Print this Article


රාජ්‍ය වෙසක් උත්සවය බිංගිරිය දේවගිරි රජමහා විහාරයේදී

රාජ්‍ය වෙසක් උත්සවය බිංගිරිය දේවගිරි රජමහා විහාරයේදී

තාරක වික්‍රමසේකර

රාජ්‍ය වෙසක් උත්සවය මේ මස 28 වැනිදා තෛ‍්‍රනිකායික මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ. රාජ්‍ය වෙසක් මහෝත්සවය අප්‍රේල් 26 සිට මැයි 02 දක්වා පුරා සතියක් පැවැත්වෙන අතර “චිත්තං දන්තං සුඛාවහං” එනම් “දැමුණු සිත සුව ගෙනදේ” යන්න මෙවර වෙසක් මහෝත්සවයේ තේමාව වී තිබේ.

වෙසක් උත්සවය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ බෞද්ධ පුනරුදය ඇතිවන ආකාරයේ කටයුතු පහුගිය මාස කිහිපය තිස්සේම සිදු කෙරුණු අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30 ම ආවරණය වන පරිදි අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් 150ක්ද ජංගම සේවා වැඩසටහන් 6ක්ද දහම් පාසල් ගුරු පුහුණු වැඩ සටහන් 16ක්ද සෞඛ්‍ය හා බුදු දහම පිළිබඳ වැඩසටහන් 61ක් ද පැවැත්වෙන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

මීට අමතරව ළමා භාවනා වැඩසටහන් 30ක්ද වෘත්තිකයන් උදෙසා බුදු දහම පිළිබඳ වැඩසටහන් 18ක්ද , සාමණේර ස්වාමීන් වහන්සේ පුහුණු කිරීමේ වැඩසටහන් 20ක්ද , මාපිය දූ දරු සෙනෙහස මුල් කරගත් වැඩසටහන් 37ක්ද සංවිධානය කර ඇති බවද ඇමැතිවරයා පවසයි.

එසේම බෞද්ධ කෙටි නාට්‍ය තරගාවලියක් භක්ති ගීත වැඩසටහන් බුදු දහමින් පෝෂිත සිංහල සාහිත්‍ය හා හෙළ කලාව සම්බන්ධ වැඩසටහන් සාරධර්ම පෙරහර, තිරසර පරිසරයක් සඳහා බුදු දහම පිළිබඳ වැඩසටහන් පැවැත්වීම මෙන්ම සත් කෝරළයේ විහාර වංශය රචනා කිරීමද, පැරැණි පුස්කොළ පොත් සංරක්ෂණය, විශේෂ ධර්ම දේශනා හා පිණ්ඩපාත පින්කම් පැවැත්වීමටත් දස සිල්මාතාවන් පුහුණු කිරීමේ වැඩසටහන් හා සමාජ සංවර්ධන වැඩසටහන් ද පැවැත්වේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දහම් පාසල් 300ක් සංවර්ධනය කෙරෙන අතර විහාරස්ථාන 250ක් සංවර්ධනය කිරීමටද මේ යටතේ පියවර ගෙන ඇත.

දහම් පාසල් දරුවන් 500කට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට කටයුතු කර ඇති අතර සාරධර්ම පිරි පරපුරක් බිහි කිරීම පිණීස කල්‍යාණ මිත්‍ර සංසද පිහිටුවීමටද කටයුතු කර ඇත. බුදු පුත් මාපිය උපහාර නිවාස ව්‍යාපෘතියක්ද පැවැත්වීමට කටයුතු කෙරේ. මීට අමතරව තෛ‍්‍රයිනාකියික මහ නාහිමිවරුන් ඇතුළු නිකාය පාර්ශ්ව 32හිම මහා නාහිමිවරුන් බිංගිරිය දේවගිරි රජමහා විහාරයට මැයි මස 1 දින වැඩම කරවා ඓතිහාසක කටයුත්තක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

2562 වැනි වෙසක් උත්සවය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් 12 ක වටිනාකමකින් යුත් නව තැපැල් මුද්දරයක් නිකුත් කිරීමද බිංගිරිය රජමහා විහාරස්ථානයේදී වෙසක් පුන් පොහෝ දින දී සිදු කෙරේ.

මීට අමතරව අඩු ආදායම් ලාභී බෞද්ධ පවුල් නඟා සිටුවීමට අවශ්‍ය පියවර ගැනීමටත් බෞද්ධ සමිති ශක්තිමත් කිරීමට අවශ්‍ය පියරවර ගැනීමට කටයුතු යෙදීමටද මෙවර වෙසක් දින උලෙළේදී කටයුතු කෙරේ. වයඹ පළාතට ආවේණික වූ ජන නාට්‍ය එළිදැක්වීමටද මෙවර කටයුතු කර තිබේ. එමෙන්ම බිංගිරිය දේවගිරි රජමහා විහාරය සංවර්ධනය කිරීමටද කටයුතු කර ඇති අතර ඒ යටතේ බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථ අභයභූමි සංරක්ෂණය කිරීමටද කටයුතු කෙරේ. අක්කර 937ක් වූ මේ භූමිය ජෛව විවිධත්වයෙන් යුත් අභය භූමියක් ලෙස සංවර්ධනය කෙරේ.

එමෙන්ම ටැම්පිට විහාරය සංවර්ධනය, කෞතුකාගාරයක් ඉදි කිරීමත් නව ධර්මශාලාවක් ඉදි කිරීමත් නව අභ්‍යන්තර හා බාහිර මාර්ග ඉදි කිරීමත් විහාරාංග අලුත්වැඩියා කිරීමත් විහාරස්ථානයේ සියලු සනීපාරක්ෂක පද්ධතිය නවීකරණය කිරීමටත් පියවර ගෙන ඇත.