Print this Article


සීහළ වත්ථු කතා : දුගියා දුන් මහා දානය

සීහළ වත්ථු කතා :

දුගියා දුන් මහා දානය

මුල් කෙළවරක් නැති සසරෙහි ඇවිදින පෘථග්ජන තෙමේ බොහෝ දුක් අනුභව කරයි. ඒ දුක මා විසින් අවසන් කරන ලදී. නරකයෙහි කැපීම් කෙටීම් ආදි දුක් ද, වනයෙහි ඇති භය ද, මිනිසුන් අතරෙහි ධනය සෙවීම ද, දෙව් ලොවෙහි වෙන්ව යාමේ දුක ද යන මේ සියලු දුක් මා විසින් ඉක්මවන ලදී. එයට හේතු වුයේ උපාසකයා විසින් දුන් දානය යි.

හෙළ දිවයිනේ සද්ධාතිස්ස රජු රජ කරන සමයේ සිදු වූ මේ සිදුවීම සීහළවත්ථු කතාවෙහි මෙසේ සඳහන් වේ.

බුදු සසුනේ ශ්‍රද්ධාවන්ත වූ, ධර්මයෙන් රාජ්‍ය කරවන්නා වූ සද්ධාතිස්ස රජු සත්පුරුෂයෙකු යැයි සම්මත වී තිබුණි. ඒ රජුගේ නගරයෙහි එක් දුගී ගොවියෙක් තමාගේ එකම දියණිය සමඟ ගඩොල් සෑදීම ජීවනෝපාය කරගෙන ජීවත් වුණි.

කාලයක් ගතවෙද්දී එහි දුර්භික්ෂයක් උදා විය. ඒ කාලයේ දිළිඳු මිනිසා තමාගේ දියණිය උගසට තබා කහවනු අටක් ගත්තේ ය. ඒ කහවනු අටෙන් භූමි භාගයක් මිලදී ගෙන ගඩොල් සාදන්නට විය. ඔහුට කහවනු අටක් ඉතිරිකර ගැනීමට අවුරුදු හතක් ගතවිය.

මෙසේ දුකසේ සපයාගත් කහවනු අට රැගෙන තම දියණිය බේරා ගැනීමට ගැල් කරුවන් සමඟ යාමට සැරසුණි. එහි දී ඒ දිළින්දා තමා හඳුනන ස්වාමින් වහන්සේ නමක් දැක උන්වහන්සේට යමක් දන් දීමට තිබුණානම් හොඳයැයි සිතා එක් මිනිසෙකු ළඟ එක් වේලකට සරිලන ආහාර තිබෙනු දැක ඔහු වෙත ගොස්,

”යහළුවේ මේ ආහාරය මට දෙනු. එයට මම නුඹට එක් කහවනුවක් දෙමි”.

”ආහාර අයිති මිනිසා එක් කහවනුවකට එය දීම මැළි විය. පිළිවෙලින් එක් එක් කහවනුව වැඩිකොට කහවනු අටම දී ඒ ආහාරය ගෙන භික්ෂූන් වහන්සේ වෙත ගොස් ඉතාමත් ශ්‍රද්ධාවෙන් එය පිළි ගැන්වී ය. ඉන්පසු ස්වාමින් වහන්සේට තමා පිළිබඳව සියලුම විස්තර පවසා සිටියේ ය. දානය දුන් ඔහු කඳුළු පිරුණු ඇස් ඇතිව හඬමින් පොරවා සිටි වස්ත්‍රය ද තෙරුන් වහන්සේට පූජා කොට නික්ම ගියේ ය.

ඒ දානය පාත්තරයේ තබාගෙන ඒ භික්ෂූන් වහන්සේ මහත් සංවේගයෙන් මෙසේ සිතී ය.

මේ දුගී උපාසක කහවනු අටක් දී මේ දානය ලබාගෙන ඇත. ඔහුගේ අලුත් වස්ත්‍රය ද මට පූජා කළේ ය. ඒ වගේම ඔහු තමාගේ දියණිය මුදවා ගැනීමත් අත්හැරයි මේ පරිත්‍යාගය සිදු කළේ. මොහු දන් දීමට සූරයෙකි. එනිසා නුඹ භාවනාවට සූරයෙක් වෙනු. වීත රාගයන් විසින් අනුභව කළයුතු දානයක් රාගි වූ තා විසින් අනුභව කරනු ලැබේනම් නුඹ සබ්‍රහ්මචාරින්වහන්සේ විසින් ගැරහුමට ලක් වන්නේ ය. මෙහිම රහත්බව සිදුවේවා. නැතහොත් මරණය සිදුවේවා. කෙසේ හෝ බුද්ධ පුත්‍රයෙක් වී මේ ආහාරය අනුභව කරවයි” තමන් තමන්ට ම අවවාද කොට සිටියේ ය. පිරිසුදු සිල් ඇති තෙරුන් වහන්සේ විදසුන් වඩා සියලු බන්ධනයන් සිඳ දමා ෂඩ්අභිඥාලාභියෙක්ව මෙසේ වදාළේ ය.

මුල් කෙළවරක් නැති සසරෙහි ඇවිදින පෘථග්ජන තෙමේ බොහෝ දුක් අනුභව කරයි. ඒ දුක මා විසින් අවසන් කරන ලදී. නරකයෙහි කැපීම් කෙටීම් ආදි දුක් ද, වනයෙහි ඇති භය ද, මිනිසුන් අතරෙහි ධනය සෙවීම ද, දෙව් ලොවෙහි වෙන්ව යාමේ දුක ද යන මේ සියලු දුක් මා විසින් ඉක්මවන ලදී. එයට හේතු වුයේ උපාසකයා විසින් දුන් දානය යි. යම් උපාසකයෙක් දානයක් දුන්නේ නම් ඒ දානයට මා විසින් කළගුණ දැක්වූයෙමි යි කී හ.

උන්වහන්සේ කාලයක් අනුරාධපුරයේ වැඩ සිට පිරිනිවන් පාන්නට ආසන්න වූ මෙහොතේ මෙසේ අධිෂ්ඨාන කළේ ය. යමෙක් කහවනු අටක් දී මට ආහාරයක් දුන්නේ ද ඔහු පැමිණ අත ගැසූවිට පමණක් මාගේ ශරීරය සෙළවේවා. අන් කිසිවෙකුට සෙළවීමට නො හැකි වේවා යි යනුවෙනි.

තෙරුන් පිරිනිවි බව අසා මිනිසුන් එහි රැස් විය. සද්ධාතිස්ස රජු ද පරිවාර සමඟ එහි ආවේ ය. රජු සහිත පිරිසට දේහය සෙලවීමට හෝ නො හැකි විය. පසුදින ඒ උපාසක පැමිණ තෙරුන් වහන්සේ හැඳින පහන් සිත් ඇතිව “මාගේ දානය වළදා මේ තෙරුන් වහන්සේ රහත් වූයේ නම්, ඒ විමතිය දුරු කිරීම සඳහා මෘතදේහය අහසට නැගේවා” කියා අතින් දේහය ස්පර්ශ කළ විට ම දේහය අහසට නැඟුණි. ඒ ප්‍රාතිහාර්යය දැක රජු ඔහුගෙන් තොරතුරු විචාළීය. ඔහු සිදු වූ සියල්ල විස්තර කොට කී ය. ඔහුගේ කීම අසා සතුටු වූ රජු සංඝයා වහන්සේ උදෙසා දුන් එම දානය ඉතාමත් යහපත්. මට ද නුඹ කළ පිනෙන් කොටසක් දෙවයි” කී ය.

”මහරජ, ඔබටත්, අන් හැමටත් පින් කොටස් දෙමි. අධික ගුණ ඇත්තන් කෙරෙහි සුළුවෙන් හෝ දෙන දානය මෙසේ මහත්ඵල ලබා දෙන්නේ ය” උපාසක කී ය.

සතුටු වූ රජු ඔහුට එක් ජනපදයක් ද, ඔටුන්නක් සහිත ආභරණ ද, ස්ත්‍රින් ද, දාසියන් ද, රථවාහන ද ලබා දුන්නේ ය. ඉන් පසු රජු සහිත පිරිස රහතන් වහන්සේ ගේ දේහය දවා ස්තූපයක් කොට පුදා විසිර ගිය හ.