Print this Article


ගී බණ පද -6: පිපෙනා මලකට ගලනා දොළකට දැනෙනා බුදුගුණ

ගී බණ පද -6:

පිපෙනා මලකට ගලනා දොළකට දැනෙනා බුදුගුණ

පිපෙනා මලකට-ගලනා දොළකට
දැනෙනා බුදුගුණ-නොදැනෙන මිනිසුනි
කොයිලොව යන්නේ මරණින් පස්සේ
පින් පව් එනවා අපි පසුපස්සේ

රළු ගල් කුලකට
බොල් මැටි පිඬකට දැනෙනා බුදුගුණ
නොදැනෙන මිනිසුනි
කොයිලොව යන්නේ මරණින් පස්සේ
පින්පව් එනවා අපි පසුපස්සේ
පිපෙනා මලකට- ගලනා දොළකට//

ඉරහඳ දෙපොළට මේ මහ පොළොවට
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
කොයිලොව යන්නේ - මරණින් පස්සේ
පින්පව් එනවා - අපි පසුපස්සේ්
පිපෙනා මලකට – ගලනා දොළකට//

බුදුරජාණන් වහන්සේ පිළිබඳව, උන්වහන්සේ තුළ පවතින අනන්ත වූ අපරිමිත බුදුගුණ සිහිපත් කරන ගීත නිර්මාණ බොහෝ සේ ගීත සාහිත්‍යයෙහි දක්නට ලැබේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ සංසාරගත අත්දැකීම් පිළිබඳව, ස්මරණයක් කරන බව පිපෙනා මලකට ගීතය තුළින් දැකිය හැකි ය.

බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අනන්තයි. බුදුගුණ අප්‍රමාණයි. ප්‍රමාණාත්මකව සාකච්ජා කර නිම කළ නොහැකි, සිතා මෙනෙහි කරමින් නිමා කළ නොහැකි නිසාම බුදුගුණ අනන්තයි. අප්‍රමාණයි. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කෙතරමි සිතුව ද , විමසුව ද, අධ්‍යයනය කළ ද, සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයකුට පරිපූර්ණ වශයෙන් බුදුගුණ පිළිබඳ නිශ්චයකට එළඹීමේ හැකියාවක් නැත. බුදුරජාණන් වහන්සේ නමක තුළ පවතින අනන්ත අපරිමාණ මහා කරුණාව, අනන්ත මහා ප්‍රඥාව සීමාසහිතව නිවැරැිදිව තේරුම් කිරීමේ හැකියාව පවතින්නේ බුදුරජාණන් වහන්සේ නමකට පමණ ය. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව, මහා ප්‍රඥාව මෙතැකැයි කියා බුදුගුණ පිළිබඳ විග්‍රහ කරමින් , බුදුගුණ මෙපමණ බවට විග්‍රහ කිරීමේ හැකියාව සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයකුට නැත. අනන්ත අපරිමාණ බුදුගුණ පිළිබඳ නිශ්චය කළ හැක්කේ බුදුවරයකුටම පමණි.

එසේ වුවද,ඕනෑම පෘතග්ජන, චණ්ඩ, පරුෂ, රෞද්‍ර මිනිසෙකුට වුවද, අප්‍රාණවාචී ගහකොළකට වුව ද, බුදුගුණ පිළිබඳ දැනීමක් ඇති බවට සාමාන්‍ය සමාජය විග්‍රහ කරයි. අචේතනික වස්තූන්වලටත්, බුදුගුණ දැනෙන බව ප්‍රකාශ කිරීමෙන් අදහස් වන්නේ බුදුගුණ අනන්ත අපරිමාණ බව ය. ගලන ගඟට, පිපෙන මලකට බුදුගුණ දැනෙන බව ප්‍රකාශ වන්නේ ද එම හේතුව ය.

දේවදත්ත හාමුදුරුවන් වහන්සේ ගිජ්ජකූට පර්වතය මුදුණට නැ ඟ පර්වත පාමුල සක්මන් භාවනාවෙහි යෙදෙන සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුදුසිරුරට ගලක් පෙරලීය. බුදුරජාණන් වහන්සේ විනාශ කිරීමේ චේතනාවෙන් පෙරලූ රෞද්‍ර ගලෙන් විශාල හානියක් සිදුවූයේ නැත .

ගල මුනිඳු මත්තේ
හෙත කිසිවත් නොදත්තේ
ගලකි පිළිගත්තේ
එවන් හිමිගුණ මොහු නොදත්තේ

එම කළු ගල වෙනත් කළු ගලක වැදී එම ගල විනාශ වුවද, බුුදු සිරුරට ඉන් හානියක් වූයේ නැත. එම ගලෙහි වැදීමෙන් ගැලවුණ ගල් පතුරක් බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර පාදයේ වැදුණ බවට දක්වා ඇත. එම මහා කළු ගලට පවා බුදුගුණ දැනුන බවට එහි දී ප්‍රකාශ වේ.මැටියෙන් නෙළන ලද අචේතනික බුදුපිළිමයකින් පවා බුදුගුණ ඉස්මතු වේ.

යමක් කළොත් තමන්ට ලැබෙන බවට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයෙහි අන්තර්ගත වේ. පින් කළ පිරිසට පින් ලැබේ. පව්කළ පිරිසට පව් ලැබේ. පින් කරනවා යනුවෙන් හඳුන්වන්නේ ද ,යහපත් දෙයම ලබනවා යන අදහස ය. පව් කරනවා යනුවෙන් හඳුන්වන්නේ ද ,අයහපත් දෙයම ලබනවා යන අදහස ය. පින්්පව් පසුපස එනවා යන කාරණාව බුද්ධ දේශනාව ය.

ලෝකයේ තිබෙන සියලු විභවයන් පිළිබඳව මෙනෙහි කළ සම්මා සම්බුදු අමාමෑණී ලොව්තුරු බුදුපියාණන් වහන්සේ මහා කරුණාවෙන් ,මහා ප්‍රඥාවෙන් ලෝකයාට දේශනා කරනු ලැබුවේ තමා මරණයට පත්වන අවස්ථාවේ සිහිපත් වීමට හැකිතරම් යහපත්ව කටයුතු කළ යුතු බව ය. මෙම ගීතය තුළින් මතුව පෙනෙන්නේ ද, එම බුදුගුණය ම වේ. සමාජයේ ජීවත්වන විට තමන් කරන පින් පව් පිළිබඳ මෙනෙහි කිරීමකින් යුක්තව, ස්මරණය කිරීමකින් යුක්තව ජීවත් විය යුතු ය.මේ ලෝකයේ කෙතරම් නම්බුනාම අරගෙන කුමන ආකාරයෙන් ජීවත් වුව ද, කුමන ආකාරයේ නිලතල දරමින් කෙසේ ජීවත් වුව ද, කෙතරම් සැප සම්පත් භුක්ති වින්ද ද, තමන් ජීවත්වන ආකාරය අනුව, තමන් සමාජයට ලබාදෙන දෙය අනුව, ඊළඟ භවයේ තමාගේ ලැබීම, නොලැබීම තීරණය වේ. එම නිසාම මරණයට පත්වන විට රැගෙන යාමට අර්ථවත් ගුණ දහම් සහිත ජීවිතයක් ගත කළ යුතු බවට අපේ සමාජය හුරුපුරුදු වී ඇත. අකුසල කර්ම, පාප කර්ම අයහපත් දේ සිදුනොකර යහපත් ජීවිතයක් ගත කළ යුතු බව අවධාරණය වේ. තමාගේ සිත, කය, වචනයෙන් යහපත් දෙයම සමාජ ගත කළ යුතු ය. එය අප සමාජය තුළ පින් ලෙස සලකනු ලැබේ. ධර්ම සමාජය තුළ කුසල් ලෙස හැඳින් වේ.

මෙම ගීතය තුළ අර්ථවත් ධර්ම දේශනාවක් අන්තර්ගතව ඇති බැවින් මිනිස් ජීවිතයට බලපානු ඇත. එම ගීතය දෙසවනට ශ්‍රවනය වන සෑම මොහොතක් පාසාම එයින් මතුවන ධර්ම පණිවුඩය පිළිබඳ කල්පනා කිරීමට පෙළඹේ.බෞද්ධ සමාජය තුළ මෙම ගීතය ශ්‍රවනය වන විට පින පව පිළිබඳ අදහසක් ඇති වේ.පින පව පිළිබඳ හැහීමක් තිබෙන බෞද්ධ සමාජයට එය වැටහුණද, වෙනත් ආගමික සමාජවලට ඒ පිළිබඳ වැටහීමක් නැත. කුසල් , අකුසල් පිළිබඳ තේරුමක් නැත. බෞද්ධ සමාජයෙහි බෞද්ධ ජනතාව තුළ ඉතා ඉහළින් ඇගයෙන මෙම ගීතය බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අර්ථවත් සමාජ පණිවුඩයක් ගැබ්ව ඇති බව පැහැදිලි වේ.

අපේ සිංහල බෞද්ධ ගීත නාමාවලිය තුළ බුදුගුණ පිළිබඳ ප්‍රකාශ කරමින් ,බුදුගුණ මෙනෙහි කරන්නට උගන්වන විශිෂ්ට ගී පද රචනාවක් ලෙස මේ ගීතය හැඳින්විය හැකි ය.