Print this Article


දුක්ඛ සමුදය ආර්ය සත්‍ය: වඩාත් කැමැති දෙය වඩාත් දුක උපදවයි

 

දුක්ඛ සමුදය ආර්ය සත්‍ය

වඩාත් කැමැති දෙය වඩාත් දුක උපදවයි

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවන්නේ ඉතාමත් කලාතුරකිනි. උන්වහන්සේ ලොව පහළ වනතුරු බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ලොව විද්‍යාමාන නොවේ.

අසංඛ්‍යය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයාට ම සොයාගත නො හැකි සිතාගත නො හැකි පරම ගම්භීර ධර්මතාවයක් අවබෝධ කොට ගෙන උන්වහන්සේ ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ඒ දහම පතුරුවා හරිති. ඒ දේශනා කළ ධර්මය කුමක් ද? මේ ගැන මජ්ක්‍ධිම නිකායේ මාලුංක්‍යපුත්ත සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි.

”පින්වත් මාලුංක්‍යපුත්ත මා විසින් කුමක් ද වදාළේ? එය වනාහි දුකයි. එය වනාහි දුකේ හට ගැනීමයි, එය වනාහි දුක නැතිවීමයි, එය වනාහි දුක නැති කිරීමේ මාර්ගය යැයි මා විසින් වදාරන ලදී” ඒ අනුව තථාගතයන් වහන්සේ නමක් ලොවට පහළව දේශනා කරන්නේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය යි.

දුක වනාහි සමස්තයක් ලෙස ගත්විට පංච උපාදානස්කන්ධය යි. යමක් උපදින්නේ ද, දිරන්නේ ද, ලෙඩ වෙන්නේ ද, පි‍්‍රය වෙන්නේද, අපි‍්‍රය වන්නේ ද, සෝක වන්නේ ද, පංච උපාධානස්කන්ධයක් නිසාම ය. එනම් රූප, වේදනා, සංඥා සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්කන්ධ නිසා ය.

දුක්ඛ සමුදය ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි, මෙය වනාහි දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය යි. පුනර් භවය ඇති කරන, ආශ්වාදයෙන් ඇලෙන්නා වූ ඒ ඒ තැන සතුටින් පිළිගන්නා වූ ඒ තණ්හාව යි.

දුක නැතිවීම වනාහි ඒ තණ්හාවේ ම ඉතිරි නැතිව නො ඇල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද? අත් හැරීමක් වේද, තණ්හාවෙන් මිදීමක් වේද , ආලය නැතිවීමක් වේ ද එයයි.

දුක නැතිවීමේ මාර්ගය වනාහි මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නම් වූ අංග අටකින් යුතු ප්‍රතිපදාව යි. එයින්ද දුක කෙළවර කළ හැකි ය.

අප මේ ලිපිය තුළින් කතා කරන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ යි. එහි දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ දුක හට ගන්නේ තණ්හාව නිසා බව යි. කාමයට ඇති ආශාවත්, භවයට ඇති ආශාවත් (පැවැත්මට ඇති ආශාව) විභවයට (නො පැවැත්මට) ඇති ආශාවත් වශයෙන් සිතක තණ්හාව විසිර තිබේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාම සම්පත්තියට කරන ආශාව, ඒ ගැන ඇති කැමැත්ත, වුවමනාව, ස්නේහය, ඇල්ම, ආලය, කාම තෘෂ්ණාව යි.

කාම තණ්හාව යම් තැනකද දුක හට ගැන්ම එතැන යි. මේ ලෝක සත්ත්වයා හඹා යන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස නම් ඔවුන්ට හමුවන්නේ දුකක් ම යි. මේ ලෝක සත්ත්වයා තමා නිසා වැළපෙන්නේ ද, දරුවන් නිසා වැළපෙන්නේ ද, ගේ දොර ඉඩකඩම් නිසා වැළපෙන්නේ ද, රැකී රක්ෂා, ඉගෙනීම ආදියට විඳවන්නේ ද, පංචකාමය නිසා ම විනා අත හැරීමක් නිසා නොවේ. ඔබගේ සිතේ යම් දුකක් වේ නම් විමසා බලන්න. එය තවත් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් නිසා බව නුවණට තේරුම් යයි. එනිසා පංචකාම ආශාව පෝෂණය කරමින් දුකෙන් නිදහස් වීමක් පැතුවාට ඉටුවන්නේ නැත.

පංච කාමයෙන් පීඩා විඳින කෙනා නො විඳින රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, පතයි. දුක් නැති දිනයක් පතයි. නැතිනම් ඊටත් වඩා සුවදායක රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පතයි. එවැනි පැවැත්මකට සිත ආශා කරයි. මේ වනාහි භව තණ්හාවේ ස්වභාවය යි. භවයට ආශා කරමින් , ප්‍රාර්ථනා පොඳි බැඳගෙන නම් දුක කෙළවර කළ නො හැකි යි. භව තණ්හාව දුක උපදවන බැවිනි. පංච උපාදානස්කන්ධය යම් තැනක ද, දුක එතැන යි. තව ආකාරයකින් නම් භවය ලෙස ලැබෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හයයි. ආයතන හය යම් තැනක ද දුක එතැන යි. භව තෘෂ්ණාව දුකේ හට ගැනීම වන්නේ එනිසා ය.

තවත් කෙනෙකුගේ විභව තණ්හාව බලවත් වේ. හිමාලයේ සමහර යෝගීින් මෙය පුරුදු කරයි. සිතත්, කයත් නො පවත්වා යම් සාමාධියක් ස්පර්ශ කිරීමට වෑයම් කරයි. එය නිවන ලෙස සිතයි. සංඥාවක් නො පවත්වා ඉන්නට සිතයි. ඊට සිත හුරු කරයි. නිරෝධයක් යැයි සමාධියක් (සසුනෙන් බැහැරව) සිතෙන් අරමුණු කරයි. කෙසේ හෝ එය නො පවතින බවට ආශා කරයි. එය සිතක පවතින ස්වභාවයක්. එය විභව තෘෂ්ණාව යි. ලෝකයාට කාම තණ්හාව ම ඕලාරික වශයෙන් සිතේ බලපවත්වන නිසා භව තණ්හා, විභව තණ්හා ප්‍රකට ව තේරුම් ගැනීමට අපහසු ය. කෙසේ නමුත් මේ විභව කැමැත්ත, ආශාව, ඇල්ම, නිසා ද තවත් උපතක් සාදා දෙයි. විභව තණ්හාව එසේ දුක උපදව යි. මෙලෙස කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ත්‍රිවිධ තෘෂ්ණා ව ම උපන් සත්ත්වයාට දුක ම උපදව යි. සංයුක්ත නිකායේ භද්‍රක සූත්‍රයේ ඒ දහම් කරුණ පැහැදිලිව ඇත.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවේලකප්ප නියම් ගමේ වැඩ සිටි සේක. එදා භද්‍රක ගාමිණි නමැත්තා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසෙන්නට පැමිණ “භාග්‍යවතුන් වහන්ස, මට දුකෙහි හට ගැනීමත්, නැතිවීමත් පිළිබඳ දේශනා කරන සේක්වා” යි කී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ “ගාමිණි, අතීතයේ දුක හට ගත් ආකාරය, නැති වූ ආකාරය දේශනා කළොත් හෝ අනාගතයේ මෙසේ දුක ඇති වන්නේ ය, නැති වන්නේ ය යැයි දේශනා කළොත් ඔබට සැක ඇති වෙන්නට පුළුවනි. ගාමිණි මම ඔබට මේ ආසනයේ දී ම දුකේ ඇතිවීම, නැතිවීම කෙසේ සිදුවන්නේදැයි තේරුම් කරන්නම්.”

“ගාමිණි මේ ගමේ යම් කෙනෙක් මියගියහොත් , කරදරයක් වුණොත් ඔබට දුක හිතෙන පිරිසක් ඉන්නවා ද? ඒ වගේම යම් කෙනෙක් මිය ගියොත්, දුකට කරදරයකට පත් වුණොත් ඒ ගැන දුකක්, ශෝකයක් හට නො ගන්නා පිරිසක් ඉන්නවා ද?

ස්වාමිනි, එහෙම පිරිස් සිටිනවා. සමහර අයට කරදර එනකොට මට ඉතාමත් දුකයි. ශෝකය උපදිනවා. නමුත් සමහර පිරිසට කරදරයක් ආ විට මට දැනීමක් නැහැ.

එසේනම් ගාමිණි, එකම ගමේ පිරිසක් ගැන ඔබට දෙ ආකාරයකට හිතෙන්නේ ඇයි? කෙනෙක් ගැන දුක උපදිනවා. කෙනෙක් ගැන දුක උපදින්නේ නැහැ.”

”ස්වාමිනි, කෙනෙක් මියගියාම, කරදරයකට පත්වුණාම මට ශෝකය උපදින්නේ මගේ ඔවුන්ට කැමැත්තක් නිසා යි. ඇලීමක් තිබෙන නිසයි. නමුත් සමහර පිරිසට එසේ කැමැත්තක්, ඇලීමක් නැති නිසා ඒ අය ගැන මට දුකක් ඇතිවන්නේ නැහැ.

පින්වත් ගාමිණි, වැටහුණු මේ ධර්මය ම අතීතයට ගලපා සිතන්න. අතීතයේ යම් දුකක් ඇතිවූ විට ඒ සෑම දුකකට ම මුල් වූයේ කැමැත්ත යි. දුකේ මුල ආශාවම යි. අනාගතයේ යම් දුකක් හට ගන්නවානම් එයට හේතුව කැමැත්ත යි. මුල් වන්නේ ආශාව ම යි. “ස්වාමිනි, ඒ වදාළ වචන කෙ තරම් ඇත්ත ද? මට චිරවාසී නමින් පුතෙක් සිටිනවා. ඔහු පිට පළාතක ඉගෙනුම ලබන්නේ. ඔහුගේ සුව දුක් සොයන්නට මම පුරුෂයෙක් එහි යවනවා. ඔහු එන්නට ප්‍රමාද වුණොත් මම තැවෙනවා. ශෝක කරනවා. බියට පත්වෙනවා.

”පින්වත් ගාමිණි, යම් දවසක ඒ දරුවා මිය ගියොත්”

”අනේ ස්වාමිනි, මට ඒ ශෝකය දරා ගන්නට බැරි වේවි.”

”ගාමිණි යම් දුකක් උපදිනවා නම්, ඒ සෑම දුකකට ම මුල් කොට තිබෙන්නේ ආශාව යි. ඒ වගේ ම ගාමිණි ඔබගේ බිරිඳ ඔබ මීට පෙර දැක නැත්නම්, ඇය ගැන ආසා නැත්නම් ඔබට ඇය ගැන කැමැත්තක්, රාගයක් හෝ පේ‍්‍රමයක් ඇති වන්නේ ද?”

“නැත ස්වාමිනි”

“ගාමිණි, යම් දවසක ඇය දැක්කා ද, ඇය ගැන ඇසුවා ද, ආශාවක් කැමැත්තක් ඉපදුනේ එදින සිට නේද?”

“එසේය ස්වාමිනි”

“ගාමිණි ඇයට යම් කරදරයක් වුණොත්?”

“අනේ ස්වාමිනි, එය මට ඉවසිය නොහැකි වේවි. දුක සෝකය ඇය වෙනුවෙන් ඉපදෙනවා ම යි.”

”එසේනම් ගාමිණි, දුකට හේතුව කැමැත්ත බව තේරුම් ගන්න යැයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

එසේනම් දුකට හේතුව ආශාව බව තේරුම් ගෙන ඒ ගැන හොඳින් විමසමින් අවබෝධ කර ගන්නට උත්සුක වන්න.

දුක උපදවන තෘෂ්ණාව, ආශාව ප්‍රහාණය කර ගැනීමට අපටත් වාසනාව උදා වේවා.