීරය ගැනයි මේ භාවනාව. ගුරු උපදෙසින් නොබියව කළ යුතු මේ භාවනාවට නුවණත් අවශ්‍යය යි.

ශ්‍රද්ධාව , සති, සමාධි, ඥානයන් ආදී ඉන්ද්‍රියයන් හොඳින් වැඩී ඇත්නම්, සංසාරයට සිත් යොමු කළ පුරුදු පුහුණු කළ ගතිය ඇත්නම්, මේ භාවනාව එතරම් අපහසු නැහැ. නමුත් සීවතික භාවනාව හැමෝට ම අපහසු යි. එහෙත් ඒ ගැන දැනගැනීම වැදගත්. අවබෝධය වැදගත්. සීවතික දෙකක් පෙර ලිපි මඟින් ඉදිරිපත් කළා. ඉදිමී නිල් පැහැ වී ගිය මෘත ශරීරය. එසේ ම, විවිධාකාර සතුන් මඟින් එහෙ මෙහෙ ඇද දමා අනුභව කරමින් තිබෙන මෘත ශරීරය.

අද සඳහන් කරන්නේ තුන්වන සහ සතරවන සීවතිකය යි. එක්තරා දිනෙක භික්ෂූන් වහන්සේ නමක් මෘත ශරීරයක් තිබෙන ස්ථානයකට වැඩම කළා. උන් වහන්සේ දුටුවේ සොහොනට දැමූ මෘත සිරුරේ ඇට සැකිල්ල යි. මස් ලේ දෙකම ඉවත් ව නහර වැලින් බැඳුණු, මැස්සන්ගෙන් පිරුණු , පණුවන්ගෙන් පිරුණු අවස්ථාව තුන්වන සීවතිකය යි. නොයෙක් දිසාවලට මේ ඇට කටු හැරී පවතිනවා. සමහරවිට සතුන් ඇද දමා තිබෙන්න පුළුවන්. අත් ඇට හා පා ඇට තවත් තැනක. ජංගා ඇට තවත් දිසාවක. පුවරු ඇට තවත් පැත්තක. පිටකටු ඇට තවත් පැත්තක. එසේම හිස් කබල තවත් පැත්තක. මෙලෙස සිරුරේ ලේ මස් ඉවතට ගිහින්, නහර වැලින් ඇට සැකිලි බැඳී පවතින අයුරු දැක ගන්නට පුළුවනි. එය සතිපට්ඨාන සූත්‍රයේ බොහොම හොඳින් පැහැදිලි කරයි. එසේනම්, එය තුන්වන සීවතිකය වශයෙන් මෙනෙහි කරන්න. මේ ශරීරයට වෙලා තිබෙන දෙය කල්පනා කර මේ තත්ත්වයට මා තවම පත් වුණේ නැහැ. නමුත් මගේ සිරුරට ද මේ තත්ත්වය උදා වෙන බව සිතන්න. මගේ ඇට කටුත් මෙලෙස විවිධාකාර දිසාවන්ට විහිදී පවතින බව සංසන්ඳනය කර තමා ද එලෙස පත්වන බව නුවණින් බලන්න. එය බොහොම වැදගත් පාඩමක්.

සමහරු ඇටකටු දුටුවත් බය යි. තිරිසන් සතුන්ගේ ඇට කටු දුටුවාට බිය නැහැ. ඇත් දළ , ගජ මුතු, අලි හක්ක, ඒවාට කවුුරුත් බය නැහැ. නමුත් මිනී ඇටයකට, දත් ඇටයකට කවුරුත් බය යි. ඒ බය සීවතික භාවනාවෙන් අඩුවී යයි. මේ මඟින් සති, සමාධි,ඥාන දියුණු වී ඇත්ත ඇති සැටියෙන් දැක ගන්න පුළුවනි. අපේ ශරීරයේ තිබෙන ජරා ජීරණය වීමේ තත්ත්වය හොඳට අවබෝධ කරගන්න පුළුවනි. මොනම දෙයකින්වත් අර්ථයක් නොමැති බව වටහා ගන්නට පුළුවනි.

එසේනම්, සොහොනේ දමා ගිය සිරුරත්, තමා ගේ සිරුරත් දෙක එකට සංසන්ඳනය කර මා තවම ඒ තත්ත්වයට පත් නොවුණ ද මාද එබඳු ම යි, යනුවෙන් සිතාගෙන මේ ශරීර දෙක සංසන්ඳනය කරමින් නුවණින් කල්පනා කිරීම තුන්වන සීවතික භාවනාව යි.

හතරවන සීවතික භාවනාව සොහොනට දැමූ මෘත ශරීරය හාත්පසින්ම වෙනස් ව දැන් තිබෙනවා. නහර වැල් ද නොමැතිව , සුදු පාට ඇටකටු ඉතිරිව තිබෙනවා. එහි මස් ලේ මොකුත්ම නැහැ. ඇටකටු තිබෙනවා. සුදු පාට යි. නරක් වෙලා. ඇතැම් විට ඒ ඇට කටු කුඩු වී යයි. එසේනම්, ශරීර කූඩුවෙත් ගත යුතු කිසිවක් නැහැ. එයත් විනාශ වී යයි. හතරවන අවස්ථාවෙන් පෙන්නුම් කරන්නේ මේ මෘත ශරීරයේ ඇට කටු තිබෙන බවත් එහි නහර, මස්, ලේ සියල්ල පහව ගිය බවත් ය. ඒ වගේම ඇට කටුත් කුඩු වී සුණු විසුණු වී යයි. මේ විපත්තිය සිදුවන බව සිතා හොඳට දැන ගන්න.