Print this Article


මාර බන්ධනයෙන් මිදී සිත ජය ගැනීම

මාර බන්ධනයෙන් මිදී සිත ජය ගැනීම

නිදහස පතා මිනිසුන් හා සත්ත්වයින් විවිධ දේවල් කරනු ඇත. කාම ලෝකය තුළ මිනිසුන් නිදහස වශයෙන් දකින්නේ පංච ඉන්ද්‍රියයන් හරහා ගැටෙන ආරම්මණයන් සුඛ වශයෙන් ගන්නා සංකල්පය යි. නමුදු ලෝකෝත්තර වශයෙන් ගත් කල්හි නිදහස සිදුවන්නේ මනස ජය ගැනීමෙනි. බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා සැබෑ නිදහස ලැබූ උත්තමයෝ වන්හ.

ලෞකික වශයෙන් හොඳ ගෙයක් - දොරක් වාහනයක්, රැකියාවක්, විවාහ ජීවිතයක් ආදී දේවල් ලැබීම නිදහස් ජීවිත ලෙස මිනිසුන් සලකනු ඇත. හොඳ නිවසක් හදාගෙන එහි පදිංචි වූ පසු දැන්නම් යන්තම් නිදහසක් තියෙනවා. මගේම තැනක් හදාගත්තා. ආදී වශයෙන් ප්‍රකාශ කරනු ඇත. තාවකාලික වශයෙන් මෙය නිදහසක් ලෙස සැලකීම වරදක් නැති වුව ද , බුද්ධිමත් සත්ත්වයින් වශයෙන් සැබෑ නිදහස වෙනුවෙන් අධ්‍යාත්මික සුවය සඳහා කටයුතු කළ යුතු ව ඇත. අප ඇත්තට ම නිදහස ලැබූ අය ද? ඇත්තෙන් ම නැත. අප කිසි කෙනෙකුට නිදහස් පුද්ගලයින් කියා උදම් ඇනීමට නොහැකි ය. එය සැබෑ විදියට කළ හැක්කේ බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාට පමණි. ඒ බව බුදු හිමියෝ බුද්ධත්වයෙන් පසු පළමුව කළ පී‍්‍රති වාක්‍ය තුළින් පැහැදිලි වේ.

“අනේක ජාති සංසාරං - සන්ධා විස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි - පුනගේහං නකාහසි
සබ්බාතේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා”

පඤ්චස්කන්ධය නමැති ගෙය සාදන වඩුවා සොයමින් මෙතෙක් කල් සසර සැරි සැරූයෙමි. යළි ඉපදීම දුකකි. තණ්හා නමැති වඩුවා, මා විසින් තා දක්නා ලද්දෙහි ය. නැවත තා මට ආත්ම භාවය නමැති ගෙය නො සාදන්නෙහි ය. කෙලෙස් පරාළ බිඳ දමන ලදී. අවිද්‍යා කැණිමඩල සිඳ දමන ලදි. මාගේ සිත නිවනට පැමිණියේ ය. තණ්හාව නැති වී ගියේ ය.

මේ ආදී වශයෙන් සසර පුරා ඇලී , ගැලී , වෙලී බන්ධනයන්වලට හසු වී සිටි ජීවිතය නිදහස් වූ වග බුදු මුවින්ම සතුටින් ලෝකයාට ප්‍රකාශ කිරීම ඉතා වැදගත් සංසිද්ධියකි. පංච ඉන්ද්‍රියයන්ට හසුවුන සත්ත්වයාට සැබෑ නිදහස පිළිබඳ අවබෝධයක් නො මැත. ඉන්ද්‍රියයන් හරහා ගැටෙන ආරම්මණයන් ඔස්සේ ලබන වේදනාවන් තුළින් නිදහසක් ලැබුවා යැයි සිතා සදාකාලික සිරකරුවෙකු ලෙසින් දිවි ගෙවනු ඇත. අප නිතරම මාරයාට වසඟව, යටත්ව සිටින්නවුන් ය. ඒ බව ප්‍රඥාවෙන් නොදැකීම තුළින් සිදුවන්නේ තාවකාලික නිදහසක් ලබා ඉන් සෑහීමකට පත්ව සදාකාලිකව දුක් ගින්නකට හසු වීම ය. සං.නි. මාර සංයුත්තයේ පඨම ආයු සූත්‍රයට අනුව වරක් පවට කැමැති මාරයා බුදුන් සමීපයට පැමිණ මිනිසුන්ගේ ආයුෂ දිග ය. සත් පුරුෂයා එය හෙලා නො දක්නේ ය. කිරි මතින් නිදන ළදරුවෙකු සේ විය යුතු ය. මරුවාගේ පැමිණීමක් නැත. ආදී වශයෙන් ප්‍රකාශ කළ අවස්ථාවෙහි

“මිනිසුන්ගේ ආයුෂ ඉතා අල්ප ය. සත්පුරුෂයා එය සැලකිල්ලට ගෙන හිස ගිනිගත්තකු සේ හැසිරිය යුතු ය. මරුගේ නො පැමිණීමක් නම් නැත.” යනාදී වශයෙන් බුදු රදුන් මාරයාගේ පැමිණීම ස්ථිරවම සිදුවන බව දේශනා කළහ. උන්වහන්සේ සියලු රජ සැප හැරපියා සැබෑ නිදහස සොයා ගිය අයුරු සිහි කර ගැනීම වැදගත් වේ. ලෞකික වශයෙන් විඳිය යුතු සියලු සැප සම්පත් සිද්ධාර්ථ කුමාර අවධියේ ලැබූහ. දින හතකින් සක්විති රජ සැපත ද නිශ්චිත ව ම ලැබෙන අයුරු දැන සිටියහ. නමුදු සැබෑ සැපත, සැබෑ නිදහස එය නොවන බව ප්‍රඥාවෙන් දැන, දැක මහාභිනිෂ්ක්‍රමණය කළහ. ඒ ගමනේ කෙළවර සැබෑ නිදහස ලැබීම සිදු වූ ආකාරය ඉතා පැහැදිලි ය.

අප මේ ලබා තිබෙන්නේ මායාවෙන් වැසුණු ලෝකයක අන්ධකාරයක ජීවත් වීමකි. එහි ඇත්තේ දුක් කන්දරාවකි. සැබෑ සත්‍ය, සැබෑ නිදහස සෙවීමට තරම් ප්‍රඥාවන්තයින් නොවීම තව තවත් සසර සිරවීමට හේතුවකි. චතුරාර්ය සත්‍ය තුළ නිරෝධ සත්‍ය යනුවෙන් බුදුරදුන් අවබෝධ කරගත්තේ සසර නමැති සිර ගෙදරින් නිදහස් වීම ය. සසර නමැති සිර ගෙයින් උන්වහන්සේ නිදහස් වීමේ පී‍්‍රති වාක්‍ය පළමුවෙන් ලොවට හෙළි කළහ. මෙම සසර බන්ධනයෙන් නිදහස් වීමට අද අද ම විරිය කළ යුතු ව ඇත. ලෝවැඩ සඟරාවේ කවියකින් ඒ බව අපට අවබෝධ කර ගැනීමට පුළුවන.

ඉස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස
කුසලට මදකුත් පමා නොවනු මිස
මේ සසර අත් හැර නො යන මෙ දුක් රැස
නැත සිටිනා තැන් සතර අපා මිස

ඉස ගිනිගත්තකු ඒ ගින්න නිවාගන්නාක් මෙන් කුසලයට මඳක්වත් පමා නො වීම මිස මේ සංසාරය අත් හැර නො යන්නා වූ දුක් රැස් නැති කරන වෙන උපදේශයක් ඒකාන්තයෙන් ම නැත්තේ ය. මෙහි දී පමා නො වනු යනුවෙන් සඳහන් වන්නේ අප්‍රමාද යයි. එනම් ප්‍රමාදයට ප්‍රතිපක්ෂ වූ ධර්මයෙකි. ප්‍රමාදය නම් සිහියෙන් තොරවීම යි. නොසැලකිල්ලයි. එහෙයින් සිහියෙන් නො තොරබවට සැලකිල්ලට අප්‍රමාදයයි කියනු ඇත.

සංසාරය හුදු දුක් රැසක් බැවින් එයින් නිදහස් වීමේ මඟ වශයෙන් නිවන් ලැබීමට උපනිශ්‍රයවන කුසල් රැස් කර ගැනීම මුත්, අන් මගෙක් නැත්තේ ය. දි.නි. මහා පරිනිබ්බාණ සූත්‍රය තුළින් බුදුරජාණන් වහන්සේ සැබෑ නිදහස ලැබූවෙකු බවත් එම සැබෑ නිදහස ශ්‍රාවකයින්ටද නො පමාව ලබා ගන්නා ලෙසත් දේශනා කළහ.

දැන් මගේ වයස මුහුකුරාගොස් ඇත. මගේ ජීවිතය තවත් ස්වල්ප කාලයකට සීමා වූවකි. තොප අත්හැර යන්නෙමි. මම මගේ නිදහස ඇතිකර ගත්තෙමි. මහණෙනි, පමා නොවව්! හොඳ සිහියෙන් යුක්ත වෙත්වා! සිල්වත්හු වෙත්වා! මැනවින් එකඟ වූ සම්‍යග් සංකල්පනා ඇත්තෝ වෙත්වා ස්වකීය සිත රැකගෙන යමෙක් මේ ශාසනහෙි නොපමාව වෙසේ නම් හෙතෙමේ ජාතිය හා සසර ගමන ද නැතිකොට දුක් කෙළවර කරන්නේ ය.

ඉහත ප්‍රකාශය භික්ෂු - භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස උදෙසා ම දේශනා කරන ලද්දකි. එබැවින් පුහුදුන් සෑම සත්ත්වයෙක්ම සැබෑ නිදහස කුමක්ද? යන්න තේරුම් ගෙන එය ලැබීමට වීරිය වැඩිය යුතු ය. ලෞකික ජීවිතය තුළ ලබන කිසිදු නිදහසක් සැබෑ නිදහසක් නො වනු ඇත. එයට හේතුව අප සෑම මොහොතකම මාරයාට වසඟ වී සිටීම ය. එයින් මිදීම ඇති වන්නේ කවදා ද? එදාට සැබෑ නිදහස ලැබුවෝ වම්හ. මෙම සංසාරය ඉතා දීර්ඝ ය. එහි සැරිසැරීම දුක්ඛ දායක ය. එම ගමන වෙනස් වන සුළු ය. කුමන සැප සම්පත් ලැබුව ද ,ඒ සියල්ල ක්ෂණයකින් දුකකට පරිවර්තනය වනු ඇත. පංච ඉන්ද්‍රියයන් හරහා සිදුවන සියලු දේ දුක් සහගත ය. ඒ හරහා කටයුතු කරන සෑම මොහොතක් පාසාම මාරයාට යටත්ව සිටිනු ඇත. එබැවින් මනස ජය ගැනීම කළ යුතුව ඇත. මනසේ දියුණු ම තැන සැබෑ නිදහස ඇත. ඒ සඳහා ප්‍රඥාව තුළ සිට අප්‍රමාදීව කටයුතු කළ යුතුව ඇත.

අ.නි. මහා වග්ගට අනුව බුදු හිමි දේශනා කොට ඇත්තේ සියලුම සංස්කාරයෝ අනිත්‍යය. වෙනස්වන සුළු ය. “සංස්කාර සැපත හෝ සතුට ලබා නො දෙයි. මෙම සංස්කාරයන් හේතුකොට පුද්ගලයා විඩාවට පත්ව, කලකිරී ඉන් සම්පූර්ණයෙන් ම මිදිය යුතු ය. ආදි වශයෙන් දේශනා කොට තිබීමෙන් ද, සැබෑ නිදහස කුමක්දැයි වටහා ගැනීමට පුළුවන. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියයන් පස නිරන්තරයෙන් කැඩෙන බිඳෙන සුළු ය. ලෝකය යනු ද එයම ය. ‘ලුජ්ජති පලුජ්ජතීති ලොකො’ ඒ අනුව එවැනි කැඩෙන බිඳෙන ලෝකයක් තුළ සැබෑ නිදහසක් කොයින් ද?

මේ බව සිතට ගෙන ලද මිනිසත් බව ප්‍රඥාගෝචරව කටයුතු කළ යුතුව ඇත. දුර ගමන් යන්නා වූ ද, තනිව හැසිරෙන්නා වූ ද, ශරීරයක් නැත්තාවූද, ශරීර ගුහාවේ නිදන්නා වූද, මේ සිත යමෙක් සංවර කරත්නම්, ඔවුහු මාරයාගේ (මරණයේ) බන්ධනයෙන් මිදෙන්නාහ. සැබෑ නිදහස ඇත්තේ මාර බන්ධනයෙන් මිදීම තුළින් ම බව සිතට ගෙන පංච කාමයන්ට ම වසඟ නොවී, මාරයාගේ සිරකරුවෙකු නොවී, ඒවා ක්‍රමක්‍රමයෙන් ඉවත් කොට සිත ජය ගැනීමටත්, සංසාර චක්‍රයෙන් අත් මිදීමටත් උත්සාහවන්ත විය යුතු ය.