Print this Article


පහන් සිතක කවි

විශ්ව වෙසක්

සැකි මුනි සිහ අපරි අමර වජිර විරාගී
අප්‍රමාද සසර පුරා නිවා සරාගී
තිලෝ තිලක ආර්ය මහිම දෙසූ සමාධි
යළිත් වෙසඟ සඳ නැගුණා විශ්ව ගවේසී

සිරි සදහම් තුන් පිටකය හඬින් හඬ නගා
මුනි තෙමඟුල සත සනහන බවුන් වඩ වඩා
ඉපිද මැරෙන යළි ඉපදෙන සෝක දුක් නිවා
ධර්ම ධජය හදේ නගමු නිවන් සිරි පතා

උතුම් වෙසඟ බඹ විහරණ නිර්මල පිවිතුරු
සිරිමත් සිරි සද්ධර්මය ලොවි ලොව් තුරු
සිරි ධිති මති තේජ අසිරි විනීත හද පිරූ
සුගන්ධනී වෙසඟ දිනය නමදිමු අමයුරු

****

තෙමඟුලේ අසිරිය

වෙසක් සඳේ රැස් දහරින්
ලොවම එළිය කරමින්නේ
ලුම්බිනියේ මල් සුවඳට
දෙව් බඹුනුත් ඇහැරෙන්නේ

සල් සිසිලස විඳිමින්නේ
සිදුහත් කුමරු උපදින්නේ
රන් සියපත් සුපිපෙන්නේ
පියුම් සුවඳ පැතිරෙන්නේ

දස පාරමි පුරා තුටින්
සංසාරය නිම කරමින්
වෙසක් සඳත් බබළවමින්
ගෞතම බුදු සමිඳු නමින්

වෙසක් සඳ බැස යමින් තිබුණා
මිහිකතත් සෝ සුසුම් හෙලුවා
දහම් අමා රස දසත පතුරා
බුදු සමිඳා පිරිනිවන් පෑවා

****

වෙසක් සඳ

සිව් මහ දෙවිඳු කළ ඇරැයුම ලැබුණ සඳ
බෝසත් දෙවිඳු පා සතහට සෙනෙහෙ හද
සත් රත් නෙළුම් මත ලුම්බිනි උයන මැද
සම්බුදු උපත දුටුවා පුර වෙසක් සඳ

****

භගවත් පියාණෙනි

ගොයුම් ගොත් සුගත භගවත් පියාණෙනි
සියුම් සිත් සමාධිය මත සුව සැදුනී
පියුම් ගැබ තුළින් එන රොන් සුවඳ වැනී
නිවන් සිත ඔබේ පා යුග වඳිමි හිමි

****

සිතිවිලි

බුදු පුත් පුංචි රාහුල හිමියන් ලෙසට
හැදුණොත් ඕවාද පිළිපදිමින් හොඳට
කොතනත් බැබළේ ලු සඟ රුවනක් ලෙසට
හිතුණොත් බැරි නෑලු අවාවාදය යි මට

****

ගසක් මුල දී

ගසක් මුලදි උපත ලබා ගසක් මුලදි සැපත ලැබුව
ගසක් මුලම විපත තබා මුළුතුන් ලෝකෙටම පබුව
වෙසක් මහේ පුන් පෝදා සිදුහත් බෝසතුන් බුදුව
නමක් තැබු විශ්වය තුළ සදාතනික බවින් යුතුව

****

ස්ථම්භයක් ම යි

බුදු හිමියනි
ඔබ කෙරෙහි
මා සිත නැඟුණා
බුදු භක්තිය
කිසිදාකත්. කිසිවකුටත්
බිඳලිය නොහැකි
ඒෂිකා ස්ථම්භයක්ම යි
සත්තකින්ම