Print this Article


චිත්ත පාරිශුද්ධියට දැක්ම පිරිසුදු විය යුතු ය

චිත්ත පාරිශුද්ධියට දැක්ම පිරිසුදු විය යුතු ය

අප සැම දෙනාගේ ම බලාපොරොත්තුව නිවන යි. නිවන නම් වූ ඒ අමා ඵලය ලෙහෙසියෙන් ලබන්නට පුළුවන්කමක් නැහැ. ඒ අමෘත මහා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා සොඳුරු වූ ඥාන දර්ශනයක අවශ්‍යතාව ඇති විය යුතු යි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපදාව දැනගත යුතු වෙයි.

ඒ ප්‍රතිපදාව හමුවන්නේ මෙය මඟය, මෙය නො මඟය, මාර්ගය සහ මාර්ගය නො වන මාවත වෙන් වෙන්ව හඳුනා ගැනීමෙන් අනතුරුව ය. මඟ නො මඟ පිළිබඳව දැනුම ලැබෙන්නට නම් දහමෙන් නිසැක විය යුතු වෙයි. ඒකාන්තයෙන් ම මේ ධර්මය මෙසේ මෙනෙහි කළහොත් මේ ආකාරය ම වන්නේ ය. මෙසේ මෙනෙහි කළහොත් ඒ ආකාරය ම වන්නේ ය. කියා දැන ගැනීම වැදගත්.

අප දන්නවා බොහෝ වෙලාවට මේ ගමන් මඟ සීලයෙන් ආරම්භ වන බව. බොහෝ දෙනා කතා කරනවා සීලය ගැන. එහි ආරම්භයට පදනමක් අවශ්‍ය යි. නමුත් ඒ සීලය, සම්පූර්ණ වීමට පෙර සම්පූර්ණ කරගත යුතු තවත් ගුණාංග සමූහයක් තිබෙනවා.

ප්‍රසන්න වූ මනස මුල් කරගෙන කරන ක්‍රියාවන්ට කුසල් කියනවා. සීලය සම්පූර්ණ වීමට සිත ද පිරිසුදු විය යුතු වෙනවා. සිත පිරිසුදු වීමට දැක් ම පිරිසුදු විය යුතු යි.

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළවීමටත් පෙර දානය ද, සීලය ද, භාවනාව පැවතුණා. බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගන්නා දින මහාමායා දේවිය පවා පෙහෙවස් සමාදන් වී සිටි බව අප දන්නවා. බොහෝ දර්ශනවාදීන් සිටි එදා ඒ ඉන්දියානු සමාජයේ ශාස්තෘන් සහිත ශ්‍රාවක සමූහයා පෝෂණය කළ දායක පිරිස් සිටියා. ලක්ෂ ගණන් මුදල් වැයකොට මහා දන්සල් පැවැත් වූ දානපතින් සිටියා. ඒ වගේ ම ආලාරකාලාම, උද්දකාරාමපුත්ත, අසිත,කාලදේව වැනි ධ්‍යාන සමාපත්ති දක්වා සිත් වැඩූ බොහෝ ශාස්තෘන් වහන්සේලා සිටි බවත් ධර්මය තුළින් ම හමුවෙනවා. ඒ කියන්නේ දාන, සීල, භාවනා කියන තුන් ප්‍රතිපදාව ම අතීතයේත් පැවතුණා.

ඒ වගේ ම මේ ශාසනය තුළත් දාන, සීල, භාවනා, සීල, සමාධි, ප්‍රඥා මේ ලෞකික ලෝකෝත්තර මාර්ග පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළා. උන්වහන්සේගේ දේශනාව කිනම් අර්ථයක් උදෙසා ද යන අදහස පැහැදිලිව නිවැරැදිව සෘජුව හඳුනාගත යුතුයි.

උන්වහන්සේ කල්ප ගණනක් දුක් විඳ, මහන්සි වී ලෝක සත්ත්වයා සසර ගමනින් එතෙර කරවන්නයි ලෝකයට පහළ වුණේ. වෙන කිසිදු අපේක්ෂාවකින් නොවේ. සම්බුද්ධත්වයට පත් වූ උන්වහන්සේට බුදුවීමෙන් අනතුරුව තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය ගැඹුරින් විමසා බලද්දී මේ ධර්මය මේ ලෝකයාට දරා ගන්නට හැකිවේවිදැයි බුදු සිතෙහි සිතිවිල්ලක් පහළ වුණා.උන්වහන්සේ විසින් ලෝකයා දෙස විමසා බලද්දී මේ ලෝකයේ ගත කරන ජීවිත අතර දෙ පිරිසක් උන්වහන්සේ හඳුනා ගත්තා. අල්ප රජස්ක සහ මහා රජස්ක ලෙස. අල්ප රජස්ක කිව්වේ කෙලෙස් අඩු. මහා රජස්ක කිව්වේ කෙලෙස් වැඩි.

කෙලෙස් අඩු අය හරියට මඩ දිය ඉක්මවා උඩට මතුවුණ නෙළුම් කැකුළකට උන්වහන්සේ උපමා කළා. හරියට හිරුගේ පහස නො ලදහොත් විකසිත නො වන්නා සේ, ඒ මල විකසිතව ලොව සෝභාමාන නො කරන්නා සේ ය. එහෙත් ඒ මතුපිටට පැමිණි පියුම් කැකුළට හිරුගේ පහස ලදහොත් ඒ මල විකසිතව ලොව සෝභමාන කරන්නා සේ එබඳු සත්පුරුෂාදීන්ට මේ ධර්මයේ පහස නො ලදහොත් ඒ හද මල් විකසිත නො වන පරිදි, ලෝකයා සෝභමාන නො වන බව උන්වහන්සේ දැක වදාළා.

අල්ප රජස්ක වූ එබඳු අයට මේ ධර්මයේ පහස ලදහොත් ඒ හද මල් විකසිතව ලෝකය ශෝභමාන කළ හැකි බව උන්වහන්සේ දුටුවා. සෑම හිමිදිරියක ම මහා කරුණා සමාපත්තියට සම වදිමින් ලෝකය දෙස විමසමින් එබඳු වූ අය කො තැනක සිටින්නේ දැයි සොයා බලමින් අද කවුරුන් හට පිහිට වන්නේදැයි හඳුනා ගැනීමට උන්වහන්සේ ඔවුන් කරා වැඩම කළ ආකාරය මුළු බුදු සිරිත පුරාවට ම අපට අසන්නට දකින්නට ලැබෙනවා. ඒ සඳහා උන්වහන්සේ සීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත ලෝකෝත්තර මාර්ගය භාවිත කරමින් ඔවුන්ට සංසාර ගමන නිමා කිරීමට අවශ්‍ය දහම් මඟ කියා දී ලොවුතුරු සුවයෙන් සැනසීම ළඟා කර දුන්නා.

මහා රජස් වූ බොහෝ පිරිසක් පිළිබඳව උන්වහන්සේට ඊටත් වඩා වැඩි මහා කරුණාවක් පැවතුණා. එනිසා බුදු නුවණින් විමසුවා මේ අයට මම පිහිට වන්නේ කෙසේ ද මේ පිරිසගේ සංසාර ගමන නිමා කරවන්නේ කෙසේද කියා. මහා රජස්ක ඇති පිරිස ද ටිකෙන් ටික ඒ කෙලෙස් සහගත අකුසලතාවයන් මඟ හරවා කුසලතාවයන් මතුකර ගැනීමේ අදහසින් සුදුස්සන් බවට පත්කර ගැනීමේ අදහසිනුයි උන්වහන්සේ මේ සීලාදී පුණ්‍ය ප්‍රතිපාදවන් ලෝකයට වදාළේ.

ඒ නිසා දාන, සීල, භාවනා වුවත්, සීල, සමාධි, ප්‍රඥා වුවත් ඒ සියලු ගමන් මඟ ගංගා, යමුනා, සරභූ, මහී, අචිරවතී මේ සියලු ගංගාවන් මුහුදට ම නැමිලා සමුද්‍රයට ම බරවෙලා, මුහුද දිසාවට ම ගලනවා වගේ මේ සියලු ධර්මෝපදේශයන් නිවනට ම හැරී නිවනට ම බර වී නිවන දිසාවට ම ගලා බසිනා දහම් දිය දහරාවන් බවයි අප හඳුනාගත යුත්තේ.