Print this Article


බුදුපිළිමයේ උපත - 101: දකුණු දළදා වහන්සේ නිධන් කළ සෝමවතී දාගැබ

බුදුපිළිමයේ උපත - 101:

දකුණු දළදා වහන්සේ නිධන් කළ සෝමවතී දාගැබ

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසමන් විජේතුංග
 
පුරාවිද්‍යා 
Msc පර්යේෂණ

"වැඳුම් පිදුම් කිරීම පිණිස දාගැබක් හා විහාරයක් ඉදිකිරීමට සෝමවතී දේවිය ගිරිඅභය කුමරුට යෝජනා කළා ය. ගිරි අබා රජු ද අපමණ සතුටට පත්ව මහරහතන් වහන්සේලා හැටනමක් වැඩ විසූ මනරම් සල් උයනක් මැද විහාරයක් සහිත දාගැබක් සෑදවීමට කටයුතු කළේ ය. දාගැබෙහි නිදන් කිරීමට ධාතුන් වහන්සේලා ලබා දෙන මෙන් රජ හා සෝමවති බිසව මහින්ද තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. "

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දළදා වහන්සේලා දෙනමක් අප රටේ වැඩ සිටීම බෞද්ධයින් වූ අපට ලැබී ඇති මහා භාග්‍යයක් මෙන්ම පරම දායාදයකි.

ශ්‍රී වාම දළදා වහන්සේ දැනට මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ වැඩවසන අතර ශ්‍රී දකුණු දළදා වහන්සේ නිධන්කර වසර 2100 කට වඩා පැරැණි කලක රුහුණේ රජ කළ කාවන්තිස්ස මහ රජුගේ නැගණිය වූ සෝමාදේවියගේ නමින් ගිරි අබා කුමරු විසින් ඉදිකරන ලද මෙම චෛත්‍ය රාජයා පෞරාණික වූත් ඓතිහාසිකවූත් බෞද්ධ සිද්ධස්ථානයකි. වසර 100 පමණ කාලයක් මුළුල්ලේ ජනශූන්‍ය, කැලෑවෙන් වැසී තිබුණූ, නටබුන් බවට පත්වූ එම චෛත්‍යය රාජයා පිළිබඳ තොරතුරු සොයාගත් මල්වතු මහා විහාරයේ ගෞරවනීය සිරිමල්වත්ත් ශ්‍රී පියරතන නා හිමියන් වහන්සේගේ මූලිකත්වයෙන් 1947 දී සැදැහැවතුන්ගේ ද ආධාර ඇතිව චෛත්‍යරාජයාණන් වහන්සේ අවට එළිපෙහෙලිකර මෙම දාගැබෙහි කටයුතු ඇරඹී ය. 1981 දී කොත් පැළඳවීම සිදු කෙරුණි.

පාලි ධාතු වංශය ,සිංහල ධාතු වංශය, ජිනකාලමාලි ආදි පුරාණ ග්‍රන්ථවලින් ද පුරාවිද්‍යා ගවේෂණවලින් ද සොයාගත් නටබුන් සහ ශිලාලේඛන වලින් සෝමවති චෛත්‍ය රාජයාණන් වහන්සේ ගැන කරුණු අනාවරණය වේ.

අතීතය

ඓතිහාසික ග්‍රන්ථවල සඳහන්වන පරිදි රුහුණු, මායා, පිහිටි වශයෙන් කොටස් තුනකට බෙදුණු ශ්‍රී ලංකාවේ රුහුණු මාගම්පුර රජ කළ කාවන්තිස්ස රජුගේ නැගණිය වූ සෝමවතී දේවිය කැලණියේ ශිව රජුගේ බෑනා වූ අභය කුමරු සමඟ විවාහ වී ගිරිනුවර වාසය කළා ය. දුටුගැමුණු කුමරුගේ (මේ ස්ථානයට) පැමිණීමත් සමඟ ඇති වූ අමනාපයක් නිසා අභය කුමරු ගිරි ජනපදය අතහැර සෝමවතී දේවිය සමඟ සේරු නුවර ශිව රජු වෙත ගියේය. ඔහුගේ පරිත්‍යාගයෙන් ලැබුණු ජනපදයක මහවැලි ගඟ අසබඩ රාජධානියක් කරවා සෝමපුරය නමින් පාලනය කරන්නට විය.

වැඳුම් පිදුම් කිරීම පිණිස දාගැබක් හා විහාරයක් ඉදිකිරීමට සෝමවතී දේවිය ගිරිඅභය කුමරුට යෝජනා කළා ය. ගිරි අබා රජු ද අපමණ සතුටට පත්ව මහරහතන් වහන්සේලා හැටනමක් වැඩ විසූ මනරම් සල් උයනක් මැද විහාරයක් සහිත දාගැබක් සෑදවීමට කටයුතු කළේ ය. දාගැබෙහි නිදන් කිරීමට ධාතුන් වහන්සේලා ලබා දෙන මෙන් රජ හා සෝමවති බිසව මහින්ද තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. (මෙම මහින්ද හිමි දේවානම්පියතිස්ස රාජ යුගයේ ලංකාවට වැඩම කළ මිහිඳු හිමියන් නොවේ) අරිට්ඨ මහාදේව රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ මහින්ද මහ රහතන් වහන්සේ තමන් ළඟ තිබූ දකුණු දළදා වහන්සේ ගිරිඅබා රජුට පරිත්‍යාග කළහ. ගිර අබා රජතුමා එම දකුණු දළදා වහන්සේ නිදන්කර තම දේවියගේ නාමයෙන් සෝමවතී නමින් විහාරයට සහ දාගැබට නම් තබා මහින්ද මහ රහතන් වහන්සේ ප්‍රමුඛ සැටනමක් මහ රහතන් වහන්සේලාට පූජා කරන ලදී. සියලුම විහාරාරාංගවලින් සමන්විත ව මෙම පුදබිම තිබුණු බව පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින්ද තහවුරු වී ඇත. (පොළොන්නරුවේ බුදුරැස් විහිදෙන සෝමවති චෛත්‍ය රාජයා – (ක්‍රි.පූ. 2 සියවස) පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නා හිමි පි. 5-6)

ඉහත සඳහන් ග්‍රන්ථයෙහි ම සෝමවති දාගැබ පිහිටි භූමිය වෙනස්වී ඇති අන්දම (මහවැලි ගඟ නිසා) මෙසේ සඳහන් වේ.

වංස කතාවල සඳහන් වන පරිදි සෝමවතී දාගැබ පිහිටා ඇත්තේ මහවැලි නදියට නැගෙනහිරින් වූ රුහුණු ප්‍රදේශයේ ය. නමුත් දැනට මහවැලි නදිය සැතපුම් භාගයක් පමණ දුරින් උතුරු මැද ප්‍රදේශයට සම්බන්ධව ඇත. කාලයාගේ ආවෑමෙන් මහවැලි නදිය වෙනස් වෙමින් ගැලීම නිසා මෙය සිදු වූ බව පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව හෙළි වන අතර ම චෛත්‍ය රාජයා වෙත යන මාර්ගය ද අද වැටී ඇත්තේ පුරාණයේ ගැලූ මහවැලි ගඟ දිගේ බවත්, එහි දක්නට ඇති වැලිතලාව, ඉපැරැණි කුඹුක් ගස් ආදියෙන් මනාසේ පැහැදිලි වේ.

මේ අනුව එදා සෝමවති චෛත්‍ය රාජයා රුහුණු ප්‍රදේශයට අයත්වුව ද මහවැලි ගඟ ගැලූ මාර්ගය වෙනස්වීම නිසා අද රජරට ප්‍රදේශයේ තමන්කඩුව පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ය.

සෝමවතී චෛත්‍යය මුල් කාලයේ දී විවිධ නාමවලින් හඳුන්වා ඇති බව සෝමවති චෛත්‍යය අසලින් හමුවී ඇති සෙල්ලිපි වලින් ද පැහැදිලි වේ. ඒවා නම් පාචීන නාගාරාමය (නැගෙනහිර පැත්තේ පිහිටි ශ්‍රේෂ්ඨ ආරාමය) මනිඅගිය (අග්‍රගණ්‍ය මාණික්‍යය) යන නම් වලින් හැඳින්විණි.

සෝමවතී දාගැබ අසලින් හමු වු සෙල්ලිපිවල අක්ෂර අනුව ද දාගැබ ගොඩනංවා ඇති ගඩොල් බැමි ප්‍රාකාර සඳකඩ පහන ගල් කුළුණු හා අනෙකුත් පුරා වස්තු අනුව ද මෙම පුදබිම වසර 2100 වඩා පැරැණි බව හෙළිවේ.

සෝමවතී චෛත්‍යය රාජයාණන් වහන්සේගෙන් බුදුරැස් විහිදුණු අවස්ථා රාශියක්ම වාර්තාගත වී ඇත. 1987 දී ත්‍රස්තවාදීන් විසින් සෝමවතී දාගැබේ චූඩා මාණික්‍යය ගැලවීමේ දී ඔවුන්ට සිදුවු අනතුරු ද ඉතා ප්‍රකටයි. එම චූඩා මාණික්‍යය 2002 තෙක්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයේ පැවති අතර 2002 ජුනි මස 16 වනදා ගෞරව පුජා සහිත පෙරහරකින් සෝමවති පුදබිමට වැඩම කරවන ලදී. බුදුරැස් විහිදෙන සෝමවතී චෛත්‍ය රාජයා ලෙසින් ජනතාව අතර ප්‍රචලිත ය.

ඉහත සඳහන් ග්‍රන්ථය – පි. 14-15


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 100: කේශ ධාතුන් වහන්සේ නිධන් කළ ස්වෙදගොන් මහා දාගැබ