Print this Article


පහන් සිතක කවි

තෙමඟුල සැමරීම

ඉපදී බුදුව පිරිනිවනට වැඩි සමිඳු
වෙසඟේ සඳ එළිය සොයනෙලු වී මෝදු
උවසුන් පෙළගැසී හඬ පාමින් සාධු
තෙමඟුල සමරන්නේ ය බුදු හිමි මඟ පෑදූ

****

නිර්මල බුදු දහම

පුන් පෝසඳ පිරුණ තෙමඟුල සැමරීම
දුර්මත බිඳ හෙලුණ ලොව සම්බුදු දහම
උපත ද බුදුවීම ලෝසත සැනසීම
බොදු දන නැණ පහන නිර්මල බුදු දහම

****

බුදු රැස්

සඳරැස් පරදන
බුදුරැස් විහිදෙන
සුවහස් සනසන
අනුහස් ගෙන දෙන

වෙසඟේ සිරියෙන
මෙලොවේ සැම දන
නිති මෙත් සිතැතින
වේවා දින දින

****

සම්බුදු තෙමඟුල

කරුණා ගුණෙන් අග තැන්පත් වූ මැණික
තිරිසන් සතුන්ටත් මෙත් සැලසූ සේක
සදහම් පහන දල්වා ඒකා ලෝක
කළ වෙසඟය අදයි සණරාමර තිලක

පෙරුම් පුරා ගෙන ඉපදුනෙ වෙසඟ දිනේ
යම පුරටත් නිදහස ලැබුණලු එදිනේ
බුදුබව ලැබුවෙ සහ බුදුහිමි පිරිනිවුනේ
තෙමඟුල උදා වූ පුන් පෝ වෙසක් දිනේ

****

බුදුහිමි දකින්නට මල් පිපුණා

ගසක් – සෙවණ දුන් බව මුදු සිසිල පෙරා
ඇසක් – පුරා බුදු රැස් පෙළහරක් දරා
දොසක් – නොමැති ලෙස අමයුරු මියුරු පුරා
වෙසක් – මල් පිපෙයි සම්බුදු ගුණ සමරා

මැදුම් මග සොයා දුන් දම් ඇසක් සැදේ
රිදුම් සියලු දුක් නිවනා ලොවක් රැඳේ
මුදුන් අත් තබා වඳිනා රුවක් ඇදේ
බුදුන් දකින මල් පිපුණා වෙසක් සඳේ

****

වෙසක් දිනේ ...

දිටියෙන් වෙසඟ දින අසිරිය පෑ ලොවට
පවනින් සැලුනි සල් මල් ‘ලුම්බිණි’ය වට
තබමින් පැතුම මතු සම්බුදු පදවියට
දිනුවෙන් මෙදිය කුස කුමරෙකු ලෝ පිනට

දිව මල් වගුළේය මනු ලොව සැපත් දින
ලොව සුව ගඟුලේ ය බුදු බව පසක් දින
මව මිහි , ගුගුළේ ය පිරිනිවි සෙයක් දැන
තුන් බුදු මඟුලේ ය ලෝ සත වෙසක් දින