Print this Article


ප්‍රභාෂ්වර සිත

ප්‍රභාෂ්වර සිත

මෙම ලිපියෙහි පළමු කොටස වෙසක් පුර පසළොස්වක පෝදා අපේ‍්‍රල් 29 වනිදා පත්‍රයේ පළවිය

සැම අවස්ථාවකම රාගය පවතින්නේ නැහැ. අවස්ථානුකූලවයි රාගය පහළ වෙන්නේ. රාග සිත් ඇති වී නැතිවී ගියත්, ‘රාග අනුසය’ බවට පත් වෙනවා. රාගය, නිදි. නිතරම තරහා ක්‍රෝධ නැහැ. පටිඝ අනුසය ‘අවදි වී’, ‘ක්‍රියා වී’, යළි ‘නිදිගත් ස්වභාවයට’ පත් වෙනවා.

මේ නිසාම – ‘අනුසය ශක්තිය වැඩි වෙනවා.’

මේ ‘නිදිගත් ස්වභාවයෙන් යුක්ත වූ ගති අවදි වී’ වීථි සිත් පහළ වී ඒ ක්‍රියාව සිදුවන විට – ප්‍රභාෂ්වර ගතිය, පැහැදිලි ගතිය නැහැ. මෙයට කියනවා. ආගන්තුක උපක්ලේශ නිසා පිරිසුදු බව නැති වෙනවා කියා.

නමුත් ඒ වීථි සිත් ඇති වී නැතිවන විට, නැවත පිරිසුදුභාවය කියන භවාංගයට පත්වෙනවා.

මේ නිසා, භවාංග සිත පහළවන අවස්ථාවට පමණක් ‘තාවකාලික’ පිරිසුදු භාවයක් තිබෙන්නේ, කියා අපට මේ අවස්ථාවේ දී සිතන්නට සිදු වෙනවා.

මව් කුසයේ ගතකරන කාලය තුළදීත්,’ සිත් ඇතිවෙමින් නිරුද්ධ වෙනවා.’

’නැවත සිත ඇති කරවන්නා වූ භව හේතුව‘ නිසා නැවතත් පහළ වෙනවා.

මෙවැනි ස්වභාවය, ඒ මව් කුසයේ ගත කරන කාලය අවසන් වන විට මෙලොව බිහි වී මවගේ සම්බන්ධය අතහැරෙනවා. අපි දන්නවා මවගේ සම්බන්ධය අතහැරුණු විට ‘ආශ්වාස ප්‍රශ්වාස’ සිදු විය යුතුයි.

එනම් ආශ්වාස වාතය, ‘මවු කුසයේ සිට ම සැකසුණු ලේ ධාතුවත්’ සමඟ පෙණහැල්ලේ දී සංයෝග වී, හදවතට වැටී, යම් උණුසුමක් සහ ශක්තියක් ඇති වෙනවා.

හදවතේ ක්‍රියාකාරිත්වයෙන් ආශ්වාස වාතයේ සහ ලේ ධාතුවේ සංයෝගය මුළු ශරීරයේ ම රූපාංශු කරා පැතිරෙනවා. මේ ක්‍රියාකාරිත්වය නිසා මුළු ශරීරයේ ම රූපාංශු උණුසුම් වෙනවා.

ඒ නිසා තමයි – ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, හදවත මුල් කොට ක්‍රියාකාරි බවක් පවතින්නේ. මළ කඳකට යා නොදී, නැවත නැවත සීතල වන විට උණුසුම් වන්නේ පණ තිබෙන්නේ, මෙන්න මේ ආශ්වාස වාතය සහ ලේ ධාතුව පෙණහැල්ලේ දී සංයෝගව හදවතට වැටී පසුව ‘දහන ක්‍රියාවෙන් උණුසුම සහ ශක්තිය ඇතිවන නිසයි. ඒ වගේම ‘හදවතේ ක්‍රියාකාරිත්වය නිසා’ මෙම සංයෝගය ශරීරය පුරා රූපාංශුවල පැතිරී දහනයෙන් උණුසුම ඇති වීම නිසයි.

මේ ‘ආයුෂයාගේ පැවැත්ම’ හේතු කොට “උණුසුම ඇතිවීම” නිසා ඇස, කන...ආදි ‘ප්‍රසාදයන් අලුත් වෙනවා.’

මේ අවස්ථාව ගැන කථා කරන විට ‘කුඩාම කුඩා අවස්ථාවේ ප්‍රසාදයන්ට ගෝචර රූප ගැටෙනවා.

එනම්, ඇසේ පැහැදිලිතාවයට , ආලෝකය උදව්වෙන්, ඉදිරියේ ඇති වර්ණ රූපයේ ඡායාව වැටෙනවා.

ඒ අවස්ථාවට යොමු වීමෙන් යම් දැන ගැනීමක් ඇති වුවත්, ඒවා’ රැඳෙන ස්වභාවයක් නැහැ’.

එතන අතහැරෙනවා.

කුඩා දරුවෙක්,

යමක් සිතකින් අල්ලා ගැනීමක් නැති බව අපට පෙනෙනවා. ඒ නිසා ඒ බාල කාලයේදීත් පඤ්ච ඉන්ද්‍රියයන් අරභයා ‘නිදිගත් කෙලෙස්’ අවදිව ක්‍රියා නොකරන ආකාරයක් පැවතෙනවා. ඒ නිසා කුඩා කාලයේ දී සිතෙහි ‘තාවකාලික’ පිරිසුදු භාවයක් පැවතෙන බව අපට පෙනෙනවා.

ඇතැම් විට පඤ්ච ඉන්ද්‍රියයන්ට යොමු නොවී, මනෝද්වාරය ක්‍රියාකාරි වන විට, අතීත ගති එකතු වී ක්‍රියාවෙන අවස්ථා තිබෙනවා.

මනස මුල්කොට අනුසය ගති අවදි වී,

පහළවන සිතිවිලිවලට සංග්‍රහ වී

මනෝ විඤ්ඤාණයේ දැන ගැනීමට බඳුන් වෙනවා

ඒකයි පුංචි දරුවන් ගැස්සෙන්නෙ, භය වෙන්නෙ, නිදාගන්නා විට පවා එවැනි ස්වභාවයක් පෙනෙන්නට තිබෙනවා. ඒ මේ ජීවිතයේ හේතුවක් නොවෙයි, ‘භව ගතිය’ සංග්‍රහවන නිසයි.

‘පඤ්චද්වාරයට ගෝචර රූප හමු වී සිත පහළ වන අවස්ථාවට’– පැහැදිලි කළ ආකාරයට සිතෙහි ‘යම් පිරිසුදුතාවයක්’ පැවතෙන බව පෙනෙනවා.

මේ ස්වභාවය තේරුම් ගැනීමට මජ්ක්‍ධිම නිකායේ සමණමණ්ඩිකා සූත්‍රය අපට උපකාර වෙනවා. පඤ්චකංග නම් වඩුදෙටු තුමා සමණමණ්ඩිකා පුත්‍ර උග්ගහමාන පරිබ්‍රාජක කරා එළැඹුණා. සිහිකටයුතු කථා නිමවා එකත් පසෙක හුන් වඩුදෙටු හට පරිබ්‍රාජක තෙමේ මෙසේ කියා සිටියා.

“වඩුදෙටුව, මම සතර කරුණෙකින් සමන්නාගත පුරුෂ පුද්ගලයා සම්පූර්ණ කුසල් ඇති, උතුම් කුසල් ඇති, උතුම් තත්ත්වයට පත් වාදයෙන් නොසෙල්වෙන ශ්‍රමණ යැයි පනවමි. කවර කරුණු සතරකින් ද, වඩුදෙටුව, මෙලොව කිසිවෙක් කයින් පව්කම් නොකෙරේද, ලාමක වචන නොකියා ද ? එනම් කේලාම්, පරුෂ වචන, හිස් වචන, බොරු නොකියයි නම් ලාමක සංකල්ප නොකෙරේ ද? (එනම් කාම, තරහා, ක්‍රෝධ, වෛර, හිංසා ආදි ලාමක කල්පනා නොකෙරේ ද) ලාමක, ආජීවය නොකෙරේ ද (එනම් ලාමක දිවි පැවතුම් ක්‍රම නොකෙරේ ද?) මේ සතර කරුණෙකින් සමන්නාගත පුරුෂ පුද්ගලයා සම්පූර්ණ කුසල් ඇති, උතුම් කුසල් ඇති, උත්තම තත්ත්වයට පත්, වාදයෙන් නොසෙල්වෙන ශ්‍රමණ යැයි පනවමි”

ඒ අවස්ථාවේ දී පඤ්චකංග වඩුදෙටුතුමා සමණමණ්ඩිකා පුත්‍ර උග්ගහමාන පරිබ්‍රාජකගේ අදහස කෙරෙහි සතුටු නොවී, ප්‍රතික්ෂේප ද නොකොට, භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ, භාග්‍යවතුන් වහන්සේ වන්දනා කර මේ සිදු වූ කථා සල්ලාපය භාග්‍යවතුන් වහන්සේට දන්වා සිටියා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. “සමණ්මණ්ඩිකා පුත්‍ර උග්ගහමාන පරිබ්‍රාජකගේ වචනය අනුව, බාල වු උඩුකුරුව හෝනා ළදරු කුමරු සම්පූර්ණ කුසල් ඇති, උතුම් කුසල් ඇති, උත්තම ප්‍රාප්තියට පත්, වාදයෙන් නොසෙල්වෙන ශ්‍රමණ වෙනවා. වඩුදෙටුව, බාල වු උඩුකුරුව හෝනා ළදරු කුමරු හට තමන් ය,අනුන් ය යැයි කාය විඤ්ඤාණයකුදු නොවෙයි, ස්පන්දන මාත්‍රය හැර පව්කම් කරන්නේ ද?, එනම් කාය කර්මයෙන් පව්කම් නොකරන බවයි. ළදරු කුමරු හට ‘මිථ්‍යා, සම්‍යක් භේද ඇති’ වචනදු නොවෙයි, හැඬීම පමණක් මිස ලාමක වචන කියන්නේ ද? ළදරු කුමරු හට “මිථ්‍යා, සම්‍යක් භේද ඇති’ සංකල්පනා ද නොවෙයි , හැඬීම් සිනාසීම් මාත්‍රයක් මිස ලාමක සංකල්ප කරන්නේ ද? උඩුකුරුව හෝනා ළදරු කුමරු හට ‘මිථ්‍යා, සම්‍යක් භේද ඇති’ ආජීවද නොවෙයි, මවගේ තනකිරි මිස ලාමක ආජීව කරන්නේ ද? එසේ ඇති කල්හි සමණමණ්ඩික පුත්‍ර පරිබ්‍රාජකගේ වචනය අනුව බාල වු උඩුකුරුව හෝනා ළදරු කුමරු පිරිපුන් කුසල් ඇති, උතුම්’ කුසල් ඇති, උත්තමප්‍රාප්තියට පත් වාදයෙන් නොසෙල්වෙන ශ්‍රමණ වන්නේ ය”

සමණමණ්ඩිකා සූත්‍රයේ පෙන්වන මෙම කරුණු අනුව, බාලවු උඩුකුරුව හෝනා ළදරු කුමරුගේ සිතෙහි තාවකාලික පිරිසුදු භාවයක් පැවති බව පැහැදිලි වෙනවා.

ජීවිතය ටිකක් ගත වන විට, කුඩා ම කුඩා දරුවාට මවුපියන්ගෙන් ‘අනුකරණයක්’ ලැබෙනවා. කෑම ටික කන්න, ඇවිදින්න, ශරීරය පිරිසුදු කර ගන්න. ඇඳුමක් මාරුකර ඇඳුමක් අඳින්න. භාෂා උච්චාරණය කරන්න.

උදාහරණයක් ලෙස ‘දෙවරක් එක දෙකයි. දෙවරක් දෙක හතරයි’ ආදී ලෙස ගණිත චක්‍රය භාවිතා කළ විට, යම් අවස්ථාවක, ‘දෙවරක් පහ දහයයි’ ලෙස සිහියට නැගෙනවා සේ, කුඩා දරුවාට ජීවිතය ගත කිරීමට අදාළ කාරණා භාවිතයක් කරවනවා.

‘දෙවරක් පහ’ කියන විට ‘දහයයි’ කියා සිහියට නැගුණා වගේ අනෙකුත් දේත් භාවිතා වූ ආකාරය නිසයි සිහියට නැගෙන්නේ. භාවිතා කර අත්හැරෙන විට ‘සිතේ ස්වභාවයක්’ තමයි අවස්ථානුකූලව ‘සිහියට නැගෙන්න හේතුවක් වීම’. ‘වඩාත් භාවිත කළහොත්’ – වඩාත් ඒ ‘සිහියට නැගීමේ හේතුව ශක්තිමත් වෙනවා.

ඒ නිසා ජීවිතය තවදුරටත් ගතවන විට ඒ කුඩා දරුවා තුළත් අවස්ථානුකූලව කෑම ටිකක් ලබාගන්නා ආකාරයත් ‘සිහියට නැගී, ක්‍රියා වෙනවා’. පියවරක් ඔසවා පියවරක් තබා ඊළඟ පියවර සෙමින් ඔසවා ඉදිරියෙන් තබන ආකාරයත් ‘සිහියට නැගී, ක්‍රියා වෙනවා’. ඒ ‘සිතට භාවිතා වූ ක්‍රමය නිසයි’.

ශරීරය පිරිසුදු කරගන්නා ක්‍රම පිළිවෙළ ක්‍රියා වෙනවා. භාෂාව සෙමින් සෙමින් උච්චාරණය වෙනවා.

මේ අවස්ථාවෙහි අපි ‘ඒ දරුවා ඒ දේ කරනවා’ කියා කීවාට ඒ දරුවාට ‘තමන් කරනවා’ කියා ‘හැඟීමක් නැහැ’. එතන සිදුවන්නේ ‘භාවිත වූ ආකාරයට අනුව සිහිය පහළ වී’ ‘හේතුඵල වීමක්’ . එසේ ‘හේතුඵල අනුව සිත පහළ වීමට’ - මේ ආශ්වාස වාතය ලේ ධාතුව සමඟ සංයෝග වී ශක්තිය ලැබෙන්න ඕනේ.

‘ශක්තිය මුල් වී’ භාවිත වූ ආකාරය සිහියට නැඟී ‘වේතනාවේ ක්‍රියාවක්’ වෙන්නේ ය.

ඒ ඒ අවස්ථාවට අනුව ‘හේතු යෙදෙන විට සිත, සිතිවිලි පහළව ක්‍රියා ඇති වී නැතිවීමක්’ වන්නේ ය. ප්‍රශ්වාස වීම – පහළ වන ක්‍රියා නිරුද්ධ වන බවට ලකුණක් ය.

මෙම ලිපියෙහි තවත් කොටසක් වෙසක් මස අමාවක පෝදා මැයි මස 15 වනදා පත්‍රයේ පළවේ.