Print this Article


පූජාච පූජනියනං

බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

කලින් කලට සසුනඹරෙහි පහළවන සම්භාවනීය පූජනීය මහ සඟරුවන සසුන් කෙත ආලෝකවත් කරමින් සසුනඹරට සිදු කරනුයේ මහඟු මෙහෙවරකි.

එබඳු ආදර්ශවත් යුග මෙහෙවරක නිරතව වැඩ සිටි බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී තෙමසක් සපිරේ.ඒ නිමිත්තෙන් බෙල්ලන්විල රාජ මහා විහාරයේ දී පාසල් ළමුන් 300 ක් වෙත පාසල් උපකරණ පිරිනැමීමටත් වියළි ආහාර පාර්සල් පිරිනැමීමට සහ ලේ දන්දීමේ පින්කමක් ද මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ දහම් දෙසුමක් 5 වන දා සහ 6 වන දා දවල් 150 නමක් විෂයයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබිණි. විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ශාස්ත්‍රපති බොරලැස්ගමුවේ පේමරතන හිමියන්ගේ මෙහෙයවීමෙන් එම පින්කම පැවැත්විණි.

1942 අප්‍රේල් 14 වන දා බණ්ඩාරගම වීදාගම දී උපත ලද ඕමත්තගේ ගිල්බට් පෙරේරා නම් වූ පින්වන්ත කුමරුවා දහතුන්වන වයස දක්වා නිකපෙ කණිෂ්ඨ විද්‍යාලයෙන් හා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 1956 දී බෙල්ලන්විල රජ මහා විහාරයේ දී බෙල්ලන්විල සෝමරතන නා හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස බෙල්ලන්විල විමලරතන නමින් පැවිදිබිමට පත් විය.

පැවිදිවීමෙන් පසු මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනින් සහ රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනින් අධ්‍යාපනය ලබා කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ 1972 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබා ගත්හ. අනතුරුව විමලරතන හාමුදුරුවෝ එංගලන්තයේ ලන්කැෂ්ටර් විශ්වවිද්‍යාලයෙන් 1980 දී ආචාර්ය උපාධිය හිමිකර ගත්හ.

පැපිලියාන සුනේත්‍රාමහාදේවි පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙස ගුරු සේවයට පිවිසි උන්වහන්සේ රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනෙහි පරිවෙනාධිපති ධුරය ද හෙබවා ඇත.

1962 සිට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික ධූරය, කර්මාචාර්ය ධූරය, උපලේකම් ධූරය, ලේකම් ධූරය, උපාධ්‍යාය පදවියක් හා අනුනායක පදවියත් දරමින් බෙල්ලන්විල විමලරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලාංකේය සංඝ සමාජයට අනූපමේය නායකත්වයක් සැපයූහ.

1966 සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ (විද්‍යෝදය )කථීකාචාර්යවරයෙකු සහ මහාචාර්යවරයෙකු ලෙස 2006 දක්වා සේවය කළ අතර දුර බැහැර සිට සරසවියට පැමිණි පැවිදි විද්‍යාර්ථීන් වෙත ආර්ථික වශයෙන් කළ උදව් උපකාර ඉතා අප්‍රකට ව සිදුකළ බැව් මෙය ලියන මා සියැසින් දුටු වාර අනන්ත ය. සරසවි සේවයෙන් ඉසුඹු ලැබූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ම කුලපති ස්වාමීන් වහන්සේ ලෙස අපවත්වනතුරු කටයුතු කරමින් සිටියහ.

එකම පවුලේ දෙසොහොයුරන් සසුන් කෙතට ඇතුළත්ව පැවිදි සහෝදර සබඳතාවයෙන් ද යුක්තව දේශීය මෙන් ම විදේශීය වශයෙන් ද සම්බුදු දහමේ ව්‍යාප්තියට සිදුකළ මෙහෙවර සුවිශේෂිත ය. බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිංගප්පූරුවෙහි වැඩ වසමින් ජාත්‍යන්තර වශයෙන් සිදු කරනුයේ උදාර ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරකි.

බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ වැඩ වසමින් ශාස්ත්‍රීය, ආගමික හා සාමාජික වශයෙන් සුවිශාල නිහඬ මෙහෙවරක නිරතව වැඩ සිටියහ. ලෝක සංඝ සම්මේලනයේ ලේකම් ධූරය ඇතුළු ජාත්‍යන්තර තනතුරු ගණනාවක් දරූ ලොව ප්‍රකට බහුශ්‍රැත මහතෙර නමකි.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශාස්ත්‍රීය ධර්ම ග්‍රන්ථ රැසක් ලියා පළ කළ සම්භාවනීය ගත් කතුවරයන් වහන්සේ නමකි. බුදුදහම සහ වෙනත් ආගම් බුදු පිළිමයේ, මුද්‍රා සහ ආසන, බුද්ධ ප්‍රාථමික කලාව සහ බුදුපිළිම විකාශය, පාරමිතා සාහිත්‍යය, විහාර ලිපි සරණිය, බුදුදහම හා කලාව ලිපි, බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ, බෞද්ධ පුද පූජා සංස්කෘතිය ආදී ග්‍රන්ථ එම අගනා ග්‍රන්ථ අතර වේ. පරිවර්තන කෘති කීපයකට ද උන්වහන්සේ දායකත්වය සපයා ඇත.

බෙල්ලන්විල රජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් අගනා සමාජ මෙහෙවරක ද නිරත වූ බෙල්ලන්විල විමලරතන අනුනායක හාමුදුරුවෝ “බෙල්ලන්විල රජමහා විහාරස්ථානය පන්සලෙන් ජනතාවට”යන්න තේමා කර ගනිමින් ලක්ෂ සංඛ්‍යාත මුදල් වැය කරමින් ළමා, යොවුන් පිරිස් වෙනුවෙන් සිදුකළ අධ්‍යාපන සේවාවන්, ප්‍රජා සංවර්ධන පදනමේ සේවාවන්, ප්‍රජා සත්කාර සේවාවන්, අධ්‍යාත්මික දියුණුව සඳහා සිදු කළ සේවාවන්, වැඩිහිටි සත්කාරක සේවාවන්, වෛද්‍යාධාර හා උපකරණ ලබාදීම, ගම්මාන නගා සිටුවීම, නිවාස ලබාදීම ආදී මහඟු මෙහෙවරක් නිහඬව සිදු කළහ.

ඕනෑම ගැටලුවක දී සිය මතය සෘජුව, සරලව සමාජය වෙත ඉදිරිපත් කළ උන්වහන්සේ මනා පෞරුෂත්වයකින් යුක්ත වූහ. කිවයුතු කරුණ කිව යුත්තා අභිමුවෙහි ප්‍රකාශ කිරීමට තරම් ආත්ම ශක්තියක් උන්වහන්සේ තුළ පැවතිණි.

විද්වත් පඬිරුවනක් මෙන් ම සුපේෂල ශික්ෂාකාමී සංඝපීතෘන් වහන්සේ නමක් ලෙස ගිහිපැවිදි උභය සමාජයේ ම මහත් ගෞරවාදරයට පාත්‍රව වැඩ සිටියහ. සසුනඹරේ දිදුලන පහන්ටැඹක් වූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හාමුදුරුවෝ ඉකුත් පෙබරවාරි 03 වැනිදා අපවත් වී වදාළහ.

බෙල්ලන්විල විමලරතන අනු නායක හාමුදුරුවන්ගේ අපවත්වීම සම්බුදු සසුනටත් සමාජයටත් මහත් පාඩුවකි.

අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමා මහ නිවන් සුව පතමු.

****

අඹේවෙල පඤ්ඤාසාර මහා නා හිමි

පිළියන්දල බුද්ධාලෝක මහා විහාරය, පාලුගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරය හා කැප්පෙටිපොළ තැන්න ඓතිහාසික බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය යන විහාරත්‍රයාධිපති ස්‍යාමෝපාලි වංශික මහානිකායේ ඌව පාර්ශ්වයේ මහානායක, අග්ග මහා සද්ධර්ම ජෝතික ධජ අඹේවෙල පඤ්ඤාසාරාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 93 වෙනි ජන්ම දිනය 2018 මැයි මස 02 දිනට යෙදී තිබිණි.

බදුල්ල දිස්ත්‍රික්කයේ කැප්පෙටිපොළ, අඹේවෙල ග්‍රාමයේ 1926 මැයි 02 වන දින උපත ලද කේ.එම්. ගුණසේකර කුමරුවාගේ පියාණන් වූයේ කංගාණ මුදියන්සේලාගේ විදානේ මහතායි. මෑණියන් වූයේ හේරත් මුදියන්සේලාගේ රන්මැණිකේ මහත්මියයි.

සිය පියාණන් වෙතින් අකුරු කරවූ ගුණසේකර දරුවා ප්‍රාථමික අධ්‍යයන කටයුතු පාළුගම රජයේ පාසලින් ආරම්භ කරන ලදී. තම පියාගේ සහෝදරයෙකු වූ සියම් මහා නිකායේ ඌව පාර්ශවයේ ප්‍රථම මහා නායක ධූරය හෙබවූ පාළුගම සුභද්‍රාරාමාධිපති ව වැඩ විසූ අපවත් වී වදාළ ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී බෙරගොල්ලේ සුමංගල සෝමානන්ද මහා නා හිමිපාණන් වහන්සේ වෙතින් 1937 ඔක්තෝබර් මස 15 වෙනි දින පැවිදි වූ කේ.එම්. ගුණසේකර දරුවා අඹේවෙල පඤ්ඤාසාර හිමි නමින් ප්‍රකට විය. ඉවසිලිවන්තව, දුර දක්නා නුවණින්, ගුරු සිත නොරිදවා කටයුතු කළ අඹේවෙල පඤ්ඤාසාර හිමියන් මූලික සිප් සතර හැදෑරීම සඳහා 1940 ජූලි මස 27 දින බදුල්ල විද්‍යෝත්තංස පිරිවෙනට ඇතුළත් විය.

අඹේවෙල පඤ්ඤාසාර හිමිපාණන් වහන්සේ 1946 ජූලි මස 03 වන දින තම ගුරුදේවයා වූ බේරගොල්ලේ ශ්‍රී සුමංගල සෝමානන්ද මහා නා හිමිපාණන් වහන්සේ වෙතින් උපසම්පදාව ලබා ගත්තේ ය. බදුල්ලේ විද්‍යෝත්තංස පිරිවෙනින් මූලික අධ්‍යාපන කටයුතු නිම කළ පඤ්ඤාසාර හිමිපාණන් 1946 ජූලි 12 වන දින උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව දර්ශන විශාරද, ත්‍රිපිටක වාගීෂ්වර, ධර්මධර හා විනයධර යන නායක තෙරුන් වහන්සේලා ඇසුරට පත්ව එම යතිවරයාණන් වහන්සේලා අනුව යමින් තම අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කළේ ය. 1948 දී පැවැති ප්‍රාථමික ප්‍රාරම්භ භාෂාත්‍රය විභාගයෙන් සමත් වූ උන්වහන්සේ එම වසරේදීම විදුදය පිරිවෙනේ පැවැති සිංහල ගද්‍ය තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ඒ සඳහා හිමි ත්‍යාගය ද හිමි කර ගත්තේ ය. 1948 ජූලි 30 වෙනි දින විද්‍යෝදය ශිෂ්‍ය සමිතියේ පැවති ශිෂ්‍ය නිලවරණයෙන් ප්‍රධාන සභාපති ධූරයට තේරී පත්වූ උන්වහන්සේ 1950 දී විදුදය පිරිවෙනේ මධ්‍ය ප්‍රථමාංශයේ ප්‍රමුඛ ශිෂ්‍යයාට හිමිවන ‘පීරිස් ශිෂ්‍යත්වය’ දිනා ගැනීමට සමත් විය.

විද්‍යෝදය පිරිවෙනේ අවසාන පරීක්ෂණයේ ශිෂ්‍යයන් අතර පැවැති කථික තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් අඹේවෙල පඤ්ඤාසාර හිමිපාණන් 1953 දී පැවැති ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් භාෂාත්‍රයෙන් උසස් ලෙස සමත් විය. එසේම විද්‍යෝදය පිරිවෙනට වසර 80 සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පර්යේෂණයෙන් උසස් ලෙස සමත් වූ උන්වහන්සේ විද්‍යානිධි උපාධිය ද දිනා ගත්තේ ය.

පරවාහැර වජිරඤාණ නා හිමි සහ වජිරාරාමයේ නාරද හිමියන්ගේ මූලිකත්වයෙන් 1955 දී පධානඝර විහාරස්ථානයේ දී ආරම්භ කළ ශ්‍රී ලංකා ධර්මදූත විද්‍යාලයට ඇතුළත් වූ පඤ්ඤාසාර හිමිපාණන් ධර්මදූත පුහුණුව සාර්ථකව නිම කරමින් බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ලංකා බෞද්ධ මණ්ඩලය මෙහෙයවීමෙන් ඇරඹූ ධර්මදූත මණ්ඩලයට තෝරාගනු ලදුව ලංකාවේ පළාත් 09 ක ධර්මදූත චාරිකාවේ යෙදෙමින් ධර්ම දේශනා සාර්ථකව පවත්වන ලදී.

1957 මාර්තු27 වන දින දෙමටගොඩ ධර්මදූතාශ්‍රම පිරිවෙනේ උපගුරු පත්වීමක් ලද උන්වහන්සේ විශාල ශාසනික මෙහෙවරකට පිළිපන් සේක. 1959 දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරී පත්වූ උන්වහන්සේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන්ගෙන් ලබා තිබූ සාර්ථක අධ්‍යාපන ප්‍රතිඵල මත වසර 02 ක් ඇතුළත උපාධිය සාර්ථකව නිමා කර 1960 දී ශාස්ත්‍රවේදී උපාධිය දිනා ගනිමින් ඌව පළාතේ ප්‍රථම ශාස්ත්‍රවේදී උපාධිධාරියා වීමේ භාග්‍ය හිමිකර ගත්තේ ය.

1961 ජූනි මස 08 වන දින රජයේ ගුරු සේවයට එක්වූ අඹේවෙල පඤ්ඤාසාර හිමිපාණන් පොළොන්නරුව බකමූණ මධ්‍ය මහා විද්‍යාලයෙන් ගුරු සේවය ආරම්භ කරමින් රටේ විවිධ ප්‍රදේශයන්හි මධ්‍ය මහා විද්‍යාලයන්හි ආචාර්යවරයෙකු වශයෙන්ද විදුහල්පතිවරයෙකු වශයෙන් ද කටයුතු කරමින් ගිහි පැවිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය දහස් ගණනකගේ නැණ නුවණ පාදමින් රටට දැයට හිතකාමී සිසු පරපුරක් බිහිකිරීමේ පුරෝගාමී මෙහෙවරක නිරත වූහ. 1961 වසරින් ඇරඹූ ගුරු සේවය 1986 දී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් අවසන් කළ උන්වහන්සේ රජයේ ගුරු සේවයෙන් විශ්‍රාම ගත්තේ ය.

ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ වකවානුවේ දී පිළියන්දල සුවාරපොළ ග්‍රාමයට වැඩම කළ උන්වහන්සේ ස්වකීය ධනය වැය කරමින් එහි ධර්ම නිකේතනයක් සාදවා එහිම වැඩ වාසය කරමින් ප්‍රදේශවාසීන්ට ප්‍රධාන අඩුපාඩුවක්ව පැවති විදුලි බලය ලබා දීමට මූලික පියවර ගත්තේ ය. ප්‍රථමයෙන් විදුලි ආලෝකයෙන් ඒකාලෝක වූ ධර්ම නිකේතනය ඉතා කෙටි කලකින් ප්‍රදේශයම බබළවන්නා වූ ප්‍රඥා මන්දිරයක් බවට පරිවර්තනය විය.