Print this Article


පිවිතුරු ලොවකට තිරසර මාවත

පිවිතුරු ලොවකට තිරසර මාවත

මිනිසාට සපුරාගත යුතුව ඇත්තේ අල්පවූ අවශ්‍යතා කිහිපයකි. එනම් ආහාර, ඇඳුම්, නිවාස, බෙහෙත් යනාදියයි. මේ අවශ්‍යතා සපුරාලීමට පාරිසරික සම්පත් ප්‍රමාණවත් ය. එසේ වුව ද ඔවුන්ගේ අසීමිත ආශාවන් සපුරා ලීමට පරිසරයට නොහැකි ය.

ප්‍රත්‍යවේක්ෂාව

කසළ අඩුකර ගැනීමට ප්‍රත්‍යවේක්ෂාව ඉතා හොඳ අධ්‍යාත්මික පිළියමකි. ප්‍රත්‍යවේක්ෂාව යනු තමන් පරිභෝග කරන ආහාර, ඇඳුම්, නිවාස බෙහෙත් තම ජීවිතයේ යැපීම සඳහා, ජීවිතය පහසුවෙන් පවත්වාගෙන යාම සඳහා මිසක ඉන්ද්‍රියයන් පිනවීම උදෙසා නොගැනීමයි. භික්ෂූන් වහන්සේ අනිවාර්යයෙන් ම ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් ම සිව්පසය පරිභෝග කළ යුතු ය. ගිහි සමාජය ද මෙය පිළිපදින්නේ නම් අවම අවශ්‍යතාවලින් සෑහීමකට පත්විය හැකිවන සේ ම පරිභෝගයෙන් පසුව ඉවතලන අපද්‍රව්‍ය ප්‍රමාණයත් සීමා කරගත හැකි ය. එමෙන්ම සිහි නුවණින් අවශ්‍යතා සපුරාගන්නා නිසා ආහාර ආදියෙන් ඇතිවන දියවැඩියාව, කොලෙස්ටරෝල් ආදී රෝග පීඩාවලින්ද මිදිය හැකි ය. එපමණක් නොව අන්‍යයන් අනුකරණය කරමින් තමන්ට අනවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීමෙන් ද වැළකී ඒවා මිලදී ගැනීමට පවත්නා නොහැකියාව නිසා ඇතිවන චිත්ත පීඩාවද දුරුවී යයි.

ඇඳුම් පරිහරණයේ දී ත් මේ ඇඳුම් අඳින්නේ විළි වසා ගැනීමටයි. මැසි මදුරු ආදීන්ගෙන් බේරීමටයි යනුවෙන් සිතන්න. නිවාස තැනීමේ දී මේ නිවාස ඉදිකරන්නේ සීත, උෂ්ණ ආදියෙන් වැළකී ජීවත් වීමටයි යනුවෙන් සිතන්න. එසේ සිතන ඔබ අනවශ්‍ය කිසිවක් නො කරයි. අවශ්‍යතා අනුව පමණක් කටයුතු කරයි. එවිට කසළ ද අඩුවෙයි. පරිසරය ද සුරැකෙයි. ඔබ උපයන ධනය ද ඉතිරි කරගත හැකි වෙයි.

ඔබ සියලු සත්වයන් කෙරෙහි ඔබේ සිත පතුරුවා හරින්නේ නම්, විශාල ජීවියාගේ පටන් කුඩා ජීවියා දක්වා සිදුවිය හැකි සියලු අහිතකර දෙයින් වළකී. සිතන්න. ඔබ නිවසින් බැහැර දමන යෝගට් පියන, පොලිතින් බෑගය, තැඹිලි කෝම්බය නිසා වටිනා මිනිස් ජීවිත කොපමණ ප්‍රමාණයක් අකාලයේ විනාශවිය හැකිද? එහෙයින් සත්වයන් කෙරෙහි මිත්‍රශීලී වන්නේ නම්, සත්වයන් දුකට පත්වනවාට අකැමැති නම්, ඔබ කළ යුත්තේ ඔබේ කසළ නිවසේ දී ම කළමනාකරණය කර ගැනිමයි.

සැහැල්ලු පැවතුම්

කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන අල්පවූ බලාපොරොත්තු ඇති බව, පහසුවෙන් පෝෂණය කළ හැකි බව, අනවශ්‍ය විච්චූරණ නැති සැහැල්ලු පැවතුම් ඇතිබව යන ගුණාංග ඇතිකර ගැනීම කසළ අඩුකරගැනීමට හේතුවකි. නිවසක් ගෙන බලන්න. අප වඩාත් ගොඩගසාගෙන ඇත්තේ අපට වුවමනා දේවල් ද? අප පරිහරණය කරන දේවල් ද? නොඑසේ නම් අනුන්ගේ වුවමනාවට හෝ අනුකරණයට ගත් දේවල් ද?

යෝනිසෝ මනසිකාරය

යෝනිසෝ මනසිකාරය එදිනෙදා ජීවිතය තුළ පැවැත්විය යුතු වටිනා ගුණාංගයකි. එනම් තමා පිළිබඳව නිරතුරුව මනානුවණින් විමසමින් සිහියෙන් යුතුව වාසය කිරීම ය. මෙය සිත ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන්ගෙන් මුදවාගැනීමටත්, සිත නිරතුරුව පැහැබරව පවත්වා ගැනීමටත් මහෝපකාරී ය. කුණු කසළ භෞතික දෙයක්බව සැබෑවිය. නමුත් එබඳු පරිසර සතාසිවුපාවාට අහිතකර කසළ කඳු ගොඩ නැගෙන්නේ මිනිසුන්ගේ සිත්වල උපදින ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මුල් කර ගනිමින් උපදින කෙලෙස් හේතුවෙනි. වර්තමානයේ පවත්නේ කෙලෙස් බර සමාජයකි. එබඳු කෙලෙසුන්ගෙන් බරිත වූ අධික ජනගහණයක අවශ්‍යතා ඉක්මවා ගිය ආශාවන් හේතුවෙන් කුණු කසළ කඳු පිටින් ගොඩ ගැසීම අරුමයක් නොවේ.

මදක් ඔබගේ සිත දෙස හැරී බලන්න. ලෝභ, ද්වේෂ, මෝහ මුල්කරගත් අකුසල් ඔබේ සිතතුළ උපදින හැටි පෙනෙනු ඇත. ඒ අකුසල් නගර සභාවේ කුණු ලොරියකින් රැගෙන යන දුගඳ කුණු ගොඩකට වඩා ඔබේ පිවිතුරු ජීවිතය කෙලෙසන අයුරු බලන්න. සිත තුළ උපදින මේ කසළ නසන්න. නිකසල පිවිතුරු ලොවක් ගොඩනැඟෙන තිරසර මාවත එයයි.