Print this Article


සිත රැකගත යුතුය නිරතුරු

සිත රැකගත යුතුය නිරතුරු

අප සරණගිය භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වී මේ සසර ගමනෙන් එතෙර වෙන මාර්ගය වදාළ සේක. උන්වහන්සේ මහා කරුණාවෙන් වදාළ ඒ මඟ දිළිඳු වේවා, පොහොසත් වේවා, ස්ත්‍රි වේවා, පුරුෂ වේවා, ලස්සන වේවා, අවලස්සන වේවා කිනම් භාෂාවක් කතා කළ ද ඒ සැමට ම ඒ මඟ විවෘත ය.

උන්වහන්සේ ගුරු උපදේශ නො මැතිව අවබෝධ කොටගත් ඒ ධර්මය “පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු” මා අවබෝධ කොට දේශනා කරන ධර්මය පෙර නො ඇසූ විරූ දහමකි යැයි වදාළහ. පෙර නො ඇසූ විරූ ලොව නො පැවති දහමක් උන්වහන්සේ ලෝකයාට වදාළා නම් සීල, සමාධි, ප්‍රඥා හෝ දාන, සීල භාවනා කියන සියලු දේශනාවක් උන්වහන්සේට පෙර මෙලොව තිබුණා කියන්නේ කෙසේ ද? ඊට පෙර එවැනි දෙයක් ලෝකයේ තිබුණා. නමුත් ඒ වෙනකොට පැවැති දානයට වඩා බුදුරජාණන් වහන්සේ පනවපු දානයේ වෙනසක් තිබෙනවා. එදා පැවති සීලයට වඩා අද සීලයේ වෙනසක් තිබෙනවා. එදා පැවති භාවනාවට වඩා මේ භාවනාවේ වෙනසක් තිබෙනවා. එහෙම වෙනසක් නැතිනම් “පුබ්බේ අනනුස්සුතෙසු ධම්මෙසු” කියන වචන අර්ථවත් නැහැ. එදා සහ අද පවතින දේ අතර වෙනස තෝරා බේරා ගැනීමට අප දක්ෂ විය යුතුයි.

නිවැරැදි මඟ

අකුසලතාවයන්, නුසුදුසුකම් ඉවත්කර සුදුසුකම, කුසලතාවය මතුකර ගැනීම පිණිස වදාළ ඒ මඟ අප නිවැරැදිව හඳුනාගෙන භාවිත කළේ් නම්, ඒකාන්තයෙන් කුසලය උපදින්න ඕන. අකුසලය යට යන්න ඕන. ඒ මුළු ප්‍රතිපදාව ම නූපන් අකුසලය නූපදවීම පිණිස, උපන් අකුසලය ගෙවා දැමීම පිණිස, නූපන් කුසලය උපදවාලීම පිණිස, උපන් කුසලය වැඩිදියුණු කරවීම පිණිසම යි උන්වහන්සේගේ වෑයම වූයේ.

අප සමාදන් වූ සීලය පිළිබඳව ඉතාමත් ම සරලව කතා කරනවානම්, “කාය වාචානං සමොදානං සීලං” කය, වචන, දෙකෙහි හික්මවා ගැනීම, පාලනය කර ගැනීම, දමනය කර ගැනීම, සීලය නමින් හඳුන්වා දුන්නේ. භාග්‍යවතුන් වහන්සේ ලොව පහළවෙන්නට පෙර තිබූ සීලමය වැඩපිළිවෙල එදා සිටි උතුමෝ ඒ ශික්ෂාපද සමාදන් ව ශික්ෂාපද නො කඩා ඉන්නට අධිෂ්ඨාන පූර්වක තනිව, වෙන්ව හුදෙකලාව ඒ සඳහා වෙර වීර්ය වැඩුවා. නමුත් මේ ශාසනයේ සමාදන් වූ ශික්ෂාපද මේ මේ වැරැදි නො කරන බවට පොරොන්දු අධිෂ්ඨාන ඇතිකර ගන්නවා. ඒ ශික්ෂාපද සමාදන් වූ අපට ඒ සීලයට එහා ගිය දැක්මක්, දර්ශනයක් ඊට එකතුවෙන්න ඕන. කය වචන දෙක සංවර වෙන්නේත්, කය, වචන දෙක අසංවර වෙන්නේත් කවර හේතුවකින් ද කියා සෙවිය යුතු යි.

එහි දී කය, වචන දෙකෙහි අසංවර බවටත්, කය වචන දෙකෙහි සංවර බවටත් සිත හේතුවෙනවා. කුමකින් සිත, කය, වචනය සංවර කරයි ද? කුමකින් සිත, කය, වචනය අසංවර කරයි ද කියා විමසිය යුතු වෙනවා. දූෂිත සිත, කය, වචනය මෙහෙයවා අකුසල් කරනවා. ප්‍රසන්න වූ සිත, කය, වචනයෙන් කුසල් කරනවා. මේ ශාසනය තුළ සමාදන් වූ ශික්ෂා පද රකින්න නම්, සිත රැකගන්න ඕන. සිත රැකෙන්නේ කෙලෙස් යටපත් කිරීමෙන්.

සිත කෙලෙසෙන - කෙලෙස්

සිත කෙලෙසන අකුසලයට කියනවා කෙලෙස් කියා. කෙලෙස් හා සිත එක්වෙන්නට නොදී හිත රැකගත්තොත් පමණයි සීලය රැකෙන්නේ. සිතට අකුසල්, කෙලෙස් එකතු වුවහොත් ඒවා කාය වාග් ක්‍රියාවට යන්න කලින් ගෙවා දමන වැඩපිළිවෙලක් මේ ශාසනයේ තිබෙනවා. අකුසලය නූපදින සේ කුසලය උපදවාගෙන ඉන්න අවස්ථාවක ඒ උපන් කුසලය, වැටෙන්නට, පිරිහෙන්නට නොදී සීලය තුළින් වඩන වැඩ පිළිවෙලක් තිබෙනවා. අප රැකි සීලය, මෙබඳු වැඩ පිළිවෙලකට එක්වුණා නම් ඒකාන්තයෙන් නුසුදුසුකම්, අකුසල ඉවත් වෙන්න ඕන. කුසලතා, දක්ෂතා මතුවෙන්න ඕන.

මේ තුළින් කියවෙන්නේ සතර සම්මප්පධන් වීර්ය යි. තව ආකාරයෙන් නම් නූපන් අකුසල් නූපදින සේ, උපන් අකුසල් ගෙවෙන සේ, නූපන් කුසලය උපදින සේ, උපන් කුසලය වැඩෙන සේ භාවිත කළයුතු වැඩ පිළිවෙලකු යි බුදුරජාණන් වහන්සේ මේ සියලු කුසල ප්‍රතිපදාවන් තුළින් වෙන් වෙන්ව ම හඳුන්වා දී ඇත්තේ.

වඩමු රකිමු සිත

කොහොමද මේ සිත රැක ගන්නේ? මේ සඳහා භාග්‍යවතුන් වහන්සේ වදාළ වැඩපිළිවෙළ අප සොයාගත යුතුයි. හඳුනාගත යුතුයි. අසාගත යුතුයි. මේ ශාසනයේ මූලික තැනක් කල්‍යාණ මිත්‍ර ආශ්‍රයට ලැබෙනවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ධර්මය නිවැරැදිව අසා දැන ගැනීම සඳහා මූලික වෙනවා.

අපේ ගමන නිසි ගමනක් විය යුතුයි. කල්‍යාණ මිත්‍රයාගෙන් අසාගත් ඒ ධර්මය මත ම තීරණය කරන්න බැහැ. ඒ අසා ගත් දේ අනුව තමන්ගේ සිත මෙහෙයවා ඒක එහෙමද, ඒක එහෙම වෙනව ද? එය මෙසේ වෙයි ද? කරුණු කාරණා තම සිතින් විමසා බැලිය යුතුයි. යමක් කරන්න කලින්, අනුන් කියු පමණකින්, අනුන්ගෙන් අසාගත් පමණකින් ඒ දේ කරන්නත් බුද්ධ ශාසනය තුළ පනවා නැහැ.

මේ ධර්මය එව කරව නොව, එව බලව යි. ඒහිපස්සක යි. මෙය තමන් විසින් ම දැනගෙන, දැක යා යුතු ගමන් මගක්. ඒ අසාගත් දේ අනුව තම සිත මෙහෙයවා කරුණු කාරණා නුවණින් විමසා තමන්ගේ සිතට දැනෙන්න ඕන. පෙනෙන්න ඕන.

නිවැරැදි සෘජු වැඩ පිළිවෙළක් තිබෙන්න ඕන. මේ හැම දෙයටම, සෘජු නිවැරැදි ක්‍රමානුකූල වැඩ පිළිවෙළ ඉක්මවා අතරින් පතරින් අතගාමින් මේ ගමන් මගට පිවිසීම අපහසු යි. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරිය, අනුපුබ්බ පටිපදා, පිළිවෙළින් යන ගමන් මගක් ලෙසයි මේ සමස්ත දේශනාව බුදුරජාණන් වහන්සේ ලෝකයාට වදාළේ.

ඔබගේ සිත රැක ගන්නේ කොහොම ද? රැකෙන්නේ කොහොම ද? ඒ සඳහා ගතයුතු වැඩපිළිවෙළ මොකක් ද? දැන් එතැනට අපට නිවැරැදි සෘජු පිළිතුර සොයාගත යුතු යි. මේ ගමන සම්පූර්ණ වීමට ක්‍රමාණුකූල පිළිවෙළක් අවශ්‍ය වෙනවා.

මනසේ මූලිකත්වය

'මනෝ පුබ්බංගමා ධම්මා' මනසම යි මේ දහම තුළ මූලික කොට ප්‍රධාන කොට ශ්‍රේෂ්ඨ කොට දැක්වන්නේ. අප ළඟ තිබෙන නුසුදුසුකම් මෙන් ම සුදුසුකම් තිබෙන්නෙත් සිතත් සමඟම යි. මේ දෙකම කයට හිමිකම් නො කියයි. සිත මතයි තීරණය වෙන්නේ. සුසිල් බව, දුසිල් බව කියන දේ තීරණය වෙන්නේ සිත මත. සිත අතහැර සිිත හඳුනා නොගෙන සිත රකින වැඩ පිළිවෙළින් තොරව යන ශාසනික ගමන් මඟක් භාග්‍යවතුන් වහන්සේ වදාළේ නැත.

දානයෙන් සහ භාවනාවෙන් කියවෙන්නේ එකම වැඩපිළිවෙළක්. සිත හදන, වැඩපිළිවෙළක්. අපට මේ ශාසනය තුළ ඉගෙන ගන්න තිබෙන්නේ මේ සිත වඩන හැටියි. එය මේ ශාසනයේ එක් පැත්තක් පමණ යි. සිත වැඩූ පමණින් සියල්ල සම්පූර්ණ වන්නේ නැහැ.

වැඩිය යුතු තවත් පැත්තක් තිබෙනවා. 'චිත්තං පඤ්ඤඤ්ච භාවයං' සිතයි ප්‍රඥාවයි දෙකම වඩන්න ඕන. එය වඩන්න පසුබිමක්, පදනමක් අවශ්‍ය යි. සීලය පිහිට කරගෙන සීලය සුරැකෙන ආකාරයෙන් සිතත්, නුවණත් වැඩිය යුතුවෙයි.