Print this Article


පිරිත් දේශනාව 11 : රතන සූත්‍රය

රතන සූත්‍රය

රතන සූත්‍රයේ උත්පත්තිය පිළිබඳ ව පවතින්නේ සුවිශේෂී කතාවකි. බරණැස් රජුගේ අග මෙහෙසියගේ කුසෙහි දරුවෙකු පිළිසිඳ ගත්තේ ය. රජු විසින් ඇය මෙන් ම දරු ගැබ ද මනා ව ආරක්ෂා කරමින් පැවැත්විය යුතු චාරිත්‍ර විධි ආදිය මැනවින් සිදු කළහ. කාලයාගේ ඇවෑමෙන් අග මෙහෙසිය දරුවා බිහි කළා ය.

ඇයි විසින් බිහිකරන ලද්දේ මස් වැදැල්ලක් ය. රජතුමා ඇතුළු සමස්ත රටවැසියන් තමාගෙන් රන්වන් පුතෙකු අපේක්ෂා කළ බව දන්නා අගමෙහෙසිය තමන් බිහිකළේ මස් පිඬුවක් බව දැනගතහොත් තමන්ට ලැබෙන ලාභ සත්කාර මෙන් ම පිළිගැනීම ද අඩුවේයැයි කල්පනා කොට මස්පිඬුව භාජනක දමා රාජ්‍ය ලාංඡනයෙන් මුද්‍රා තබා බරණැස් රජුගේ අගමෙහෙසිය ගේ ප්‍රජාව යැයි ලියා තබා ගඟක දැමුවා ය. ගඟට දැමු විටම දෙවියන් අරක් ගෙන එය ආරක්ෂා කළේ ය. ගසාගෙන යද් දි ගංතෙර වසන තාපසයෙක් ඒ භාජනය දැක පාංසකූල සංඥාවෙන් එය ගත්තේ ය. අනතුරුව එහි අකුරු සහිත බවක් දැක එය විවෘත කළේ ය. විවෘත කළ ඔහුට මස් පිඬු දැකීමත් සමඟ මෙබඳු අදහසක් විය. ගැබක් වන්නේ ය. නමුත් එයින් දුර්ගන්ධයක් හෝ අපිරිසුදු බවක් පිට නොවේ. ඒ නිසා අසපුවට ගෙන ගොස් පිරිසුදු කොට තැබීය. මාස භාගයක් ගිය විට එක් මස් පිඬුව දෙකක් බවට පත් විය. තාපසයා එය දැක නැවතත් වඩාත් හොඳින් ආරක්ෂිත තැනක එය තැන්පත් කළේ ය. කල් යද් දී එක් මස් පිඬුවක් රන් පිළිරුවකට සමාන දරුවෙක් ද අනෙකෙන් දැරියක් ද බිහි වූහ. දරුවන් කෙරෙහි දරු සෙනෙහස තාපසයා තුළ ඇති විය. තාපසයාගේ ඇඟිලිවලින් කිරි ද බත් ද ඉපදුණේ ය.

තාපසයා බත් අනුභව කොට කිරි දරුවන්ට ලබා දෙයි. දරුවන්ගේ උදරයට යමක් පිවිසිය ද මැණික් බඳුනකට ගිය දෙයක් සේ පෙනෙන්නට විය. මෙසේ සැඟවුණු සිවි ඇත්තෝ වූහ.අන්‍යයන් මසා තබන ලද්දාක් මෙන් ඔවුන්ගේ එකිනෙකාට නොපෙනෙන සම ඇත්තෝ විය. මෙසේ ඔවුහු සිවියෙන් තොර වු බැවින් හෝ සැඟවිය සිවි ඇති නිසා හෝ ලිච්ඡවී යැයි ප්‍රකට වූහ.

තාපසයා දරුවන් පෝෂණය කරන නිසා පිඬු පිණිස ගමට යාමට ප්‍රමාද වෙයි. ඔහුගේ කටයුත්ත දැනගන්නා ගොපල්ලෝ ස්වාමීනි පැවිද්දන්ට දරුවන් පෝෂණය කිරීම බාධාවක් යැයි ප්‍රකාශ කොට අපට දරුවන් දෙනු මැනවි. අපි පෝෂණය කරන්නෙමු. තොප තමන්ගේ කටයුතු කරනු මැනවැයි කීහ. තාපසයා මැනවැයි පිළිගත්තේ ය. ගොපල්ලෝ දෙවැනි දිනයෙහි මාර්ගය සම කොට මල් විසුරුවා ධජ පතාකයන් ඔසවා පංචතූර්ය භාණ්ඩයන් වාදනය කරමින් අසපුවට පැමිණියහ. තාපසයා මහා පිනැති දරුවන් අප්‍රමාදව පෝෂණය කරවව්ද, ඔවුනොවුන් ආවාහ විවාහ කරවව් ද, පස්ගෝ රසයෙන් රජුන් සතුටු කොට බිම් කොටසක් ගෙන නගරයක් නිර්මාණය කරව්. එහි කුමාරයා අභිශේක කරවව් කියා දරුවන් දුන්නේ ය. ඔවුහු මැනවැයි පිළිගෙන දරුවන් ගෙන ගොස් පෝෂණය කළහ. දරුවෝ වැඩිවියට පත් ව ක්‍රීඩා කරද්දි වාද විවාද ඇති වු විට ගොපලු දරුවන්ට අතින් ද පයින් ද පහර දෙති. ඔවුහු හඬති. කුමක් නිසා හඬන්නේ දැයි වැඩිහිටියන් ප්‍රශ්න කළ විට තාපසයා විසින් පෝෂණය කළ මව්පියන් නැති මොවුහු අපට පහර දෙති. මවුපියෝ , මේ දරුවෝ අනෙක් දරුවන් පීඩාවට පත් කරයි. දුකට පත් කරති. මේ අය ආශ්‍රයට නොගත යුතු ය. මොවුන් වර්ජනය කළ යුතුය යනුවෙන් කීහ. එතැන් පටන් මේ ප්‍රදේශය වජ්ජි දේශය යයි කියති. එය ප්‍රමාණයෙන් යොදුන් 300 කි. ඉක්බිති ගොපල්ලෝ රජුන් සතුටු කොට ඒ ප්‍රදේශය ලබා ගත්හ. එහි නගරයක් ගොඩනගා සොළොස් වස් වු කුමාරයා අභිෂේක කොට රජු බවට පත් කළහ. මොවුහු පිටතින් දැරියක් නොගෙන ආ යුතු බවත් එම දැරිය හා සමඟම ආවාහ විවාහ කළ බවත් ප්‍රකාශ කළහ. මොවුන්ට පළමුව දුව හා පුතා ලෙස දරුවන් දෙදෙනෙක් ඉපදිණි. සොළොස් වාරයක් දෙදෙනා බැගින් ම ඉපදුනි. ඉන්පසු ක්‍රමානුකූලව වැඩෙන්නා වු මේ දරුවන්ට ආරාම, උද්‍යාන, වාසස්ථාන පිරිවර සම්පත් ඇති කරන්නට අල්පව පැවති එම නගරය තුන්වරක් ගව්ව ගව්ව බැගින් ඉඩ ඇතිව පවුරකින් වට කළහ. නැවත නැවත විශාල කරන ලද එයට වේසාලි යනුවෙන් නමක් තැබීය. මෙලෙසින් විශාල මහනුවර හා ලිච්ඡවී රජවරුන් බිහිවීම පිළිබඳව අටුවාවෙහි සඳහන් වේ.

බුදුරදුන් ජීවමාන කාලයෙහි වේසාලිය සමෘද්ධිමත් නගරයක් විය. රජවරු ම හත්දහස් හත්සිය හත් දෙනෙක් වූහ. එලෙසින් ම යුව රජවරු සේනාධිපතිවරු භාණ්ඩාගාරිකවරු ආදි සියල්ල රාජ්‍ය නිලධාරීන් ද යුක්ත විය. බොහෝ ජනයාගෙන් ද සම්පත්වලින් ද යුක්ත වූ වේසාලි නුවර ආහාරයෙන් ස්වයංපෝෂිත විය. එහි පොහොසක් වූ වේසාලියේ පසුකලෙක දුර්භික්ෂයක් හට ගත්තේ ය. වැස්ස නැතිවිය. ගොවිතැන් පාලු විය. ආහාර හිඟ වීමෙන් මිනිස්සු මැරෙති. මළ මිනිසුන් නගරයෙන් පිටතට ගෙන ගොස් දමති. මළමිනි දුර්ගන්ධය නිසා අමුනෂ්‍යයෝ නගරයට පිවිසියහ. අමනුෂ්‍ය උවදුර ද ඇති විය. පිළිකුල් බව නිසා ම සත්වයන්ට අභිවාතක රෝගය හට ගත්හ. දුර්භික්ෂ, අමනුෂ්‍ය රෝග යන තුන් බියෙන් උපද්‍රව සහිත වු රටවැසියෝ රජු වෙත පැමිණ රජතුමනි, පෙර මෙවැන්නක් නොවී ය. සත්වෙනි පරම්පරාව දක්වා මෙවන් විපතක් සිදු නොවී ය. ඔබතුමාගේ ඇති අදැහැමි බව නිසා ම මෙවැන්නක් ඇතිවුනේ යැයි පැවසූ හ. රජතුමා සියල්ලන් රැස්වීම් ශාලාවට එක් කරවා තමාගේ අදැහැමි භාවය සොයා පෙන්වා දෙන ලෙස ඉල්ලූහ. ඔවුහු තොරතුරු සොයන්නේ එය නො දැක රජුගේ වරදක් නැත. අපගේ බය කෙසේ සන්සිඳෙන්නේදැයි විමසූහ. ඇතමෙක් ෂඩ් ශාස්තෘවරුන් වෙත ගොස් සහනයක් පැතිය යුතුයැයි ප්‍රකාශ කළහ. ඇතැම්හු බුදුන් වහන්සේ වනාහි ලොව උපන්නේය. උන්වහන්සේගෙන් සහනයක් පැතිය යුතු යැයි ප්‍රකාශ කළහ.

ඔවුන්ගෙන් ආරාධනා ලද බුදුරදුන් තමන් විසාලා මහනුවරට වැඩම කොට රතන සූත්‍රය දෙසු කල්හි ආරක්ෂාව ඇති වන්නේ යැයි ද, කෝටි සියදහස් සක්වල පැතිරෙන්නේ යැයි ද, අසූ හාරදහසකට ධර්මාභිසමය වන්නේ යැයි ද දැන ආරාධනාව පිළිගත්හ. බුදුරදුන් පන්සියයක් භික්ෂූන් පිරිවරා යොදුනක පමණ මාර්ගයෙහි ගඟෙහි වැඩම කළහ. විශාලා මහනුවර වැසියන්ගේ සීමාවට වැඩම කරද්දී ම ලිච්ඡවී රජවරු තම නුවරට පෙරහරේ බුදුරදුන් වඩම්මාගෙන ආහ. ඒ ඇසිල්ලෙහි ම ආලෝකය අතුරුදහන් ව අඳුරු වූ වළා ගැබක් පැතිර ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ පළමු පියවර ගංතෙරෙහි තැබු අවස්ථාවේ ම පොකුරු වැස්සක් හට ගත්තේ ය. හැම තැනම දණ පමණ, ගෙල පමණ ජලය ගලා බසී. මළකුණූ ජලයෙන් ගංගා නම් ගඟට ගසාගෙන ගියේය. මුලු පරිසරය ම පිරිසුදු විය. ලිච්ඡවී රජවරු බුදුරදුන් විශාලා මහනුවරට වැඩම කරවා ගෙන ගියහ. ශක්‍ර දිව්‍ය රාජයාත් දිව්‍ය සමූහයා පෙරටු කොටගෙන පැමිණියහ. මහේශාඛ්‍ය දෙවියන්ගේ පැමිණීම නිසා අමනුෂ්‍යයෝ පලා ගියහ. බුදුරදුන් නගර දොරටුවෙහි වැඩ හිඳ ආනන්ද හිමියන් අමතා ආනන්දයිනි. මේ රතන සුත්‍රය ඉගෙන ගෙන පුජා කර්මයට අවශ්‍ය වන උපකරණ ගෙන්වා ගෙන ලිච්ඡවී රාජකුමාරයන් සමඟ විශාලාවෙහි තුන් පුවරු අතරෙහි යමින් පිරිත් කරවයි නියම කළහ.

ආනන්ද තෙරුන් බුදුරදුන්ගේ නියමය පරිදි තෙරුවන් ගුණ ඇතුළත් පිරිත් දෙසා පිරිත් පැන් නගරයෙහි ද ගං දනව්වෙහි ද ඉසීමෙන් පසු පැවති ත්‍රිවිධ උපද්‍රවයන් සමනය වී රට වැසියන්ට ජීවත් වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය විය.

රතන සූත්‍රයේ ගාථාවක අවසානයෙහි ඒතේන සච්චේන සුවත්ථි හෝතු මේ සත්‍යයේ හේතුවෙන් යහපතක්ම වේවා යන ප්‍රාර්ථනාව අන්තර්ගත වේ.