Print this Article


යමක වග්ගය 09-10: සිල් ගුණයෙන් සරු වූවෝ

යමක වග්ගය 09-10:

සිල් ගුණයෙන් සරු වූවෝ

යො ච වන්ත කසාවස්ස - සීලෙසු සුසමාහිතො
උපෙතො දමසච්චෙන - ස වෙ කාසාවමරහති

කෙලෙස් කහට දුරු කෙරුවෝ - මැනවින් සිල් ගුණ පිරුවෝ
සත්‍යය දමනය වැඩුවෝ - කසාවතට නිසි වූවෝ

දෙව්දත් තෙරුන්ගේ කතාව

පෙර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි බරණැස එක්තරා පුද්ගලයෙක් ඇතුන් මැරීමෙන් ජීවිකාව කළේ ය. එක් වනයක ඇත්තු දහස් ගණනක් සුවසේ වාසය කළහ. දිනක් වනයේ සැරි සරද්දී ඔවුහු පසේ බුදුරජාණන් වහන්සේ නමක් දුටුහ. සිත් පහන්ව උන්වහන්සේට නමස්කාර කළහ. එදා පටන් එතැනින් යන එන හැමවිට ම නමස්කාර කර යාමට පුරුදු වූහ.

දිනක් මේ අසිරිමත් චාරිත්‍රය හස්ති ඝාතකයාගේ නෙත ගැටිණි. ‘මා දැන් ම කහ සිවුරක් සොරාගත යුතු’ යි සිතා එක් පසේ බුදුවරයෙක් දිය නෑමට විලට බස්නා තුරු හිඳ උන්වහන්සේගේ සිවුර සොරකම් කර ගත්තේ ය. එය පොරවාගෙන ඇතුන් ගමන් කරන මඟ හිඳ, හිස පටන් සිවුර පොරවා තෝමරය ද සඟවාගෙන රැක සිටියේ ය. එසේ සිට අන්තිමට එන ඇතා තෝමරයෙන් ඇන. මරා ගන්නා හේ දළ හා වෙනත් ප්‍රයෝජනයට ගත හැකි අංග උපුටාගෙන ඉතිරිය වළ දමා ගියේ ය. මේ සිරිත කලක් කරගෙන යන කල්හි, අප මහා බෝසත්හු මේ ඇත් රැළෙහි ඇතුන් ක්‍රමයෙන් අඩුවෙනු තේරුම් ගෙන බෝසත් තෙම ‘අපේ රැළ කුඩා වන්නේ මේ ඇතුන් කොහි යන නිසාදැ’යි විමසූහ.

තමන් නො දන්නා බව අනෙකුත් හස්තීහු කියා සිටියහ.

“මොවුන් කොහි ගියත් මට කියා මිස නො යති. එහෙයින් කිසියම් අනතුරක් ම විය යුතුය. යි සිතු බෝසත්හු ‘හිස පටන් කසාවත් පොරවා සිටින තැනැත්තා සැක කටයුතු ය. ඔහු ගැන විමසිලිමත් විය යුතුය’ සිතා ගත්තේ ය. එසේ සිතා සියලු ඇතුන් පෙරටුව යවා සෙමෙන් සෙමෙන් අන්තිමයා ව පැමිණියේ ය. ඇත්තු ද සිවුරු පෙර වූ ඇත් ඝාතකයාට වඳිමින් එකිනෙකා පෙළට ගමන් කළහ. ඝාතකයා ද බෝසතුන් අන්තිමට එනු දැක සිවුර මෑත් කර තෝමරය අතට ගත්තේ ය. බෝසත්හු ද ‘මේ මාගේ පිරිවර වනසන මරුවා බව නියතයැ’යි සිතමින් ප්‍රහාරයකට මුහුණ දෙන්නට සැරසුණහ.

ඇත් ඝාතකයා තෝමරය දමා ගසත් ම ඉවතට පැන දිවි ගලවා ගත් බෝසත්හු ඔහු අල්ලා ගන්නට ඉදිරියට දිව ආ හ. එහෙත් ඝාතකයා දිවගොස් ගසකට මුවා විය.

‘මම මේ ගසත්, මිනිසාත් එකට හිර කර ගනිමියි’

බෝසත්හු දෙදෙනා ම හොඬ වැලෙන් අල්ලා සිරකර ගන්නට සිතූහ. එවිට දිවි ගලවා ගැනීම පිණිස ඝාතකයා සිවුර ගලවා ඉදිරියට පෑවේ ය.

“දැන් මේ සිවුර ඇද දමා මොහු අල්ලා මරා දැමුවහොත් බුදු, පසේබුදු, මහරහතුන් පොරවන චීවරයට නිග්‍රහ කළා නම් වන්නේ ය. එසේ කරන්නට අකැමැත්තෙමි’ යි සිතූ බෝසත් හු ඉවසා දරා ගනිමින් ඔහුගෙන් මෙසේ විමසූහ.

‘මගේ වර්ගයා නැසුවේ තොප නො වේද?’

‘එසේය, උතුමාණෙනි’

‘එවැනි කුරිරුකමක් කළේ කවර හෙයින් ද?’

නුඹ පොරවාගෙන සිටින්නේ කෙලෙස් නැසූ උතුමන් පොරවන චීවරයකි. එය නුඹට කිසිසේත් නො ගැළපෙයි. මෙවැනි පහත් ක්‍රියාවක් කිරීමෙන් තොප කර ඇත්තේ බලවත් අකුසල කර්මයකි.’ යි පැවසූ බෝසත්හු නුඹ කළේ ඉතාමත් අශික්ෂිත අසෝබන ක්‍රියාවකැ’යි නිග්‍රහ කළහ.

විවරණය

කෂාය වස්ත්‍රය හෙවත් සිවුර චරිත ශුද්ධියේ සංකේතයක් වැනි ය. බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාගේ ‘ඇඳුම’ වන මෙය හැඳගත් මාත්‍රයෙන් ම බොහෝ දෙනාගේ වන්දනාමානාදිය ලැබෙයි. එහෙයින් මෙය දරන්නට පෙර තමා ඊට නිස්සකු බවට පත්විය යුතු ව පවතියි.

සිවුරක් දැරූ වහා ම තමා ගෘහස්ථයන්ගෙන් වෙනස් බවට පත්ව ඇත යන හැඟීම පැවිද්දෙකුට ඇතිවිය යුතු ය. ඒ හැඟුම හා ගෘහස්ථයන් පසඟ පිහිටුවා වැඳීම ද හේතුවෙන් නව ජීවිතයක්, නව පිළිවෙතක් තමා සඳහා වෙන්ව ඇති බව තේරුම් ගෙන ආදර්ශවත් චර්යාවකට යොමු වෙයි. භාග්‍යවතුන් වහන්සේ දේවදත්ත චීවරධාරීත්වයට නුසුදුස්සෙකැයි වදාළේ මේ අනුව ය.

යො ච- යම් කිසි පුද්ගලයෙක්
වන්ත කසාවස්ස - කෙලෙස් කසළින් දුරුවූයේ
සීලෙසු - සීලයන්හි
සුසමාහිතො - මනාව හික්මුණේ
දමසච්චෙන – දමනයෙන් හා සත්‍යයෙන්
උපෙතො - සමන්විත වූයේ ද
ස : - හේ
කාසාවං - කහවත් (දරන්නට)
අරහති - සුදුසු වේ.