Print this Article


බෞද්ධ ආර්ථික කළමනාකරණයක අසිරිය

ගී බණ පද - 07

බෞද්ධ ආර්ථික කළමනාකරණයක අසිරිය

හරිහම්බ කරපු දේවල්
දුක් මහන්සියෙන්
දනට පිනට ගෙදර දොරට
දුන්නේ මං හිතේ මනාපෙන්

දෑත දෙපය ඇති දැඩි කළ
මතු බුදුවෙන මව්පියන්ට
එකම මවට අම්මේ කියූ
එක පවුලේ ්සොහොයුරන්ට
හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්
ගෙදර දොරට දුන්නේ මං හිතේ මනාපෙන්

ජීවිතයම දුකයි කියා මහණ වෙච්ච යතිවරුන්ට
මග හමුවෙන නැති බැරිකම්
උතුරා ගිය මිනිස්සුන්ට
හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්
දනට පිනට දුන්නේ මං හිතේ මනාපෙන්

පද රචනය - රඹුකන සිද්ධාර්ථ හිිමි

සංගීතය - රෝහණ වීරසිංහ

ගායනය - එඩ්වඩ් ජයකොඩි

සිංහල බෞද්ධ ගීත අතර හරිහම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් යන ගීතය සුවිශේෂී ගී පද රචනාවක් ලෙස හඳුන්වා දිය හැකි ය. සම්මා සම්බුදු අමාමෑණී ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය එම ගීතය තුළ අන්තර්ගතව පැවතීම එයට හේතු වේ. තුන් ලොවක් සනහාලූ උන්වහන්සේ පුද්ගලයකුගේ ජීවිතයේ ප්‍රභාමත් අවස්ථා පිළිබඳ දේශනා කළ අවස්ථා ඇත. ප්‍රභාමත්, අසිරිමත් ජීවිතයක් ගතකරන පුද්ගලයා විසින් වෙහෙස මහන්සි වී දහදිය වගුරුවා හරිහම්්බ කළ යුතු ය. කම්මැලිව, කුසීතව, උට්ඨාන වීර්යයෙන් තොරව ජීවත්වීම බුදුරජාණන් වහන්සේ අනුමත නො කළ සේක. අලසකම දුරලා, බාහු බලයෙන් ,උට්ඨාන විර්යෙන් හරිහම්බ කළ යුතු බවට බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

පැහැදිලි අනාගතයක් ඇති, යහපත් පෞරුෂත්වයකින් යුතු පුද්ගලයකුගේ ස්වභාවය එය වේ. එසේ හරිහම්බ කළ දේ වියපැහැදැම් කළ යුත්තේ කෙසේ ද ? යන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

තමන් හම්බකළ දේ තමාගේ පරිභෝජනය සඳහා වියපැහැදම් කළ යුතු වේ. ඇතැම් පුද්ගලයන් හම්බකළ ද, නොකා නොබී ඉතිරි කිරීමට පෙළ ඹේ. තමන් හරිහම්බ කළ දේ පරිභෝජනය සඳහා වියදම් කළ යුතුවා සේ ම, තවත් කොටසක් තමන් සන්තකයේ තිබිය යුතු බවට ද බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. අනන සූත්‍රයේ දී අත්ථි සුඛ යනුවෙන් දක්වා ඇත්තේ ද එම කාරණව ය. අත්ථි සුඛය ඇති පුද්ගලයා තමා හරිහම්කළ දේ වියපැහැදම් කරමින් සතුටු වේ. එය භෝග සුඛ නම්න් හැඳින් වේ. තමන් හරිහම්බ කළ දේ භෝග සුඛ වශයෙන් පරිභෝග කරන්නේ කෙසේ ද?

ඇතැමුන් තමන් භුක්ති විඳින අතර, ඇතැමුන් තමාගේ අඹුදරුවන් පෝෂණය කිරීම සඳහා ගෙදර දොරට වියපැහැදම් කරනු ලබයි. එය දුක් මහන්සියෙන් ධාර්මිකව හරිහම්බ කළ ධනයක් විය යුතු වේ. එම ධනයෙන් කොටසක් පරලෝක සුභසිද්ධිය පිණිස ද , දනට පිනට පූජා කරයි. එැවැනි ආකාරයේ යහපත් ජීවිත යහපත් ජීවිතයක් ගතකරන පුද්ගලයන් ලෙස බණ පොතේ සඳහන් වේ. එවැනි පුද්ගලයන් නින්දා නොලබා යහපත්ව ජීවත්ව නිවන් සම්පත්තිය ලබාගන්නා පිරිසක් ලෙස දක්වා ඇත.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය මේ ගී පද රචනාව පුරා දක්නට ලැබේ. තමන් ජීවිත කාලය තුළ ධාර්මිකව හරිහම්බ කළ දේ තමන්ගේ හිතේ මනාපෙන් දනට පිනට , ගෙදර දොරට දුන් බව එමඟින් ප්‍රකාශ වේ.

යහපත් කුටුම්භ ජීවිතයක් ගත කරන පුද්ගලයකු විසින් කළ යුතු පිළිවෙල මෙය වේ. හරිහම්බ කළ යුතු දේ දන පින ගේ දොර සඳහා වියපැහැදැම් කළ යුතු බවය. එසේ වියපැහැදැම් නොකර වෙනත් දේ සඳහා වියපැහැදම් කිරීම නොකළයුතුය.ඉත්ථි දුත්ථ, සුරා දුත්ථ වැනි කායික මානසික අවශ්‍යතා සඳහා වියදම් කිරීම පින් වැඩෙන ජීවිතයක් ගත කරන පුද්ගලයකුගේ ලක්ෂණයක් ලෙස දක්වා නැත.

පින් වැඩෙන ජීවිතයක් ගත කරන, ධාර්මිකව උපයන ලද ධනය ධර්මානුකූලව යොදවන ලද පුද්ගලයකුගේ ජීවිතය පිළිබඳව එම ගීතය පුරාම විග්‍රහ වේ. එසේ ජීවත්වීම ඔහු ලබන ජීවන සංතෘෂ්ටියක් වේ. තමාගේ ජීවිත කාලය තුළ එවැනි වෙහෙස මන්සියෙන් උපයාගත් ධනය කළමනාකරණය කරගනිමින් වියපැහැදම් කිරීම දක්ෂ පුද්ගලයකුගේ ලක්ෂණයක් වේ. මුදල් හම්බකිරීම සඳහා බුද්ධිමත්වීම අත්‍යවශ්‍යම කාරණාවක් නොවුණත් බුද්ධිමත්වීම තුළ එය වඩාත් නිවැරැදිව කළ හැකි වේ. එසේ වුවද, හම්බ කළ මුදල වියදම් කිරීෙමි දී බුද්ධිමත් විය යුතුමය. බුද්ධිමත් නොවූ පුද්ගලයකුට හම්බ කළ ධනය මැනවින් කළමනාකරණය කර වියපැහැදම් කළ නො හැකි ය. එනිසා මුදල් වියදම් කිරීමේ හැකියාව පවතින්නේ බුද්ධිමත් පිරිසට පමණි. දක්ෂ පුද්ගලයකු වීමට නම්, ප්‍රඥාව සහිත බුද්ධිමත් පුද්ගලයකු බවට පත්විය යුතු බව බුදුදහම අවධාරණය කෙරේ.

එවැනි ආකාරයෙන් ප්‍රඥා සම්පන්න වූ පුද්ගලයකුගේ ජීවිතය පිළිබඳව මේ ගීතයෙන් විවරණය වේ. ගීතය වැනි සෞන්දර්ය කලා මාධ්‍යයක් තුළ බෞද්ධ අදහස් නිවැරැදිව නිවරවුල්ව ප්‍රකාශ කිරීමට උත්සාහ ගැනීම තුළ එම ගීතය බෞද්ධ ගීතයක් ලෙස හැඳින්විය හැකි ය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය එම ගීතය තුළ අන්තර්ගත වීම එයට හේතු වේ.

ධර්මානුකූල ජීවිතයක් ගතකරන පුද්ගලයකු තමන් හරිහම්බ කළ යුතු මුදල වියදම් කළ යුත්තේ කෙසේද? යන කාරණාව එම ගීතය තුළ පැහැදිලි කර ඇත. බුදුදහමේ උගන්වන ගැඹුරු අදහස ඉතාම සරල පදරචනාවක් තුළ මිහිරි හඬකින් ලයාන්විත සංගීත රටාවකින් එම පණිවුඩය සමාජයට සන්නිෙවිදනය වීම බෞද්ධ ගීත අතර විශිෂ්ට ගීතයක ලක්ෂණ විදහා පායි.